දේවිගෙ නිර්මාණ හරඹ | දිනමිණ

දේවිගෙ නිර්මාණ හරඹ

 සයිබර් අවකාශය එහෙමත් නැත්නම් අන්තර්ජාලය උපයෝගි කරගෙන සාහිත්‍ය නිර්මාණ කරන ලේඛක ලේඛිකාවන් අපේ රටේ දකින්න ලැබෙන්නෙ කලාතුරකින්. ඒ විතරක්ම නෙමේ අපේ සාහිත්‍යකරුවන්ගෙ දකින්න තියෙන තවත් අඩුවක් තමා නවීන තාක්ෂණයට තියෙන හුඹස් බය. කොම්පියුටරයක් එක්ක ගනුදෙනු කරන්න හුඟ දෙනෙක් දක්වන්නෙ ලොකු මැළිකමක්. කොටින්ම කියනවනම් අඩුම ගානෙ ජංගම දුරකතනයෙන් කෙටි පණිවිඩයක් යවන්න හෝ කියවන්න උනන්දුවක් නොදක්වන ලේඛක ලේඛිකාවන් ගණන මෙපමණකැයි කියන්න බැහැ. සාමාන්‍යයෙන් සාහිත්‍යකරුවන් සැලකෙන්නෙ සමාජයෙ පෙරගමන්කරුවන් හැටියට. එවන් කීර්තියක් දිනා සිටින පිරිසක් වශයෙන් සමාජ සංවර්ධනයේ විවිධ ජයග්‍රහණ එක්ක අත්වැල් බැඳගෙන ඉදිරියට පියවර තැබීමයි සාහිත්‍යකරුවන් විසින් කළ යුත්තෙ. සමහරු එවන් වෙනස්වීමක් වෙනුවෙන් කිසිම උත්සහයක් නොගන්නවා පමණක් නෙවේ. නවීන ලෝකයත් එක්ක සමීප වෙන්න හදන සහෝදර ලේඛකයන්ටත් අකුල් හෙළනවා.

මෙන්න මෙවැනි පසුබිමකදියි අපිට දේ. වි. ගාල්ලගේ වැනි ලේඛකයන්ගෙ මෙහෙවර අගය කරන්න සිදු වී තිබෙන්නෙ. දේහින් විමල් ගාල්ලගේ කියන නමේ මුලකුරු දෙක අරගෙන දේ. වි. ගාල්ලගේ විදිහට නම කෙටිකරගෙන ඉන්න ගාල්ලගේ ලේඛකයා මිතුරන් අතර ජනප්‍රියව ඉන්නේ දේවි නමින්. මේ නම නිසාම මෑතක් වන තුරුම සාහිත්‍ය ක්ෂේත්‍රයේ ඇතැමුන් සිතාගෙන හිටියේ දේවි ලේඛිකාවක් කියලයි. ලේඛක සංවිධාන කීපයක විවිධ තනතුරු දරමින් සාහිත්‍ය භූමියේ නිතර සැරිසරණ ලේඛකයෙක් වී සිටීම නිසා දැන් දේවි යනු කවුද කියා බොහෝ දෙනෙක් දන්නවා. දේවි සාමාන්‍යයෙන් වැඩි වේගයකින් නිර්මාණ බිහි කරන ලේඛකයෙක් නෙවේ. ඔහුගෙ මුල්ම පොත ප‍්‍රකාශයට පත් වුණ 1981 වගේ කාලෙක සිට බලන විට මේ දක්වා දේවි ප‍්‍රකාශයට පත් කර තිබෙන්නෙ පොත් 10ක් විතර අඩු සංඛ්‍යාවක්. 2013 අවුරුද්දෙ “නෑයන්ගෙ කවි ” නමින් කළ පරිවර්තන කාව්‍ය සංග්‍රහයෙන් පස්සෙ ඔහු අතින් නිර්මාණ කාර්යයක් දෙකක් එකම වසරක සිදු වී තිබීමත් තරමක විශේෂ සිද්ධියක් හැටියට සලකන්න පුළුවන්. ඒ නිර්මාණ කාර්යයන් දෙක තමා සයිබර් අවකාශයේ සැරිසරමින් සොයා ගත් කවි හා කෙටිකතා අහුර.

