වේෂනිරූපණ ශිල්පියාට කිසිම තැනක් නෑ | දිනමිණ

වේෂනිරූපණ ශිල්පියාට කිසිම තැනක් නෑ

නාරද ධනංජි තොටගමුව

අනුරුද්ධ ජයසිංහගේ නවතම සිනමා නිර්මාණය, “ගින්නෙන් උපන් සීතල” මේ දිනවල තිරගත වන්නේ අතිවිශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ ය. මේ සිනමා නිර්මාණයේ දී පෑ විශ්මිත වේශ නිරූපණය පිළිබඳ මේ කතාබහ සම්මානනීය අංගරචනා ශිල්පී නාරද ධනංජි තොටගමුව සමඟිනි.

l “ගින්නෙන් උපන් සීතල” ඒ අභියෝගය ඔබට ලැබුණෙ කොහොමද?

මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා, අනුරුද්ධ ජයසිංහ තමයි මට ආරාධනා කළේ මෙහෙම චිත්‍රපටියක් කරනවා ඒකේ අංගරචනා ශිල්පියා විදිහට වැඩකරන්න කියලා. අනුරුද්ධ අයියත් එක්ක මං මීට කලින් වැඩ කරලා නැති වුණත් පෞද්ගලිකව හඳුනනවා. ඔහු තුළ යම්කිසි විශ්වාසයක් තිබුණා මේ දේ කරන්න මම තමයි සුදුසු ම කෙනා කියලා. මේ වගේ අභියෝගාත්මක කටයුත්තක් සඳහා මාව විශ්වාස කරලා මට අවස්ථාව ලබාදීම ගැන සතුටුයි.

l මීට පෙර ඔබ කමල්අද්දරආරච්චි සමඟ වැඩ කරලා තියෙනවද?

“තණ්හා රතී රඟා” චිත්‍රපටයේ අංගරචනා ශිල්පියා විදිහට කටයුතු කරද්දි මට කමල් අයියා එක්ක වැඩ කරන්න ලැබුණා. මම මගේ කලාව ඇතුළෙ නිතරම විශ්වාසයක් ඇතිවෙන විදිහට වැඩ කළා. මං ගැන විශ්වාසයක් කමල් අයියාටත් තිබුණා. මේ මම ඔහු එක්ක වැඩ කළ දෙවැනි අවස්ථාව. ඔහුගෙන් ලැබුණ සහයෝගය මට බොහොම වටිනවා. අනුරුද්ධ අයියා, කමල් අයියා සහ මම අතර විශාල විශ්වාසයක් ගොඩනැගිලා තිබුණා වගේම අනෙක් සෙසු සියලු ශිල්පීන් අතරත් ඒ විශ්වාසය ඒ විදිහට ම තිබුණා. ඒක මම විසින් ගොඩනගාගත්ත කාරණාවක්. කාලයක් වැඩ කරලා, මේ ගැන අධ්‍යයනය කරලා, මේ ක්ෂේත්‍රය සම්බන්ධව ඉගෙනගෙන ඒ ගොඩනගාගත් විශ්වාසය සහ අවබෝධය නිසා ඇතිවෙන දෙයක්.

l කමල්, විජේවීර චරිතයට පරිවර්තනය කිරීම සිදු වුණේ කුමන ආකාරයෙන්ද ?

