දැනෙන්නෙ නෑ... | දිනමිණ

දැනෙන්නෙ නෑ...

දීප්තිමත් හිරු කිරණින් හාත්පස ආලෝකවත් වී ඇතත් දුරුත්තේ සීතලද නොඅඩුව දැනෙයි. එහෙත් ඒ අලසව අතපය පොරවාගෙන ඉන්නට බල කරන සීතලක් නොවේ. දුව පැන නටන්නට සිත්දෙන තරමේ උද්යෝගයක් පුද දෙන සෞම්‍ය සෙනෙහෙබර සිහිලසකි. අතොරක් නැතිව නද දෙන කුරුල්ලන්ගේ දඟකාරකම් නරඹන්නට ඉඩ නොදෙමින් හඬ තලන දුරකකතනය වෙත දිව යමි. දුර ඈතක මට මා අමතන පාඨකයා මගෙන් ඉල්ලා සිටිනනේ තරමක කාල වේලාවකි. අපමණ වැඩ කන්දරාවක් ගොඩ ගැසී ඇතත් මම ඒ බවක් නොඅඟවා ඔහුට සවන් දෙන්නට පුදානම් බව කීවෙමි. මන්ද යත් අන් සියල්ලට වඩා වැදගත් වන්නේ මිනිසා බැවිනි. මිනිසකු හට සවන් දෙන්නට තවත් මිනිසකු වෙත වේලාවක් නොමැති වීම මහා ඛේදවාචකයක් නොවේද...? එමෙන්ම මහතම හා ඒසා නිර්දයකමක් තවත් තිබිය හැකිද?

ජීවිතය සංග්‍රාමක් වූ කල තවකෙකු සමඟ පිළිසඳරෙහි නිරත වන්නට තබා තමා දෙස හැරී බලන්නටවත් ඉස්පාසුවක් නැති බව සැබෑය. එහෙත් මේ හැල්මේ දිවීම මඳකට නවතා ඇහුම්කන් දෙන්නට වෑයම නොකරන්නේ නම් මනුස්ස අප වෙත මනුස්සකමක් ඇතැයි කිව හැකිද?

“ඔව්... කියන්න...“යි මම ඔහු දිරිමත් කළෙමි.

“මේකයි මිස්... මම කෙනෙකුට ආදරේ කරනවා. එයා නිතර කියනවා මගේ ආදරේ එයාට දැනෙන්නෙ නෑ කියලා...“

අපි රිදෙන්න ගහන්නට බනින්නට පුරුදු වූ ජාතියක් මිසක දැනෙන්න ආදරය කරන ජාතියක් නොවන බව මට සිතිණ. කුටුම්බය තුළට පවා එබී බැලූ විට අප දැක ගන්නේ හිංසනය හා දණ්ඩනය මිසක ආදරයද...? සන්තුෂ්ඨියද...? සමාදානයද? අවබෝධයද?

“එයා නිතරම මට චෝදනවා කරනවා මගේ ආදරේ එයාට දැනෙන්නෙම නෑ කියලා. අපි දෙන්නම එස්සාවල් කරන නිසා මුණ ගැහෙන්නෙ ඉඳහිට. ඉතිං ෆෝන් එකෙන් කතා කළත් එයාට සතුටු වෙන්න බෑලු. මං මොකද කරන්නෙ මිස්...? මට මේක ලොකු ප්‍රශ්නයක්. මං එයාට හුඟක් ආදරෙයි. ඇත්තටම ආදරෙයි.“

නිරන්තරයෙන් වචන හරඹයේ නිරත වන මම මේ ප්‍රශ්නයේ දී සුදුසු වචන සොයා ගත නුහුණුව අසරණ වීමි.

“එයාට දැනෙන්න මම එයාට ආදරේ කරන්නෙ කොහොමද මිස්?“

ප්‍රේමාතුර හදින් නැඟූ ඒ ප්‍රශ්නය මගේ හදවත ද බර කළේය.

“ඔය ප්‍රශ්නෙ ඔය දෙන්නට විතරක් තියෙන ප්‍රශ්නයක් නොවේ... මං හිත්නනෙ මුළු රටටම තියෙන ප්‍රශ්නයක්...“යි මම මගේ අවංක අදහස හෙළි කළෙමි.

ඔහු ඊට එකඟ වූයේ රට තොට පිළිබඳව අවබෝධයක් තිබෙන බව කියා පාමිනි.

“අපි අසීමිතව ආදරේ කරන්නේ අපි අපිට නෙමේ. අපිව බෙදා වෙන් කරන සාධකවලට. අපේ ජාතියට...ආගමට... කුලයට සංස්කෘතියට අපි ඉතාම ආදරෙයි. ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන්න පවා සූදානම්. හැබැයි අපි ආදරේට ආදරේ නෑ... වෙනසකට ආදරේ නෑ... වෙනසක් දැක්ක හැටියෙ තලලා පොඩි කරලා විනාශ කරන්න හදනවා මිසක ඒ වෙනසේ විචිත්‍රත්වය විඳින්න අපි පුරුදු වෙලා නෑ...“යි මම කියාගෙන ගියෙමි. දුරකතනයේ අනෙක් හිස තැවෙන්නේ ප්‍රේමවන්තයකු බව පවා මට අමතකව ගියේය. මගේ කොල්ලෝ නිතර සරදම් කරන්නාක් මෙන් මා මේ ආදර ප්‍රශ්නයේ දී ද රට ඉස්සර කර ගත්තේ ද?