පසුගිය දශක තුනක විතර කාලය පුරාම දේවි රාජකාරි කටයුතු කළේ ලංකා බැංකුවෙ. බැංකු රාජකාරියේ තිබුණු කාර්යබහුලත්වය වගේම වගකීම්සහිත බවත් ඒ කාලයේ ඔහුගෙ නිර්මාණ කටයුතු සීමා වීම කෙරෙහි බලපාන්න ඇති. හැබැයි දේවිගෙ නිර්මාණ හැකියාවන් සලකලා බැංකුවෙ අභ්‍යන්තර ප්‍රකාශනයක් වන “බැංකු පුවත්” සඟරාවෙ සංස්කාරකකමත් විශ්‍රාම යාමට වසර කිහිපයකට පෙර ඔහුට පවරා තිබුණා මට මතකයි. කොහොම වුණත් වැදගත්ම දේ වෙන්නෙ දේවි අඛණ්ඩවම සාහිත්‍ය සේවනයෙ නිරතව සිටීමය කියා මා සිතනව. ඒ මොකද කියනවනම් රාජකාරි වශයෙන් නැත්නම් වෙනත් ආකාරයේ බාධාවක් මතු වුණහම තමන්ගෙ සහජ හැකියාවන් අතහැරල දාන නිර්මාණකරුවන් අපට කොතෙකුත් මුණ ගැසී තිබෙන නිසා.

දේ. වි. ගාල්ලගෙ සාහිත්‍ය ක්ෂේත්‍රයෙ වඩාත්ම කැපී පෙනෙන්නෙ කවියෙක් හැටියටය කීවොත් එහි වරදක් ඇතැයි මා සිතන්නෙ නැහැ. කවියකු වශයෙන් තියෙන අනිත් විශේෂත්වය තමයි පරිවර්තන කලාව වෙත ඔහුගෙ ඇති නැඹුරුව. දේවි මෙතෙක් පළ කර තිබෙන කාව්‍ය සංග්‍රහ 7 අතරින් පහක්ම වගේ පරිවර්තන බව පෙනෙනවා. මා ඉහත දක්වපු විදිහට අවසන් වශයෙන් ඔහු පළ කළ පොත් දෙකෙන් එකක් වන “මගේ සිහින යාය”ත් පරිවර්තන කවි එකතුවක්. ඒත් එක්කම දොරට වැඩපු “ඇස් ගැසිල්ලෙන් පසු” තමයි දේවිගෙ ප්‍රථම පරිවර්තිත කෙටිකතා එකතුව. ගද්‍ය නිර්මාණ එකතුවක් විදිහට මීට පෙර ඔහු අතින් පරිවර්තනය වී තිබෙන්නෙ 2008දි පළ කළ “කැබිනට් ඇමතිවරයකුට” නම් රචනා ශෛලියේ කෘතිය පමණයි.