මේකෙදි මට තීරණය කරන්න සිදු වුණේ මොන වගේ තාක්ෂණයක් භාවිත කරලා අපි මේ කටයුත්ත කරනවාද කියන එකයි. අපිට චරිත නිර්මාණය කරගැනීමේදී පාවිච්චි කරන්න වේෂ නිරූපණයේ දී විවිධ තාක්ෂණික ක්‍රම තියෙනවා. විජේවීර කියන දේශපාලනඥයාව ලංකාවේ මිනිස්සු හොඳින් අඳුරනවා. කමල් අද්දරආරච්චි කියන රංගන ශිල්පියාවත් ඒ වගේ ම ලංකාව හොඳින් අඳුරනවා. ඒ දෙන්නගේ දේශපාලනික මතයන් පිළිබඳවත් ජනතාව දන්නවා.මේ දෙක කොහොමද එකක් විදිහට ගෙනැල්ලා යම්කිසි විශ්වාසයක් හැදෙන විදිහට කටයුතු කරන්නේ කියන කාරණාව ගැන මං කල්පනා කර කර හිටියා. විජේවීර කියන චරිතයේ බාහිර ලක්ෂණ මතුකරන්න ඕනෙ දේවලට මූලිකව සූදානම් වෙමින්, අවශ්‍ය දේවල් සියුම් විදිහට කරගෙන ඇවිල්ලා තමයි අවසාන ප්‍රතිඵලය දක්වා ආවේ. දත් සෙට් එක හදන වැඩේට ම මායි කමල් අයියයි දහපාරක් විතර ගියා. ගිහින් ගිහින් දත් දාලා බලලා, දත් සෙට් එක සැරින් සැරේ වෙනස් කළා හරියටම හරියනකම්. මුලින් මං මේකෙදි කල්පනා කළා Prosthetic make-up එකකට යනවාද කියලත්. නමුත් එහෙම එකකට යන්න අවශ්‍ය වුණේ නෑ. එතනින් මෙහා තැනක ඉඳන් අපිට විජේවීරගේ චරිතය ගොඩනඟාගන්න පුළුවන් වුණා. කොහොම හරි කමල් අද්දරආරච්චි විදිහට පුටුවෙ වාඩි කරවලා, විජේවීර විදිහට නැගිට්ටන්න පැය හතරක වගේ කාලයක් ගත වුණා. අවුරුදු 12ක කාලයක් පුරා විහිදෙන කතාවක්නෙ අපි මෙතනදි පැය දෙකහාමාරකින් පෙන්වන්නේ. ඒ නිසා අවස්ථාවෙන් අවස්ථාවට යම් යම් වෙනස්කම් කරන්න වුණා වේශ නිරූපණයේදී.

l ඔබ අංග රචනයෙන් දායක වුණු චිත්‍රපට අතරින් ඉදිරියේ දී තිරයට පැමිණීමට නියමිත චිත්‍රපට මොනවාද ?

ප්‍රදීප් ධර්මදාසගේ “අයිස්ක්‍රීම්”, ප්‍රසන්න ජයකොඩිගේ “දඩයක්කාරයා”, අශෝක අතාවුදහෙට්ටිගේ “කන්දක් සේ මා”, විජිත ගුණරත්නගේ “අමාවක”, චින්තන ධර්මදාසගේ “ඇවිලෙනසුලුයි” වැනි තවත් චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේ දී තිරගත වීමට නියමිතව තියෙනවා.

l ඔබ විදේශීය චිත්‍රපට කිහිපයක අංගරචනා ශිල්පියා විදිහට කටයුතු කළා. ඒ නිර්මාණ සහ අපේ නිර්මාණ ගැන ඔබට ඇත්තේ කෙබඳු අදහසක්ද?

පිටරටවල අයට නිර්මාණයක් කරන්න ගියාම ඒ වෙනුවෙන් විශාල මුදලක් වෙන්වෙනවා. අපි මූලික වශයෙන් ලංකාවේ සීමාසහිත ප්‍රේක්ෂකාගාරය ඉලක්ක කරගෙනනෙ නිර්මාණයක් කරන්නෙ. පිටරටවල අය චිත්‍රපටියක දර්ශනයක් වෙනුවෙන් වෙන් කරන මුදල් ප්‍රමාණයට අනුව ඔවුන් කොහොමද නිර්මාණයක් වෙනුවෙන් සූදානම් වෙන්නෙ කියන කාරණාව සෑහෙන්න වෙනස් අපිට සාපේක්ෂව. අපේ නිර්මාණයකට ආයෝජකයෙක් මුදල් යෙදෙව්වම ඇතැම් අවස්ථාවල නැවත ඒ මුදල ලබාගන්න එකත් අසීරු කටයුත්තක්. ලක්ෂ දෙසීයක විතර ජනගහනයක් ඉන්න රටක්නෙ අපේ රට.ඒකෙනුත් කී දෙනාද චිත්‍රපටියක් බලන්නෙ? ඒ කාරණාව අපිට බලපානවා පැහැදිලිව ම. ඒ හැරුණම නිර්මාණ කෞෂල්‍ය අතින් කිසිඳු වෙනස්කමක් නෑ. මම හිතනවා අපි හොඳයි. අපේ තියෙන අවම පහසුකම් යටතේ අපේ හැකියාවෙන් අපි උපරිම ප්‍රයෝජන අරගෙන, කරන්න පුළුවන් උපරිම කැපවීම ඒ නිර්මාණය වෙනුවෙන් කරලා, අපි වැඩක් කරනවා. අපිට නිර්මාණයක ප්‍රමිතිය රැකගන්න පුළුවන්.

