මිනිසා හා තිරිසනා | දිනමිණ

මිනිසා හා තිරිසනා

‘ටොම්සන් මහත්තයා දැක්කද අර බල්ලෙක් ගිනි තියාපු සිද්ධිය.?‘ පුදුම කාලයක් මේක කියා උන්නැහේ කීවේය.

‘ඔව් උන්නැහේ... අද වෙන කොට තිරිසනා කවුද මිනිහා කවුද කියලා තෝරා ගන්න බැරි කාලයක්...‘ කියා ටොම්සන් මහත්තයා කීවේය.

ඇම්බන් මහත්තයා පැමිණ සාලයේ පුටුවක හිඳ ගත්තේය.

‘ජපානේ තියෙනවානේ බල්ලෙකුගේ ස්මාරකයක්... ඔය ෂිබුයා දුම්රිය නැවතුම් පොළේ තමයි හදලා තියෙන්නේ... මිනිසා හා බල්ලා අතර තියෙන දිගු කාලීන බැඳීම මිනිසුන්ට සිහිපත් කරලා දෙන අපූරු ස්මාරකයක්...‘

‘ඇම්බන් මහත්තයා දැකලා තියෙනවද? “ කියා උන්නැහේ ඇසුවේය.

‘දැකලා කියන්නේ මං ඉතින් ජපානෙට ගිහිං නෑ නේ... ඔය පත්තරවල ලිපිවල ඔය ගැන විස්තර දක්වලා තිබුණා. ඒ මහාචාර්යවරයා හැමදාම උදේට කෝච්චියට එක් කර ගෙන ගිහින් තියෙන්නේ ඔය හචිකෝ කියන සුරතල් බල්ලානේ. නිකම් නෙවෙයි අවුරුදු ගාණක්ම එහෙම උදේට හවසට තමන්ගේ ස්වාමියා එක්ක ගිහිල්ලා. ‘ කියා ඇම්බන් මහත්තයා දිග කතාවක් කියන්නට පටන් ගත්තේය.

‘ඒකේ ඉතින් එච්චර විශේෂයක් නෑනේ ඇම්බන් මහත්තයා‘ කියා උන්නැහේ කීවේය.

‘මොකද නැත්තේ... ටිකක් ඉවසිල්ලෙන් අහ ගෙන ඉන්න.. මේ විදිහට හැමදාම උදේ කෝච්චියට ඇරලපු මහාචාර්යවරයා එක දවසක් ගිය ගමන් මැරුණා. ඒ හින්දා එදා හවස කෝච්චියෙන් ආවේ නෑ... බල්ලා මේක දන්නේ නෑ... අවුරුදු දහයක්ම මේ විදිහට හචිකෝ කියන බල්ලා දුම්රිය නැවතුමට ආවා ගියා... තමන්ගේ ස්වාමියා එනවා බලන්න... අන්තිමේ ඒ ගමන නතර වුණේ බල්ලා මැරුණාට පස්සේ... ඒ අහිංසක බල්ලා හචිකෝ සිහි වෙන්න තමයි ඒ දුම්රිය ස්ථානයේ ස්මාරකයක් හදලා තියෙන්නේ...‘ කියා ඇම්බන් මහත්තයා කතාව අවසාන කළේය.

‘ඒක නම් හරිම සංවේදී කතාවක් නේද ටොම්සන් මහත්තයා... ඒ කියන්නේ ඔය කොයි කාලෙදිද ඕක වෙලා තියෙන්නේ...? කියා උන්නැහේ ඇසුවේය.

‘ මීට අවුරුදු සීයකට කිට්ටුව ඉස්සර. ඒ කියන්නේ 1925 විතර. එතකොට ඒ සිද්ධිය වෙලා අවුරුදු සීයක් යන කොට අපේ මේ බෞද්ධ රටේ, උදේ ඉඳන් හැන්දෑ වෙන තුරු බණ කියන, පිරිත් කියන රටේ බල්ලෙක් ගිනි තියලා මරනවා... හචිකෝ මැරුණේ ස්වභාවිකව. ඒත් චාලි කියන බල්ලා මැරුණේ ගිනි තියලා... මොකද ඌ කෑ ගහන හැටි අහගෙන ඉන්න බැරි අල්ලපු ගෙදර හිටපු මිනිස් තිරිසනෙක් තමයි ඒක කරලා තියෙන්නේ... ‘ කියා ටොම්සන් මහත්තයා බොහොම සෝකෙන් කීවේය.