සයිබර් අවකාශයෙන් සොයාගත් නිර්මාණ සමූහයකින් සමන්විත මේ කෘති දෙකම ප්‍රකාශයට පත් කර තිබෙන්නෙත් නව සාහිත්‍ය නිර්මාණ පාඨක ප්‍රජාව වෙත පිරිනැමීමට වැඩි රුචියක් දක්වන ප්‍රකාශන ආයතනයක් වන “ග්‍රැපිකෙයා ප‍්‍රකාශකයන්” විසිනුයි. දේවිගෙ අලුත් උත්සාහය නිසා මෙතෙක් මුද්‍රණ ද්වාරයෙන් පිටතට නොපැමිණි නිර්මාණ රැසක් හඳුනාගැනීමේ වාසනාව පාඨකයාට හිමි වෙනවා. අනිත් වැදගත් කාරණය තමා සයිබර් අවකාශය සඳහා ලියවෙන සාහිත්‍ය නිර්මාණවල වෙසෙස් ලක්ෂණ හඳුනාගැනීමට අපට ලැබෙන අවකාශය. දේවිගෙ අලුත් පරිවර්තන විමසද්දි ලේඛකයෙක් හැටියට මට දැනුණ දේත් මෙහි සඳහන් කිරිම උචිතය කියා හිතෙනවා. ප්‍රධාන කාරණය ලෙස මා දුටුවේ අන්තර්ජාලයට මුදාහරින නිර්මාණවල කිසියම් සංක්ෂිප්ත බවකින් යුතු වීම. විශේෂයෙන්ම “ඇස් ගැහිල්ලෙන් පසු” කතා එකතවෙ එන නිර්මාණ දිහා බැලූ විට මෙය වඩාත් පැහැදිලි වෙනව. එහි කෙටිකතා 10ක් ඇතුළත්ව තිබුණත් ඒ සියල්ලටම වැය වී තිබෙන පිටු ප්‍රමාණය 75ක් විතර ඇති. පොතක් දිගඇරගෙන කියවනව වගෙ නිදහසක් අන්තර්ජාල පාඨකයකුට හිමි නොවන නිසා ඊට ගැළපෙන ආකාරයේ සංක්ෂිප්ත කතා කලාවක් හා කාව්‍ය සම්ප්‍රදායක් ලේඛකයන් විසින් සම්පාදනය කරගෙන තිබෙන බව මින් පෙනී යනවා.

පරිවර්තිත කෙටිකතා හා කවිවල ඒවාටමටම ආවේණික විශේෂත්වයක් තිබීමත් දේවිගෙ තෝරාගැනීවල දැකිය හැකි අපූරු ලක්ෂණයක්. උදාහරණයක් හැටියට කියනව නම් කෙටිකතා එකතුවෙ එන මුල්ම කතාව වන “විසල් අත් ලකුණ” පුරාම දක්නට ලැබෙන්නෙ මනාව සංස්කරණය කළ චිත්‍රපටයක බඳු රූප රාමු පෙළක්. කතාවෙ අන්තර්ගත සිදුවීම් පෙළට හා කතා ආකෘතියට උචිත බස් වහරක්ද දේවි මෙහිදි මනා ලෙස භාවිත කර තිබෙනව. කතාවේ තේමාවත් ඉතා අපූරුයි. අමෙරිකන් ජාතිකයකු වන ටී.කේ. ලී නම් මේ කතාකරුවා නාට්‍ය කලාවට සම්බන්ධ අයෙක් බවත් හැඳින්වීමේ සඳහන් වෙනව. සමස්ත කතාව පුරාම දිවෙන නාටකීය ගුණයට හේතුව එය විය යුතුයි. කතාව ලියවුණු කාල පරිච්ඡේදය ගැන ඉඟියක් හෝ දැනගන්න පුළුවන් වුණානම් වඩාත් පුළුල් සමාජ දේශපාලන පසුබිමක පිහිටුවා මිනිසුන්ගේ සිතිවිලි හා ක්‍රියාකාරකම් තේරුම් ගැනීමට අපට කවුළුවක් විවර වේවායි කියාත් කතාව කියවීමෙන් පස්සෙ මට දැනුණා.

එකිනෙකට වෙනස් මිනිස් චර්යාවන් වටා ගෙතුණු මේ කතා එකතුව වගේම කාව්‍ය රචනා ගැනත් දීර්ඝ සාකච්ඡාවක් කරන්න මෙහි ඉඩක් නැතිකම ගැන කනගාටුයි. කෙසේ වෙතත් නූතන තාක්ෂණික මෙවලමුත් එක්ක වැඩි දියුණු වන නව සාහිත්‍යාංග වෙත පාඨක සමූහයාගෙ පමණක් නොව ලේඛක විචාරක පාර්ශ්වවලත් අවධානය යොමු කිරීම පිළිබඳව දේ. වි. ගාල්ලගෙ ලේඛකයාට තුති පුදන අතරවාරයේම ඔහුට තවත් මෙවන් අපූරු නිර්මාණ කාර්යයන්වල නිරත වීමට අවැසි දිරිය හා කුසලතා නොඅඩුව හිමි වේවායි කියාත් ප්‍රාර්ථනය කරනවා.

කමල් පෙරේරා
[email protected]


නව අදහස දක්වන්න