l අද ශ්‍රී ලංකාවෙ කලාව ඇතුළෙ අංගරචනා ශිල්පියාට ලැබෙන තැන ගැන ඔබ මොකද හිතෙන්නෙ?

කිසිම තැනක් නෑ. හැමෝම හිතාගෙන ඉන්නේ අංග රචනය කියන්නේ හරිම සරල කාරණාවක් කියලා. මේකෙ තියෙන වගකීම සහ මේකෙන් කරන්න පුළුවන් දේ ගැන අපේ රට ඇතුළේ දැනුවත්වීමක් නෑ. එහෙම වාතාවරණයක් යටතේ අංගරචනා ශිල්පීන්ට නිසි තැන ලැබිලා නෑ. පෞද්ගලිකව මට සහ අපි කිහිප දෙනෙකුට වැඩක් කරන්න පුළුවන් කියන කාරණාව ඉතා සීමිත පිරිසක් දන්නවා. අංගරචනා ශිල්පියෙකුට රංගන ශිල්පියෙකුගේ මුහුණ ගැන කොයිතරම් වගකීමක් තියෙනවාද? අපි මොනවාද පාවිච්චි කරන නිෂ්පාදනය? රංගන ශිල්පියාගේ හෝ ශිල්පිනියගේ මූණට යම් හානියක් වුණොත් අපි මොකද කරන්නෙ? මේ විදිහට වගකීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අංගරචනා ශිල්පියා කියන චරිතය චිත්‍රපටියකට ඒතරම් වැදගත් කියලා වැඩි දෙනෙක් හිතන්නෙ නැති නිසා තමයි අද ඔවුන්ට ක්ෂේත්‍රය ඇතුළේ තැනක් නැති වෙලා තියෙන්නෙ. පිටපතක තියෙන චරිතයක් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි.මේ ගැන චිත්‍රපටි අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරු ඉතා සැලකිලිමත් වෙන්න ඕනෙ. ඒ සැලකිල්ල ලංකාව ඇතුළෙ මං ලොකුවට දැකලා නෑ. අපිට කලින් පරම්පරාවේ දක්ෂ අංගරචනා ශිල්පීන් ඉන්නවා. ඒ අයටවත් නිසි තැන ලැබිලා නෑ. නළුවෙකුට හෝ නිළියකට ඒ අවශ්‍ය චරිතයේ බාහිර ස්වරූපය හරියට හදලා දෙනවා නම් ඒක විශාල සහයෝගයක් වෙනවා අදාළ චරිතයට සමාරෝපණය වෙන්න. ඒ දේ අපි ඕන ම පිටපතකට දෙන්න ඕනෙ. ඒක අන්තිමට බලපාන්නේ ප්‍රේක්ෂකයන්ට.

l මේ ක්ෂේත්‍රයට එන නවකයන්ට ඔබ ලබාදෙන පණිවුඩය කුමක්ද ?

