නැත්ත හා ඇත්ත | දිනමිණ

නැත්ත හා ඇත්ත

ලෝකය ජය ගැනීමට නම් බොරුව අවශ්‍ය යැයි කියනු මා අසා ඇත. කළ යුත්තේ නැති දෙයක් ඇතැයි පෙන්නීම ය. බොරුවක් වුවත් දිගින් දිගට කීමෙන් එය ඇත්තක් යැයි ඒත්තු ගැන්විය හැකි බව මේ මතය දරන්නෝ අදහති. අලෙවිකරණය යනුවෙන් හැඳින්වෙන කර්මාන්තය තුළ තිබෙන්නේ නැත්ත ඇත්ත කිරීමේ කලාව ය.

බොරුව පාපයකි. බොරුව වැරැද්දකි. එහෙත් මේ සංවාදය ඒ සම්බන්ධයෙන් නොවේ. මේ සංවාදය තුළ විමසන්නට අපේක්ෂා කරන්නේ බොරුවෙන් ජීවත් වීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකි ද යන්න ය. එම විමසීම වැදගත් වන්නේ බොහෝ දෙනකු ප්‍රතිඵල ලැබේ නම් පාපයක් ද වැරැද්දක් ද යයි සිතන්නේ නැති නිසා ය. බෞද්ධයෙකු ලෙස තමන්ට පැළඳිය හැකි ආඩම්බරකාර ලේබලය මිස, බොහෝ බෞද්ධයන්ට, පව පින, තවදුරටත් මහ ලොකු කාරණා නොවන නිසා ය. වෙන ආගමිකයන් සම්බන්ධයෙන් වුනත් ලොකු වෙනසක් අපට පෙනෙන්නේ නැත. ඒ හැම ආගමකින්ම පාහේ බොරුව පිළිකෙව් කර තිබිය දී ය.

අප බොහෝ දෙනකුගේ අත්දැකීම විය හැක්කේත්, ඒ නිසා ම විශ්වාසය විය හැක්කේත්, බොරුවෙන් ප්‍රතිඵල ලබාගත හැකි ය යන්න ය. ඒ සඳහා කොතෙකුත් උදාහරණ අපට සැපයිය හැකි ය. පාසලට ළමයා දා ගැනීමේ සිට බොහෝ කර්තව්‍යයන් සාර්ථක කරගත හැකි වූයේ බොරුව නිසා ය. ඒ නිසා ම එම මතය පහසුවෙන් ඉවත හෙළිය හැකි අදහසක් නොවේ. තවදුරටත් විමසිය යුතු එකකි.

නීතිය හා දඬුවම්

මේ සියල්ල කියන්නට වුණේ ඇත්ත හා නැත්ත නමැති පොතක් ලිවීම නිසා, නැත්ත ඇත්ත කිරීම සම්බන්ධයෙන් ද, බුද්ධිමය අයිතිය සොරා ගැනීම සම්බන්ධයෙන් ද, එහි කර්තෘ විමල් වීරවංශ මන්ත්‍රීතුමා දඬුවම් ලැබීමෙන් අවසන් වූ නඩුවක් ගැන ඊයේ පෙරේදා වාර්තා වූ නිසා ම නොවේ. නඩුවේ ප්‍රතිඵල පමණක් ගෙන විමසන්නේ නම් අපට සංවාදයකට යමක් ඉතිරි වන්නේ නැත. බොරුකාරයෙකු දඬුවම් ලබනු ඇත යන්න එයින් තහවුරු වන නිසා ය.

එහෙත් නඩුවේ ඉතිහාසය බැලූ විට පෙනී යන්නේ ඉහත කී නඩුව වසර 10 ක් පුරා අසනු ලැබූ බව ය. ඒසා කල් ගෙන නඩු යන්නට බොහෝ දෙනකුට වෙන නිසා ම සංවාදය ඉදිරියට ගෙන යෑමට එයින් කොනක් පෑදෙන්නේ ය.

ඊට මෙහායින්, ඒ කියන්නේ නඩු මගට බැසීමට මෙහායින්, බොරුව සම්බන්ධයෙන් ගත හැකි පියවරක් තිබේ ද යන්න ගැන අප උනන්දු ය. උසාවියේ ඔප්පු කළොත් මිස බොරුව, බොරුවක් නොවී පවතිනු ඇද්ද?

