The Bikini Hiker කඳු මුදුනකින් පහළට වැටී මරුට | දිනමිණ

The Bikini Hiker කඳු මුදුනකින් පහළට වැටී මරුට

The Bikini Hiker නමින් හැඳින්වූ තායිවානයේ සුප්‍රසිද්ධ කඳු නගින්නියක වූ "ගිගි වූ" ඇය ගමන් කළ කඳු මුදුනකින් පහළට ඇද වැටී මිය ගොස් ඇත. 
 
36 හැවිරිදි තායිවාන් ජාතික "වූ" අන්තර්ජාලය තුළ අතිශය ප්‍රසිද්ධ තරුවකි. 
 
තායිවානයේ කඳුමුදුන් ගණනාවකට ගොඩවූ ඇය ඒවා මත සිට සිය ගණන් පින්තූර ඉන්ස්ටග්‍රෑම් ෆේස්බුක් හා වෙනත් සමාජ ජාලා වෙත යොමු කර තිබුණි. එම පින්තූර වල විශේෂත්වය වන්නේ එම සියලු පින්තූර වල ඇය සැරසී සිටින්නේ බිකිනි ඇඳුමකින් වීමයි. සමාජ ජාලා තුළ ඇය වටා රොකවූ පිරිස අති මහත්ය.
 
පසුගිය සෙනසුරාදා(19) තනිවම ඇය විසින් තායිවානයේ යුෂාන් ජාතික උද්‍යානයේ කඳුමුදුනක් තරණය කිරීම අරඹා තිබේ. එහෙත් ඇගේ අවසනාවකට ඇය එහිදී අඩි 65ක ප්‍රපාතයකට ඇද වැටී තිබේ. 
 
එම වැටීමෙන් ඇගේ දෙපා බිඳී ගිය අතර අපහසුවෙන් ඇය තමන්ගේ සැටලයි⁣ට් දුරකථනයෙන් තම මිතුරන්ව අමතා ඇති බව සදහන් වේ. එහෙත් අධික මීදුම හා සීතල නිසා ඇයව සොයා පැමිණි ගලවා ගැනීමේ නිළධාරීන්ට ඇයව හමුවූයේ සඳුදා(21) දහවල් කාලයේදීය. එහෙත් ඒ වනවිට අධික ශිතල නිසා ඇය මියගොස් සිටි බව සදහන් වේ.
 
"මං සෑම කඳුමුදුනකදීම බිකිනියකින් සැරසී පින්තූර ගන්නවා, දැනට මම කඳුමුදුන් 100කට ගොඩවී තිබෙනවා. තවත් ගොඩවන්නට නියමිතව තියෙනවා. කඳුමුදුන් 100කට ගොඩවූවත් මට තිබෙන්නේ බිකිනි ඇඳුම් 97යි. කඳුමුදුන් තුනකට මම කිහිපයක් දෙවතාවක් ඇන්දා. මේක මගේ හීනේ. මම ආසයි පරිසරය එක්ක ජීවත් වෙන්න. තායිවානය ලස්සන රටක්. කඳු නිම්න බොහෝමයි. සමරක් ඒවා ලස්සනයි, සමහරක් ඒවා අතිශය භයානකයි. අපි දැනගෙන මේවා තරණය කරන්න ඕන" වරක් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඇය කියා සිටියාය. කඳුමුදුන් වලට ගොඩ වීමේදී එහි තිබෙන නොදිරන අපද්‍රව්‍ය පවා ඇය විසින් පහළට ගෙන ඒම සිරිතක් කොටගෙන තිබුනි.
 
කෙසේ වෙතත් ඇය, ඇගේ ගමනේදීම මෙලොව හැරයාම සම්බන්ධව ඇගේ රසියන් බොහෝ සන්තාපයට පත්ව ඇගේ පින්තූර මත ශෝක පණිවුඩ තබා තිබේ.
 
" ඔබ කඳු අතරින් දිව්‍ය ලෝකය වෙත නොකියාම යන්න ඇති, දුන් සියලු දේට ස්තූතියි" කෙනෙකු එසේ ලියා තිබුනි.

නව අදහස දක්වන්න