සිතුවමක රූ සපුව | දිනමිණ

සිතුවමක රූ සපුව

සිරි කුමාරසිංහයන් මෙරට ජනතාව වැඩිපුරම හඳුන්වන්නේ චිත්‍රශිල්පියෙකු, ලේඛකයකු වශයෙන් නොව රූකඩ කලාවට ආදරය කරන්නෙකු වශයෙන්ය.

කෙසේ වුවත් සිරි කුමාරසිංහයන් අතින් මෙරට රූකඩ කලාවට සේම චිත්‍ර කලාවට ඉටුවූයේද මහඟු සේවයකි.

සිරි කුමාරසිංහ නම් අපූරු සිත්තරා 1938 අප්‍රේල් 12 වන දින මහනුවරදී උපත ලැබීය. මුලින්ම ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබීය. එයින් පසුව 1957 එංගලන්තයේ රාජකීය චිත්‍ර කලා සහතිකයද 1958 මහනුවර ලලිත කලායතනයේ සහතිකයද 1966 සෞන්දර්ය උපාධි සහතිකයද එයින් පසු සෞන්දර්ය විශේෂ පුහුණු සහතිකයද ලබාගෙන තම චිත්‍ර කලා දැනුම වර්ධනය කර ගත්තේය. 1967 – 1985 කාලයේ චිත්‍ර කලා ගුරුවරයකු වශයෙන් චිත්‍ර කලා දැනුම ලබාදීමට කටයුතු කළේය. 1985 – 1996 දක්වා වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ චිත්‍ර කලා කථිකාචාර්යවරයකු වශයෙන් කටයුතු කළේය. එයින්ද නොනැවතුන මේ අපූර්ව චිත්‍ර ශිල්පියා, සංස්කෘතික අමාත්‍යාංශය මඟින් මෙහෙයවන බටලීය කෞතුක වස්තු අනුරූ නිකේතනයේ ආරම්භක අධ්‍යක්ෂ වශයෙන් 1996 – 2001 කාලය තුළ සේවය කළ අතර පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු වශයෙන්ද සේවය කළේය.

මොහුගේ චිත්‍ර කලාව අපේ පාරම්පරික චිත්‍ර කලාවේ හැඩතල, වර්ණ හා රේඛා මිශ්‍ර කරගෙන ගොඩනඟා ගත් චිත්‍ර කලා ලක්ෂණය බෙහෙවින් පෙනෙන්නට ඇතැයි ඔහුගේ චිත්‍ර හොඳින් නිරීක්ෂණය කිරීමේදී පෙනී යන ලක්ෂණයකි.

සඟමිත් තෙරණිය ශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩම කරන අවස්ථාව දැක්වෙන චිත්‍රය ඉතා මනරම්ය. නිල්, ගුරු, තඹ, කහ, සුදු යන වර්ණ ප්‍රධාන කරගෙන මෙම චිත්‍රය නිර්මාණය වී ඇත. මුහුදු රැල්ලෙහි ඇති සුන්දරත්වයත් නැවෙහි හා ඉරෙහි ඇති නිර්මාණාත්මක බවත් මෙම චිත්‍රයට නවතාවයක් එක්කරනු ලබයි.

නිල් පැහැයේ ප්‍රභේදත් සුදු පැහැයත් මිශ්‍ර කරගෙන කුමාරසිංහයන් අතින් නිර්මාණය වූ මයුරෙකු පිටෙහි නැඟී යන රජ කෙනෙකුගේ රුව දැක්වෙන චිත්‍රයද ඉතා උසස් නිර්මාණයක් වශයෙන් හැඳින්විය හැක. රජුගේ නිර්භීත බවත් මයුරාගේ විචිත්‍ර බවත් පෙන්වා චිත්‍රයෙහි උසස් බව රඳවා තැබීමට මෙම චිත්‍රයෙන් සිරි කුමාරසිංහයන් උත්සාහ දරා ඇත.

විජය රජු ලංකා‍ද්වීපයට සැපැත් වන අයුරු දැක්වෙන චිත්‍රයෙන්ද අපිට පෙනීයන්නේ සිරි කුමාරසිංහයන්ගේ ශිල්ප රීතිත් චිත්‍රය සමඟ මිශ්‍ර කර ඇති අයුරුය. එක අතකින් නැව අසල සිටින විජය රජුන්ද චිත්‍රයේ පහත් ප්‍රදේශයෙන් කුවේණි කපු කටින අවස්ථාවද දුඹුරු ගඩොල් පැහැ රතු කහ පැහැයට හුරු රඹ පැහැයද සුදු, කොළ, නිල්, කළු පැහැයන් පසුබිම් කරගෙන සිත්තම් කර ඇත.

මොහු අතින් නිර්මාණය වූ වෙස්සන්තර ජාතිකය නිරූපණය වෙන චිත්‍රයද මහනුවර සම්ප්‍රදාය මූලික කරගෙන ගොඩනඟාගත් ශිල්පයන් දක්වන අවස්ථාවකි.

පසු කාලයකදී මේ සිත්තරා ලෝකයේ හොඳම චිත්‍ර කලා ගුරුවරයාට හිමි සම්මානය එවකට ඕස්ට්‍රේලියානු අගමැතිව සිටි බොබ් හොක් මහතා අතින් ලබාගත්තේ ශ්‍රී ලංකාද්වීපයට මහත් අභිමානයක් ගෙනදෙමින්ය. එයට අමතරව 1976 දී සිරි කුමාරසිංහ සිත්තරා සංස්කෘතික කලා මණ්ඩලයේ සම්මානයෙන් ද, 1979 ඔහුගේ බතික් කුකුළා ළමා පොතට හොඳම ළමා චිත්‍ර පොත වශයෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද ලබා ගත්තේය. පසුව 1986 විද්‍යා පීඨ සම්මානයෙන් ද, 2005 නැවතත් ශ්‍රී ලංකා ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය මඟින් බතික් කුකුළා ළමා පොතට සම්මානයක් හිමිකර ගත්තේය. එයට අමතරව මොහුගේ, පිනිබිංදුයි සූරියකාන්තයි යන ළමා පොතට 2006 වසරේදී ශ්‍රී ලංකා ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය මඟින් සම්මානයක්ද සුනාමි දූපතේ කතාව නම් පොතට පුස්තකාල මණ්ඩල සම්මානයක් ද 2006 වසරේදී හිමිවිය. එයට අමතරව සිරි කුමාරසිංහයන් මෙරට රූකඩ අනුමණ්ඩලයේ සභාපති වශයෙන්ද ජාත්‍යන්තර රූකඩ සංවිධානයේ සාමාජිකයෙකු වශයෙන්ද කටයුතු කර ඇත.

අලව්වේ චන්දන රණවීර

නව අදහස දක්වන්න