ත්‍රි - රෝද රථ නියාමන අධිකාරිය! | දිනමිණ

ත්‍රි - රෝද රථ නියාමන අධිකාරිය!

ත්‍රි‍-රෝද රථ නියාමනය සඳහා අධිකාරියක් පිහිටුවීමට රජය අදහස් කරයි. මේ පිළිබඳ තොරතුරු හෙළිදරව් වන්නේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වෙතින් ය. අමාත්‍යවරයාගේ පැහැදිලි කිරීම්වලට අනුව පෙනී යන්නේ ත්‍රි - රෝද රථ, රියැදුරන්, හිමිකරුවන් හා ත්‍රි - රෝද රථ මඟින් යන පාර්ශ්ව වෙත සාධාරණය හා යුක්තිය ඉටුකිරීම සඳහා මෙබඳු පියවරක් වෙත යන බව ය. එලෙස ම මේ ප්‍රවාහන සේවය තුළ විධිමත් රටාවක් ගොඩනැඟීමට ද උක්ත වැඩසටහන හේතු - සාධක වන බව පෙනීයයි. දුප්පතාගේ වාහනය ලෙසින් හඳුන්වනු ලබන ත්‍රි- රෝද රථයට මේ මඟින් ස්ථාවර වටිනාකමක් ලැබෙන්නේ යැයි විශ්වාස කළ හැකි ය.

අද තත්ත්වය විමර්ශනය කළහොත් ත්‍රි‍ - රෝද රථ ධාවනයට, ගාස්තු අයකිරීමට, මගියාට පහසුකම් සැපයීමට විධිමත් රටාවක් නැත. අනෙක් පැත්තෙන් ත්‍රි - රෝද රථ රියැදුරාට යම් අභිමානයකින් යුතුව තම රැකියාවේ නිරතවීමට අදාළ පසුබිම සකස් වී නැත. ත්‍රි - රෝද රථ ආනයනය, ඒවාට මිල නියම කිරීම හා ත්‍රි - රෝද රථ ධාවනය සම්බන්ධයෙන් විවිධ ගාස්තු අය කිරීම ගැන ද විධිමත් නියාමනයක් නැත. ත්‍රි - රෝද රථ ධාවනයට අදාළ විවිධ සංවිධාන, සංගම් හා සම්මේලන ඇතත්; මීට විසඳුම් සොයන බවක්ද පෙනෙන්නට නැත. ඒ අනුව රජය මැදිහත් වී ත්‍රි - රෝද රථ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආයතනයක් පිහිටුවීම ඉතා වැදගත් ය. එය කාලෝචිත පියවරක් ලෙස ද පෙන්වාදිය හැකි ය.

බොහෝ ත්‍රි - රෝද රථවල දක්නට ලැබෙන පාඨයක් තිබේ. එනම්; “රෝද තුනක් උඩ සිහින ගොඩක් ඇත” යන්න ය. ත්‍රි - රෝද රථ රියැදුරන්ගේ ජීවිතය ගැනත්; ඔවුන්ගේ අනාගත අපේක්ෂා ගැනත් ඉන් කියැවෙයි. කුලියට ත්‍රි - රෝද රථ දුවන රියැදුරන් ගැන මෙහිලා වෙන ම සාකච්ඡා කළ යුතු ය. ඔවුන්ගේ පවුල නඩත්තුවන්නේ රථය ධාවනය සඳහා මඟියා ගෙවන මුදලින් ය. අද තත්ත්වයට අනුව ගතහොත් ; පළමු කි.මී 1ට රුපියල් පනහක් අයකෙරේ. ඊළඟ කි.මී. 1 සඳහා රුපියල් තිහ හෝ තිස්පහ ගණනේ අයකෙරේ. දෙවන කි.මී.1 සඳහා රුපියල් හතළිහක් අයකරන අයද සිටිති. කෙසේ වුව වාහනයට තෙල්, ගෙවී යන කොටස්වලට අමතර උපාංග හා රියැදුරාගේ දෛනික නඩත්තුවද මෙයින් පිරිමසාගත යුතු ය. ඒ හැරෙන්නට ඉහත ගාස්තුවෙන් පවුලක් ද නඩත්තු කළ යුතු ය.

ත්‍රි - රෝද රථ රියැදුරාට විශ්‍රාම වැටුපක් නැත. අර්ථසාධක හෝ වෙනත් ඉතිරිකිරීම් ද නැත. වයසට ගිය පසු ඔහු අවලංගු කාසියක් බවට පත්වේ. ප්‍රවාහන අමාත්‍යවරයා කියන ලෙස නව වැඩසටහණේ අවසන් ඉලක්කය වන්නේ ත්‍රි - රෝද රථ රියැදුරාට විශ්‍රාම වැටුපක් ලබාදෙන තැනට මේ වැඩසටහන ශක්තිමත් කිරීමය. මේ රියැදුරාට විශ්‍රාම වැටුපක් ලබාදිය හැකි නම්; එය ඉතා අගය කළ යුතු විශිෂ්ට වැඩසටහනක් වන්නේ ය.