“අම්මට හැම තිස්සෙම පේන්නෙ පවුල නෙමේ රට. අම්මා රට වෙනුවෙන් නැහෙන්න හැදුවට මේ රට අපට මොනවද දීලා තියෙන්නෙ? “යි ප්‍රශ්න කරන්නට පවා මගේ ඉලන්දාරීන් නිර්භය වූ කල මම මවිතයට පත්වීමි.

“මොනවද නොදුන්නේ? සුන්දරත්වය... ජෛව විවිධත්වය... විවිධ දේශගුණික ත්ත්තවයන්...පෞඪ ඉතිහාසයක්...මොනත තරම් ලස්සන රටක්ද මේ රට... රට සුඛිත මුදිත කරනවා කියලා බලය ඩැහැ ගන්න අය නම් මේ රට දවසින් දවස විනාශ කරන බව ඇත්ත. ඒත් මේ වගේ ලස්සන පුංචි රටක ඉපදෙන්න ලැබීමම සතුටක් වාසනාවක් නෙමේද...?“

ඒ තුරුණු දීප්තිමත් දෙනෙත් දැල්වුණේදැයි හැකිළුනේදැයි මට නිනව් නැත.

“එයා කියනවා මිස් එයාගේ යාළුවන් බෝයි ෆ්‍රෙන්ඩ්ලා එක්ක කතා කරන්නෙ හරිම සතුටින්ලු... ආදරෙන්ලු. එයා ඕනකමින් ඇහුම්කන් දෙනවා නෙමේලු එයාට ඇහෙනවලු. එකට වැඩ කරන අයනේ. ඉතිං එයා අහනවා ඇයි මට බැරි කෑවද බීවද වගේ සීතල ප්‍රශ්න අහන්නෙ නැතුව ආදරෙන් සතුටින් හිත පිරිලා යන දේවල් කතා කරන්න කියලා. මට තේරෙන්නෙ නෑ මිස්...හැමදාම මෙහෙම චෝදනා කරන කොට මගේ ඔළුව අවුල් වෙනවා. මෙහෙම ගිහිං එයාට මාව එපා වෙයිද කියලා මට බයයි මිස්.“

මේ නාඳුනන ආදරවන්තයා වෙනුවෙන් උපන් පුත්‍ර ස්නේහයෙන් මගේ සිත තෙත්ව ගියේය.

“ඔයාලා දෙන්නම රැකියා කරන නිසා අවිවේකයි. පීඩනයක ආතතියක ඉන්නෙ. මොකද සාමාන්‍යයෙන් අපේ රටේ කීයෙන් කී දෙනාද තෘප්තියකින් රැකියාවක් කරනනෙ. ඉතිං නිතරම ඉන්නෙ නොරිස්සුමින්නේ. ඔයාලා මුණගැහෙන්න ඉඳහිට හරි. ඔයා ඔය හැමදාම අහන ප්‍රශ්න වැලත් වෙනස් කරගන්න. ඔයා පතපොත කියවන නිසා එයාවත් පතපොත කියවන්න පුරුදු කරගන්න. තෑග්ගක් දෙන්නනෝ පොතක්.“

ඔහු එකඟ වූයේ සුවච කීකරු පාසල් සිසුවකු පරිද්දෙනි.

“මං ඔයාට පොතක් එවන්නම්. ඔයා ඒ පොත එයාට තෑගි කරන්න“යි මා කී කල ඔහු විමතියට පත්විය.

“අනේ කරදර වෙන්න එපා මිස්. මම පොතක් ගන්නම්...“

“නෑ ඉතිං...දැන් මේක මගෙත් ප්‍රශ්නයක්නෙ. මාත් සම්මාදම් වෙන්න ඕන මගේ හිතත් සැනසෙන්න නම්.“

ඔහු තමාගේ ලිපිනය පවසා සිටියේ පහව නොගිය විමතියෙනි.

පොතක් පමණක් නොව ලිපියක් ද ලියා යවන්නට මම වගබලා ගත්තෙමි. මා එලෙසින් කරදර වූයේ ඒ පෙම්වතුන් පීඩාවට පත් කළ ප්‍රශ්නය මට දැනුණ බැවිනි. අප එකිනෙකාට එකිනෙකා දැනෙන්නේ නම් අප පෙළන බොහෝ ගැටලු විසඳා ගත හැකිය. මවුපියන්ට දරුවා දැනෙන්නේ නම් ප්‍රීතිමත් පවුලක් ද පාලකයාට ජනතාව දැනෙන්නේ නම් යහපත් රටක් ද නිර්මාණය වනවා නොඅනුමානය.

ශාන්ති දිසානායක
[email protected]


නව අදහස දක්වන්න