දෙදෙනකු අතර සම්බන්ධයක පදනම විශ්වාසය ය. එය ඉතා ඈත අතීතයේ දී පවා සම්බන්ධයක පදනම ලෙස සැලකිණි. විශ්වාසා පරමා ඥාතී යන බුදු වදනෙන් ප්‍රකාශයට පත් වූයේ ද එය ය. එයින් පැහැදිලිව කියවෙන්නේ බොරුව ජය ගන්නේ, එය බොරුවක් බවට අනාවරණය වන තෙක් පමණක් බව ය. ඒ සඳහා එය උසාවියක ඔප්පු කිරිම අවශ්‍ය නැත. උසාවියක ඔප්පු කරන්නට අවශ්‍ය වන්නේ වන්දි ලබා ගැනීම පිණිස ය. එහෙත් විශ්වාසය බිඳීමට අවශ්‍ය වන්නේ බොරුව, බොරුවක් බව පෙනී යෑම පමණ ය.

එසේ නම් බොරුවක් කළ බවක් උසාවියකින් ඔප්පු වූ විට ඒ තැනැත්තා මිනිසුන් විසින් අත්හැර දමනු ලැබිය යුතු ය. එය එසේ ම වන්නේ නැති බව අපට නුදුරේදී පෙනී යෑමට නියමිත ය. අප අත්හැර දමන්නේ අපට බොරු කරන මිනිසුන් මිස රටට බොරු කරන මිනිසුන් නොවන බැවිනි.

මහ බොරුව මග හැරී යෑම

බොරු වාලම්පූරියක් විකුණා ලක්ෂ ගණනක් ලබා ගත් බොරුකාරයෙකු ද ඊයේ පෙරේදා පොලිස් අත්අඩංගුවට පත් විය. එහෙත් ඒ වන තෙක්ම මාධ්‍ය විසින් ඇති කරන ලද අවකාශය භාවිතා කරමින් ඔහු දිගින් දිගට ජනතාව මුළා කරමින් සිටියේ ය. කොහේවත් නැති වාලම්පූරියකට සාර සුබාවට සම්පත් මැවිය හැකි යයි කියමින් මෝඩ මිනිසුන් මුළා කර ඔහු සුව පහසු ජීවිතයක් ගත කළේ ය.

වඩා වැදගත් කාරණය නම්, ඔහු විසින් සමාජගත කළ මහ බොරුව නොව කුඩා බොරුව ය. මහ බොරුව වාලම්පූරියකට සෞභාග්‍යය ගෙනා හැකි බව ය. කුඩා බොරුව වාලම්පූරි කියමින් දී තිබූණේ සැබෑ වාලම්පූරි නොවී ප්ලාස්ටික් කෑල්ලක් වීම ය. මහ බොරුව සමාජය තුළ තවමත් පවතින්නේ ය. ඒ තුළ තව බොරුකාරයකුට මතු විය හැකි ඉඩ තිබෙන්නේ ය.

අඩු වශයෙන්, බොරුකාරයා අසුවීම හොඳ දෙයකි. එයින් පෙනෙන්නේ බොරුවේ පැවැත්ම කෙසේ වුවත් බොරුකාරයාගේ පැවැත්ම කෙටි කාලීන විය හැකි බව ය. ඒ බොරුකාරයකුට බොරු කිරීමේ සීමාවක් නැති නිසා ය. බොරුව ම ඔහුගේ ජීවිතය නිසා ය. හැම ගහටම කොට කොට ගිය ද කෙහෙල් ගහට කෙටූ දවසට කොට්ටෝරුවාට ද වරදින නිසා ය. එහෙත් ඒ කෙටි කාලය තුළ සියල්ල බොරුව හරහා අත් කර ගන්නට කෙනකුට හැකි ය. සම්බන්ධය බිඳ වැටුන ද අවශ්‍ය සියල්ල ඒ වන විට බොරුකාරයා විසින් ලබා ගෙන තිබේ. ඉස්තාලය වහන විට අශ්වයා පැන ගිහින් ය. බොහෝ විට බොරුව සාර්ථක යැයි කියන අය උදාහරණයට දක්වන්නේ මේ කාරණය ය.