ත්‍රි - රෝද රථ මහා මාර්ගයේ ධාවනයවීමේදී පැන නඟින ගැටලු සමූහයක්ද පවතී. සාමාන්‍ය පිළිගැනීමට අනුව මේ රථයේ ධාවනය මහා මාර්ගයේ අනෙකුත් රථවාහන ධාවනයට සැලැකිය යුතු බාධාවක් ඇති කරයි. ඒ සඳහා ඉදිරිපත්වන ප්‍රධාන කරුණු කිහිපයක් තිබේ. එක; ත්‍රි - රෝද රථ රියැදුරන් මාර්ග සංඥා සලකන්නේ නැත. ඒ හැරෙන්නට ඔව්හු පාර පුරා රථය ධාවනය කරති. වමෙන් ද වාහනවලට ඉස්සර කරති. රථයට ඔරොත්තු නොදෙන මඟීන් සංඛ්‍යාවක් පැටවීම මෙන්ම අධික වේගයකින් අනාරක්ෂිත ලෙස රථය ධාවනය කිරීමත් ත්‍රි - රෝද රථ සඳහා එල්ලවන විවේචන අතර පවතී. රියැදුරාගේ ජීවන චක්‍රය අනුව මෙබඳු අවිනීත ධාවනයකට යොමුවන්නේ යැයි කිව හැකි ය.

ත්‍රි - රෝද රථ සඳහා නියාමන අධිකාරියක් ස්ථාපිත කළහොත් මේ තත්ත්වයට විසඳුම් සෙවිය හැකි බව ත්‍රි - රෝද රථ සංගම් ද ප්‍රකාශ කර සිටිති. අප දන්නා පරිදි එබඳු සංගම් කිහිපයක් පවතී. සමස්ත ලංකා ත්‍රි - ‍රෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතිය, සමස්ත ලංකා මීටර් ටැක්සි සංගමය, ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනය ලෙස ඒවා හඳුනාගත හැකි ය. මේ සෑම සංවිධානයක්ම නියාමන අධිකාරියට කැමැත්ත පළකර සිටින බව වාර්තාවී ඇත.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පෙන්වා දෙන අන්දමට ශ්‍රී ලංකාව රිය අනතුරු බහුල රාජ්‍යයෙකි. එම අනතුරුවලට වගකිවයුතු ප්‍රධාන පාර්ශ්වයක් ලෙස ද ත්‍රි - රෝද රථය හඳුනාගෙන ඇත. මහජනයාගේ විශ්වාසයට අනුව ද ත්‍රි - රෝද රථ රියැදුරාට ඇත්තේ අපරික්ෂාකාරී වේගවත් ධාවනයක් පමණි. ඒ හැරෙන්නට රියැදුරන්ගේ හැසිරීම, වචන භාවිතය පවා ශිෂ්ට නොවන බවට විවේචන ඉදිරිපත් වී ඇත. ත්‍රි - රෝද රථ නියාමන අධිකාරියක් ඇතිකළහොත් මෙබඳු ගැටලු නිරාකරණය කළ හැකි ය. ඒ පමණක් නොව; ත්‍රි-රෝද රථ රියැදුරා අර්ධ රාජ්‍ය සේවකයකු ලෙස ද ගණන්ගත හැකි ය. එවිට හිතුවක්කාරී ලෙස හැසිරීමට ත්‍රි- රෝද රථ රියැදුරන්ට අවස්ථාව ලැබෙන්නේ නැත. ඒ අතින් ‍බලන විට නියාමන අධිකාරිය ත්‍රි - රෝද රථ සංස්කෘතියේ හැරවුම් ලක්ෂයක් සටහන් කරනු ඇත.

ශ්‍රී ලංකාව තුළ මුලින්ම කුලී රථ දුවන්නේ කොළඹ නගරය තුළ ය. වාහනය වූයේ රික්ෂෝවය. 1800 ගණන්වලට රික්ෂෝ ගෙන්වා ඇති අතර වැඩිකල් යෑමට පෙර රික්ෂෝ ධාවනය සම්බන්ධයෙන් නීති - රීති පැනවීමට ඉංග්‍රීසි ආණ්ඩුව ඉදිරිපත් වී ඇත. එහි වරදක් දැකිය නොහැකිය. වගකීමකින් හා විචාරයකින් තොරව හොඳ කුලී රථ සේවාවක් පවත්වාගත නො හැකි ය. ශ්‍රී ලංකාවේ ත්‍රි - රෝද රථ ජනප්‍රිය වන්නේ 1978න් පසුව ය. අද එය නැතිවම බැරි වාහනයක් බවට පත්වැ තිබේ. මේ කුලී රථය සම්බන්ධයෙන් විවිධ නීති රීති වරින්වර ක්‍රියාවට නංවා ඇත. 2013 දී නියාමන අධිකාරියක් ගැන සාකච්ඡා කර ඇත. එහෙත් එය ක්‍රියාත්මක වූයේ නැත.

ත්‍රිරෝද රථය අද අපගේ ජන ජීවිතය සමඟ බද්ධ වී ඇත. එය නොවැළැක්විය හැකි සේවාවක් ලෙසද අත්‍යවශ්‍ය සේවාවක් ලෙසද පෙන්වාදිය හැකි ය. ඊට අදාළ රාජ්‍ය ආයතනයක් පිහිටුවිය හැකි නම්; අප කාගේත් ජයග්‍රහණය ක් ලෙස එය හැඳින්විය හැකි ය.

 

නව අදහස දක්වන්න