‘ටොම්සන් මහත්තයාට විශ්වාසද අල්ලපු ගෙදර මිනිස් තිරිසනෙක් තමයි ඒක කරලා තියෙන්නේ කියලා..‘ කියා ඇම්බන් මහත්තයා ඇසුවේය.

‘මෙහෙමනේ ඇම්බන් මහත්තයා.. හැම දේකටම සාක්කි නැති වෙන්න පුළුවන්.. ඒ වුණාට මේ බල්ලාගේ කෑ ගැහිල්ලෙන් කරදරයක් වෙන්නේ අල්ලපු ගෙදර අයට විතරයිනේ... ඔය වගේ සිද්ධි තව කොච්චර තියෙනවද? අල්ලපු ගෙදර පොල් ගෙඩියක් වැටුණහම ගිහින් පොලිසියට පැමිණිලි කරනවා. අල්ලපු ගෙදර අඹ ගහේ අත්තක් නැමිලා තිබුණොත් ඒකත් පැමිණිලි කරනවා. එහෙම මිනිස්සු ඉන්න රටක් මේක... තාප්ප ගහ ගෙන, බැමි බැඳ ගෙන කොන්ක්‍රීට් ලෝකෙක ජීවත් වෙන මිනිස්සු නේ අද ඉන්නේ.. බල්ලෙක් කෑ ගහන සද්දේ, පූසෙක් කෑ ගහන සද්දේ ඒ උදවියට කරදරයක්... ඒකට ගම්වල මිනිස්සු තාමත් පරිසරයත් එක්ක ජීවත් වෙනවා.. ‘ කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘මං අහන්නේ ටොම්සන් මහත්තයා.. ඔය බල්ලන්ට ඤාව් කියන්න පුරුදු කරන්න බැරිද? එතකොට කෑ ගැහුවත් වැඩක් නෑ නේ..‘ කියා උන්නැහේ ඇසුවේය.

‘ඒකත් හොඳ වැඩක් තමයි... එතකොට බල්ලෝ ඤාව් කියනවා.. පූසෝ බුහ් බුහ් කියනවා... අන්තිමේ දෙකම එකයි නේ..‘ කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘අපෝ නෑ... දෙකම එක වෙන්නේ නෑ... බල්ලා ඤාව් කිව්වත් එච්චර සද්දේ එන්නේ නෑ නේ.. පූසා බුහ් බුහ් කියන්නේ හෙමින් නේ.. ඒ හින්දා මේ ප්‍රශ්නේ විසඳන්න තියෙන්නේ ඒ විදිහටයි.‘ කියා උන්නැහේ කීවේය.

‘හරි... ඒක මේ වෙන පැත්තකට කතාව අර ගෙන යන්න දාපු උප්පරවැට්ටියක් වගේ... එහෙම නෙවෙයි... මං හිතන්නේ මුළු ලෝකෙම මේ විදිහට බල්ලෙක් ගිනි තියලා මරාපු සිද්ධියක් නැතිව ඇති. එක එක අනතුරු නිසා සත්තු මැරෙනවා තමයි.. ඒ වුණාට ගිනි තියලා සතෙක් මරන්න තරම් තිරිසනුන් ඉන්න ලෝකයක් වෙච්චි කොට... අර ජපානේ හචිකෝගේ ස්මාරකයක් හැදුවා වාගේ... චාලිගෙත් ස්මාරකයක් මේ රටේ කොතැනක හරි හදන්න ඕනෑ...අඩු ගණනේ මිනිසුන්ගේ තිරිසන් වැඩ මිනිසුන්ට මතක් කරලා දෙන්න... සත්ත්ව අවිහිංසා සංගම් හෙමත් මේ රටේ තියෙනවා නේ.. ‘ කියා කියමින් ටොම්සන් මහත්තයා හුනස්නෙන් නැගිට්ටේය.

බන්දුල පී දයාරත්න
[email protected]


නව අදහස දක්වන්න