පසුව හෝ බොරුවට දඩුවම් ලබා දිය හැකි ය. බොරුවෙන් ලබා ගත් සියල්ල නැවත ආපසු ලබා ගැනීමට උත්සහ දැරිය හැකි ය. අප ඉහත දැක් වූ මුල් නඩුවෙන් එක්තරා දුරකට සිදු ව ඇත්තේ එය ය. එහෙත් බොරුව රජයන සමාජයක එය පහසු නැත. නඩුව වසර 10 ක් ගියේ ඒ නිසා ය. මේ නඩුවේ ප්‍රතිඵලය කියා සිටින්නේ බොරුව නිරාවරණය කර ගැනීම දිගු කාලීන විය හැකි නමුත් එය කවදා හෝ ඉටුකරගත හැකි බව ද? ඒ ගැන විමසන්නට තව කල් වැඩි ය. මේ නඩුවට විරුද්ධව අභියාචනා ඉදිරිපත් කරන බව දැනටමත් කියවෙන නිසා ය.

නඩුවක් ගිය නිසා විමල් වීරවංශ මන්ත්‍රීතුමා අහුවුණා මිසක මීටත් වඩා බොරු කියූ හා කියන දේශපාලනඥයෝ අදටත් කිසිදු උපද්‍රවයකින් තොරව ජීවත් වෙති. නිලධාරීන් ද එසේ ම ය. බලවත් බොරුකාරයන් බොහෝමයක් ද එසේ ය.

ඒ නිසා ම බොහෝ බොරුකාරයන්ට දඬුවම් ලැබෙන්නේ මේ ආත්ම භවයේ නොව ඊළග ආත්ම භවයේ දී විය හැකි තරමට බොරුව රජයන රටක තත්වය ඔඩු දුවා තිබෙන්නට පුළුවන. එයින් කියන්නේ බොරුව අනාවරණය වුව ද එහෙමට සිදු වන දෙයක් නැති බව ය. බොහෝ අවස්ථාවල දත් මිටි කා දරා ගන්නවා හැරෙන්නට කළ හැකි දේ අල්ප බව ය.

ලංකාවේ අපරාධ නඩු සම්බන්ධයෙන් චුදිතයන් දඬුවම් ලැබූ හා ලබන අවස්ථා අල්ප ය. එය සියයට 4 ත් 6 ත් අතර පසුගිය සමයේ දෝලනය වී තිබේ. එහෙම බැලුවහම උසාවියකින් බොරුකාරයන් දඬුවම් ලැබීමේ ඉඩ අතිශයින් අඩු ය.

ඊටත් අමතරව බොරුව රජයන සමාජයක බොරුකාරයන්ට සෙසු මිනිසුන් යටපත් කර ගත හැකි ය. බොරුව සත්‍යය ලෙස සමාජ ගත කරන්නට ද හැකි ය. බොරුවෙන් ලබා ගත් මුදල් භාවිතා කර මිනිසුන් නිහඬ කරන්නට හැකි ය. නැතිනම් සාක්කි ද, සාක්කිකරුවන් ද අතුරුදහන් කරන්නට ද හැකි ය. භෞතිකව පමණක් නොව ආයතනිකව ද අතුරුදහන් කරන්නට හැකි ය.

එක බොරුකාරයකු ඉවත් කර සම්බන්ධ විය හැක්කේ තවත් බොරු කාරයකු සමග පමණක් නම් බොරුවට ඉඩ දී කම්පා වෙනවා හැරෙන්නට කළ හැකි යමක් ද මිනිසුන්ට නැත්තේ ය. එවැනි තැනක සිදු වනු ඇත්තේ අඩුම හානියක් ඇති කරන බොරුකාරයා තෝරාගැනීම ය. නැතිනම් වනගත වී භාවනා කරන්නට ය. නැතිනම් තවත් ආකාරයක බොරු කාරයකු බවට තමන් පත් වන්නට ය.

අවසාන නිගමනය බොරුව පරාජය කිරීම අපහසු බව ය. බොරුව, බොරුව ලෙස පෙනී ගිය කල ද ඊට තවදුරටත් යෝධ ශක්තියක් තිබිය හැකි බව ය. එය ලෙහෙසියෙන් පසු බැස නොයන බව ය.

