නෙට්බෝල් සම්මේලනය විසුරුවා නිලවරණය පවත්වන්න නියෝග | දිනමිණ

නෙට්බෝල් සම්මේලනය විසුරුවා නිලවරණය පවත්වන්න නියෝග

 

ලබන 10 දා විශේෂ සභාවකින්  ඡන්ද මෙහෙයුම් කමිටුවක්

ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ නිලවරණය ඉදිරි මාසයක කාලයක් තුළ පැවැත්වීමට තීරණය වෙයි. එහි පළමු පියවර ලෙස ලබන 10 වැනිදා ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ විශේෂ මහා සභාවක් කැඳවා නිලවරණ කමිටුව පත්කර ගැනීමට නියමිතය. ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති සාකච්ඡාවකදී මේ තීරණ ගෙන ඇත.

නෙට්බෝල් සම්මේලනයේ සභාපති ට්‍රික්සි නානායක්කාර, ලේකම් ජයන්තී සෝමසේකරන් යන මහත්මීන් ඇතුළු විධායක කමිටු නිලධාරී පිරිස හා දිස්ත්‍රික් සංගම් ප්‍රධානීන් ක්‍රීඩා අමාත්‍යාංශයට කැඳවා මේ සාකච්ඡාව පැවැත්වුණි. නෙට්බෝල් ව්‍යවස්ථාව අනුව සෑම වසරකම මැයි මාසයේ සිට ඊළඟ වසරේ මැයි මාසය දක්වා පමණක් නිලධාරී මණ්ඩලය වලංගුවන අතර වසරින් වසර නිලවරණයක් පවත්වා නිලධාරීන් තෝරා ගැනීම අනිවාර්ය වේ. එහෙයින් දැනටමත් ප්‍රමාදවී ඇති නෙට්බෝල් සම්මේලන නිලවරණය කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දුන්නේය.

වාර්ෂික මහා සභා රැස්වීම හා නිලවරණය පැවැත්වීම ප්‍රමාදවී ඇත්තේ මූල්‍ය ප්‍රකාශනයේ විගණන වාර්තා ප්‍රමාද වීමෙන් බවද නෙට්බෝල් සම්මේලනය සතුව තිබූ රුපියල් ලක්ෂ 3.5ක් සොයා ගැනීමට නොහැකිවී ඇතැයි ද, සභාපතිනී ට්‍රික්සි නානායක්කාර මහත්මිය පෙන්වාදී ඇති අතර එම මුදල් ප්‍රශ්නය ක්‍රීඩා අමාත්‍යාංශය මැදිහත්ව විසදීමට කටයුතු යෙදේ.

අවසන්වරට පැවැති නිලවරණයේදී කළුතර දිස්ත්‍රික් නෙට්බෝල් සංගමයේ සභාපති හා ලේකම් ලෙස පෙනී සිටි දෙදෙනාම නීත්‍යානුකූල පත්වීම් නොවන බව පවසා ප්‍රතික්ෂේප කළද, එළැඹෙන නිලවරණයේදී එම දිස්ත්‍රික් සංගමය පිළිගත් ඡන්දදායකයෙකු ලෙස සැලකීමට ද තීරණයවී ඇත.

එමෙන්ම ජපානයේදී පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ නෙට්බෝල් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා පිලේ පුහුණුකාරිණිය තේරීම ගැටලු සහගත තත්ත්වයක ඇති බැවින් තෝරාගත් ක්‍රමවේදය ප්‍රසිද්ධ කරන ලෙසට ක්‍රීඩා අමාත්‍යාංශය මෙහිදී සම්මේලනයට දැනුම්දී ඇත.

දිස්ත්‍රික් සංගම් කිහිපයක් කරන ලද ඉල්ලීම සලකා බලා ක්‍රීඩා පනත අනුව නිලවරණය පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව පසුගිය වසරේ ජූනි මාසයේදී ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය වෙත ලිඛීත දැනුම්දීමක් කර තිබුණද, සභාපතිනී ට්‍රික්සි නානායක්කාර මහත්මිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත ලිපියක් භාර දුන්නාය.

එම ලිපිය මගින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත දැනුම්දී තිබුණේ ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ හිටපු නිලධාරිනියන් විසින් වසර 2017දී නෙට්බෝල් නිලවරණය කැඳවා ඇත්තේ 2019 දක්වා වසර දෙකක කාලයකට බැවින් මේ වසරේ නෙට්බෝල් නිලවරණය පැවැත්වීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවය. එබැවින් නෙට්බෝල් සම්මේලනයේ අනුබද්ධ දිස්ත්‍රික් ක්‍රීඩා සංගම් 6ක් එක්ව කළ ඉල්ලීම ඉටු කිරීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නොහැකි විය.

මේ තත්ත්වය මත ශ්‍රී ලංකා පිල ලබන ජූලි මාසයේ එංගලන්යේ පැවැත්වෙන ලෝක ශූරතා නෙට්බෝල් තරගාවලියට නව නිලධාරී මණ්ඩලයක් යටතේ සූදානම් කිරීමට සිදුවේ.

ප්‍රින්ස් ගුණසේකර


නව අදහස දක්වන්න