සේනාගේ මාතලේ ගමන පොලිසියෙන් නවත්වයි | දිනමිණ

සේනාගේ මාතලේ ගමන පොලිසියෙන් නවත්වයි

සේනා දළඹුවන් බිත්තර සහ සලබ අවස්ථා සහිත බඩ ඉරිඟු ගස් පටවා ගත් ටිපර් රථයක් මාතලේ පලාපත්වල ප්‍රදේශයේ කිරිගව ගොවිපළකට ප්‍රවාහනය කරමින් තිබිය දී 21වැනි දින පස්වරුවේ පොලිස් භාරයට ගෙන ඇත. පොලොන්නරුව, ඇලහැර, බකමූණ, ගිරිතලේ දියබෙදුම, ආදී ප්‍රදේශවල සේනා දළඹු ප්‍රහාරය හේතුවෙන් එම ගොවීන් තම වගා බිම් කපා විනාශ කිරීම සිදු කරද්දි ඒවායේ ඉවත් කරන බඩ ඉරිඟු ගස් මෙසේ කිරි දෙනුන්ගේ ආහාර සඳහා මාතලේ පලාපත්වල ප්‍රදේශයේ පිහිටි ගොවිපළකට ප්‍රවාහනය කරමින් තිබුණු බව රියදුරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇතැයි නාඋල පොලීසිය කියයි.

නාඋල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුගත් විජේසුන්දර මහතාට ලැබුණ තොරතුරක් මත නාඋල පොලිසිය ඉදිරිපිට මාර්ග බාධකයක් ‍යොදමින් මෙම දළඹු විශේෂය සහිත බඩ ඉරිඟු ලොරිය පොලිස් බාරයට ගැනීම විශේෂත්වයකි.

මෙම ලොරියේ ඇති බඩ ඉරිඟු ගස් පරීක්ෂාකිරීමේ දී දළඹුවන් සලබයන් මෙන්ම දළඹු බිත්තර විශාල වශයෙන් තිබුණු බව පොලිසිය කියයි. දැනට මාතලේ පලාපත්වල ආදී ප්‍රදේශවල මෙතෙක් දළඹු ප්‍රහාරයේ වගාවන් හමුවී නැති නිසා දළඹුවන් මේ ප්‍රදේශයේ ද මේ ආකාරයෙන් බෝ වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පොලිසිය කියයි. පොලිස් භාරයට ගැනුණු සේනා දළඹු සහිත බඩඉරිඟු පිරවූ ටිපර් රථය කෘෂිකර්ම නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බව නාඋල පොලිසිය සඳහන් කළේය.

සීගිරිය විශේෂ


නව අදහස දක්වන්න