මේක ඉගෙනගෙන කරන්න ඕනෙ රස්සාවක්. ආවට ගියාට කරන්න පුළුවන් එකක් නෙවෙයි. අපිට ඉස්සර මේ දේවල් ඉගෙනගන්න තැන් තිබුණෙ නෑ. දැන් ලංකාවේ සහ ලෝකෙ ඕනතරම් තැන් තියෙනවා මේ දේවල් ඉගෙනගන්න. ඉගෙනගෙන එන්න. ඇවිල්ලා ඉතාම වගකීමෙන් වැඩකරන්න. ඉගෙනගත්ත දේවල් පාවිච්චි කරන්න. මම මේ තැනට ආවේ මට ලැබෙන නිර්මාණවලදී මම ඉගෙනගත් විෂය කොහොමද නිර්මාණාත්මකව භාවිත කරන්නේ කියන දේ ගැන සැලකිලිමත් වුණු නිසයි. ඊළඟට ක්ෂේත්‍රය තුළ නවකයින්ට නිසි ගෞරවය දෙන්න ඕනෙ. ගොඩක් නවකයින්ට අමතක වෙන දෙයක් තමයි ඒක. මම ඉගෙන ගත්තෙ ජයන්තා රණවක මහත්මයාගෙන්. එතුමා මේ කලාව ඉගෙනගෙන ආවේ පිටරටක ගිහින්. මම අදටත් ඔහුට සහ ඔහුගෙන් ඉගෙනගත් දේට ගරු කරනවා. ඒ ගරුත්වය දෙන්න දන්නෙ නැති කෙනෙකුට මේ ක්ෂේත්‍රය තුළ ඉදිරියට යෑමක් නෑ.

l “ගින්නෙන් උපන් සීතල” ගැන ප්‍රේක්ෂකයෙක් විදිහට ඔබ මොකද හිතෙන්නෙ?

මං පළවෙනි වතාවේ මේ චිත්‍රපටය දිහා බැලුවේ ප්‍රේක්ෂකයෙක් විදිහට නෙවෙයි, මේ නිර්මාණයේ අංගරචනා ශිල්පියා විදිහටයි. මොකද මගේ අඩුපාඩු මොනවද? මං කොයිතරම් දුරකට සාර්ථකද කියන කාරණාව ගැනයි මුල් වතාවේ මේ චිත්‍රපටය නරඹද්දි මං සැලකිලිමත් වුණේ. නමුත් මම මේ චිත්‍රපටිය මේ වෙනකොට හය වතාවක් බලලා තියෙනවා. මේකෙ දේශපාලනයට අමතරව හරිම මානුෂීය කතාවක් ගැබ්වෙලා තියෙනවා. මේක මට සෑහෙන්න දැනෙන චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ තියෙනවා ප්‍රේක්ෂකයා ඇදබැඳ තබාගැනීමේ හැකියාවක්. ටික වෙලාවක් බලාගෙන ඉඳිද්දි මේ චිත්‍රපටිය අපිව අල්ලගන්නවා. එතනින් පස්සේ අපි ඉන්නේ මේ චිත්‍රපටිය ඇතුළෙ. අපිට මේකෙ සියලු දේවල් දැනෙන්න ගන්නවා. අපි මේ නිර්මාණයත් එක්ක බද්ද වෙනවා. කමල් අද්දරආරච්චි, සුලෝචනා වීරසිංහ, ජගත් මනුවර්ණ ඉතා ඉතා විශිෂ්ට රංගනයක් තමයි මේකෙදි ඉදිරිපත් කරන්නෙ. සෙසු රංගන ශිල්පීන් විශාල සහයෝගයක් ලබා දෙනවා.එක්කෙනාට එක්කෙනා නොදෙවෙනි විදිහට රඟපානවා. ඒක තමයි මේ චිත්‍රපටියේ සාර්ථකත්වය. ඒ වගේම කැමරා අධ්‍යක්ෂක විදිහට ධනුෂ්ක ගුණතිලකගේ කාර්යභාරයත්, අධ්‍යක්ෂකවරයා විදිහට අනුරුද්ධ අයියගේ මැදිහත් වීමත් මං විශේෂයෙන් අගය කරනවා. මේක ප්‍රේක්ෂකයෙක් විදිහට මං ඉතාම කැමැත්තෙන් නැරඹූ චිත්‍රපටියක්.

කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න