මේ නිසා ඇතිවන ප්‍රතිඵල කෙබඳු වේ ද? බොරුව හා ඇත්ත අතර වෙනස හඳුනා ගැනීමට නොහැකි තරමට ව්‍යාකූලත්වයක් ඇති වීම ය. ඇත්ත නැත්ත ලෙසත්, නැත්ත ඇත්ත ලෙසත්, සමාජගත වීම ය. බොරුව රජයන සමාජය ඇතුළතින් හිස් වීම ය. කුහරයක් හැදීම ය. පහසුවෙන් කඩා වැටිය හැකි හුඹසක් බිහි වීම ය. මේ අර්බුදය නිසා වැඩි දිනක් නොගොහින් සියල්ල කඩා ගෙන වැටීම ය. බොරුව කඩාගෙන නො වැටෙන තැනක මෙසේ කඩාගෙන වැටෙන්නේ බොරුව රජයන සමස්ත සමාජයම ය.

ඒ නිසා ම කෙටිකාලීනව කෙසේ වෙතත්, දිගු කාලීනව, බොරුව පරදින්නේ ය. බොරුවට ගහන මුක්කු ද සමග එය කඩා වැටෙන්නේ ය. බොරුව දරා සිටින සමාජය සමගම එය කඩා වැටෙන්නේ ය. ඒ වන විට වෙන්න ඕන හරිය වෙලා ඉවර ය.

බොරුව කරන්නේ බොරුව සඳහා නොවේ. බොරුව, වංචාව හා දූෂණය සඳහා ය. ඒවා සැඟවීම සඳහා ය. ආයතන හා සමාජය කඩා වැටෙන්නේ බොරුවට වහං වී එන මේ දූෂණය හා වංචා නිසා ය. ඒ දෙකේ නිවුන් සොහොයුරන් වන නාස්තිය හා අකටයුතුකම් නිසා ය. අසමත්ජාති වැඩ නිසා ය.

බොරුව සුජාතකරණය වීම

බොරුවක් නිරාවරණය සම්බන්ධයෙන් අපේ බලාපොරොත්තු බොහෝ ය. වැරදිකාරයා දඩුවම් ලැබීමෙන් අපේ අපේක්ෂා නිම නොවේ. අප සිතන්නේ ඒ තැනැත්තා සෙසු සමාජය විසින් ද හෙළා දකිනු ඇති බව ය. එය එසේ ම වනු ඇද්ද? ඉතිහාසය නම් කියන්නේ එය එසේ නොවන බව ය.

බොරුව ඇතැම් විට කරන්නේ තම කඳවුරේ ජයග්‍රහණය සඳහා ය. සමහරු ලජ්ජා නැතිව බොරු කියන්නේ රටින් නැතත් තම කඳවුරෙන් ඒ බොරුවට සමාව ලැබෙන නිසා ය. තමන්ගේ බොරුව ඇත්ත කිරීමට ද බොරුවට දඩුවම් ලැබුණද ඉන් ගලවා ගැනීමට ද කඳවුරේ මිනිසුන්ගේ උදව් ලැබෙන නිසා ය.

බොරු කළ කෙනකුගේ දඩ මුදල ගෙවන්නට ඉදිරිපත් වන ජනතාවක් රට තුළ ඉන්නේ නම් ද, ඒ මුදල් එකතු කර දීමට කැප වන නායකයන්, විශේෂයෙන් ආගමික නායකයන්, ඉන්නේ නම් ද, එහෙම සමාජයක බොරු පැලපදියම් වීම අරුමයක් ද? බොරු කීම තවදුරටත් ලජ්ජාවක් නොවී තිබීම අරුමයක් ද?

බොරුවට ඉඩ නැති සමාජයක මේ තත්වය වෙනස් ය. බොරුව අනාවරණය වූ වහාම එහි කර්තෘවරු කඩා වැටෙන්නා හ. ඔවුහු ඉක්මණින් දඩුවම් ලැබීමට ලක්වන්නෝ ය. ඇතැම් සමාජවල ඔවුහු මුළුමණින් පිටමං කරනු ලබන්නා හ. ඒ සඳහා බොරුව කී කළ තැනැත්තා තමන්ගේ කඳවුරේ ද නැද්ද යන්න කොහෙත්ම අදාළ වන්නේ නැත.

බොරුව බැහැර කළ හැක්කේ කරන හැම දෙයක්ම පාරදෘෂ්‍යව සිදු කිරීමෙනි. සියලු පාර්ශ්වකරුවන්ට ආයතනයේ සිදු වන දේ පැහැදිලිව දැකගත හැකි ක්‍රමවේදයන් සකස් කිරීමෙනි.

තොරතුරු දැන ගැනීමේ පනත මේ සම්බන්ධයෙන් අප රට ලද සාධනීය මෙවලමකි. ඒ එය නිසි ලෙස ක්‍රියාත්මක වෙතොත් ය. ආයතනයන් සතුව, ජනතාවට ලබා දිය හැකි, ප්‍රතිපත්ති තීන්දු ගැනීම සඳහා භාවිතා කළ හැකි, විශ්වාසනීය තොරතුරු තිබේ නම් ය. පනතකින් නොනැවතී ජාතික තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීම, ඒ සම්බන්ධයෙන් ගත හැකි ඊළග පියවර විය හැකි ය. එහිදී තොරතුරුවල විශ්වාසනීයත්වය තහවුරු කර ගැනීමේ උපායන් ද ඇතුළත් කළ හැකි ය. එවැනි තොරතුරු පද්ධතියක, උදාහරණයක් ලෙස, එක් එක් පුද්ගලයා විසින් කරන ලද වැරදි සහ ඒ සම්බන්ධයෙන් ඔවුන් ලද දඬුවම්, නිරතුරුවම යාවත්කාලීන කරමින් තිබිය යුතු ය. ඒ තැනැත්තා ඡන්දය ඉල්ලන්නේ නම් හෝ රාජ්‍ය සේවයේ ඉහළ තනතුරකට ඉල්ලුම් කරන්නේ නම් මහජනයාගේ දැන ගැනීම සඳහා ඒ තොරතුරු ප්‍රසිද්ධ කළ හැකි ය.

විචාරයක අවශ්‍යතාවය

බොරුකාරයෙකුට කියූ බොරුව මතකයේ තබා ගැනීමට අමතර උත්සාහයක් දරන්නට සිදු වේ. ඇත්ත කියන කිසිවකුට ඒ අපහසුව නැත. එහෙත් බහුතරයක් මිනිසුන්ට මතක තිබෙන්නේ සති දෙකක කාලයක් පමණක් නම් බොරුව සති දෙකක් අල්ලාගෙන සිටියහම ඇති ය. මේ නිසා ඇතැම් විට සිදු වන්නේ එක් බොරුවක සිට තව බොරුවකට මාරු වීම ය. ඒ සංක්‍රාන්ති සමය තුළ පළමු බොරුව අමතක කර දැමීම ය. දෙවැනි බොරුව උඩ දමා පළමු බොරුව යටපත් කර දැමීම ය (අප කලින් ඡේදයේ සඳහන් කළ ආකාරයේ ජාතික තොරතුරු පද්ධතියක් තිබේ නම් මේ කටයුත්ත පහසු වන්නේ නැත).

රටකට පමණක් නොව ආයතනයකට ද විචාරකයන් වඩාත් අවශ්‍ය ඒ නිසා ය. බොරුව ප්‍රශ්න කරන මිනිසුන් අවශ්‍ය වන්නේ ඒ නිසා ය. අතීතයෙන් නිරතුරුව ඉගෙනගත යුත්තේ ඒ නිසා ය. ඉතිහාසය නැවත නැවතත් ඉගෙනීම සඳහා ආවර්ජනය කළ යුත්තේ ඒ නිසා ය.

ඒ අර්ථයෙන් මාධ්‍යවලට එරෙහිව සිවිල් සංවිධාන ගණනාවක් විසින් කළ අමුතුම තාලයේ විරෝධයේ අති විශාල වැදගත් කමක් තිබේ. බොරුව සමාජගත කරන්නේ වැඩිපුර ම මාධ්‍ය අනුග්‍රහය ඇති ව ය. බොහෝ මාධ්‍ය එක් පැත්තක් කියන කතාව පමණක් ජනයාට අසන්නට සලස්වා ජනයාගේ ඇස්වලට වැලි ගැසිමේ ක්‍රියාවක නිරත ව සිටින්නේ ය.

විවාරයක් නැතිව ම, තමන් කඩේ යන පාර්ශ්වයට පමණක් අවස්ථාව දෙමින්, කරන මේ විකාරයට සක්‍රීය ජනතා නියෝජනයක් විරුද්ධ වීම තුළ පෙනෙන්නේ බොරුව දරා ගැනීමට ලාංකීය සමාජය තවදුරටත් සූදානම් නැති බව ය. මේ විරෝධයට එක් ව සිටි බොහෝ කලාකරුවන් ඉදිරියට ආවේ තමන් මාධ්‍යවලින් කැපී යන බව දැනගෙන ය. කලාකරුවකුට ජනප්‍රිය ව ඉඳීම ඔහුගේ හෝ ඇයගේ වෘත්තීය සාර්ථකත්වයට අතිශයින් වැදගත් ය. එසේ තිබිය දී මේ දැක්වූ විරෝධයට, ඒ තුළ ඔවුන් ප්‍රදර්ශනය කළ කැප කිරීමට, ජනතා ප්‍රණාමය ඔවුන්ට හිමි විය යුතු ය. ඔවුන් කියා සිටියේ එක් දෙයකි. බොරුව සමාජගත නොකරන ලෙස ය. සෑම පැත්තක්ම ජනතාවට දක්වන ලෙස ය. තීරණය ගැනීම ජනතාවට බාර දී ප්‍රවෘත්ති කීම පමණක් කරන ලෙස ය.

එහෙත් සිද්ධ වුණේ ඒ විරෝධකරුවන්ට ද ඇතැම් මාධ්‍ය ආයතන විසින් බොරුවෙන් ම ප්‍රහාර එල්ල කිරීම ය. ඔවුන් කරන්නේ තවත් කෙනකුට කඩේ යෑමක් යැයි කියා පෑම ය. ඔවුන් කහින්නේ ඩොලර්වලට බව කියා පෑම ය. ඔවුන්ගේ පසුගිය ක්‍රියාකලාපය විමසන කල ඔවුන් එහෙම කරන අය වග නම් පෙනෙන්නේ නැත. එහෙත් ඒ බොරුව දිගින් දිගට ම කීමෙන් එය සමාජගත කරන්නට මාධ්‍ය ආධිපත්‍ය තියන අයට හැකි ය.

ශ්‍යාම් වැනි කලාකරුවන්, තමන් සේවය කරන මාධ්‍ය ආයතන විසින්, සිය සහෝදර කලාකරුවන්ට එල්ල කරන මේ අසාධාරණ විවේචනයන් හෙළා දකිමින්, තමන්ගේ රැකියාවලින් ඉවත් වීම ද බොරුවට එරෙහි අරගලයේ වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරන්නේ ය. බොරුවට එරෙහි අරගලය ඉදිරියට යන ප්‍රමාණයට රට ද ඉදිරියට යනු ඇත්තේ ය.

සමාජ ජාලා අවකාශය ද බොරුව වපුරන තැනක් වුව ද අවසානයේ නිල ජනමාධ්‍ය මගින් ප්‍රචාරණය කරන බොරුවට යම් හෝ පිළිතුරක් ලැබෙන්නේ ඒ හරහා ය. පාරදෘෂ්‍යභාවය වැඩි වී තිබෙන්නේ ඒවා නිසා ය. නිල මාධ්‍ය පල නොකරන තොරතුරු පල කරමින් ජනතාවට යම් ප්‍රමාණයක ඇත්තක් දැක ගන්නට ලැබෙන්නේ ඒ නිසා ය.

අප ප්‍රවේසම් වෙතොත්, බොරුවෙන් ඇත්ත වෙන් කරගෙන, රටේ බොරුවට එරෙහිව හඬක් නැගීමේ ශාක්‍යතාවය ඒවා තුළ තිබේ. ඒ සමාජ ජාලා තුළ ඇතැම් විට නිදහසේ සංසරණය වන බොරුව ද අනාවරණය කරන්නට අපට කැප විය හැකි නම් ය. ඒ සඳහා වන වගකීමට පුද්ගලිකව ද උරදිය හැකි නම් ය.


නව අදහස දක්වන්න