සැමට සෙවණින් නිවාස ගැටලු තිබූ පවුල් 332,000කට සහන | දිනමිණ

සැමට සෙවණින් නිවාස ගැටලු තිබූ පවුල් 332,000කට සහන

  • හම්බන්තොට අඟුණකොළපැලැස්ස සිරිසරණගම ජනතා අයිතියට

  • මේ වසර අවසන්වන විටඋදාගම් 2,500ක්

  • ඇමැති සජිත්ගෙන් පොරොන්දුවක්

යහපාලන රජය ගතවූ වසර හතරේ දී නිවාස, ඉදිකිරීම් අමාත්‍යාංශයෙන් නිවාස ගැටලුවලින් පෙළෙන පවුල් 332,000කට ආධාර උපකාර කළ බව - හම්බන්තොට අඟුණකොළපැලැස්සේ ඉදිවූ 'සිරිසරණගම' උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයේ දී නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

යළි පිබිදුණු ගම් උදාව වැඩසටහන යටතේ 152වෙනි උදා ගම්මානය වන 'සිරිසරණගම' හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේ දී ජනතා අයිතියට පත් විය.

නව නිවාස 23 කින් සිරිසරණගම උදා ගම්මානය සමන්විතවේ. ඉඩමක් හා නිවසක් නොමැති පවුල් 23කට මෙම ගම්මානයෙන් නොමිලේ ඉඩම් ලබා දී මෙහි නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා ඉතා සුළු පොළී ණය මුදල්ද අප ලබා දුන්නා. ඔවුන් ඊට තම මුදල්ද එක්කර ඉතා අපූරු නිවාස ඉදිකරගෙන තිබෙනවා. මෙම උදා ගම්මානයේ කටයුතු අංග සම්පූර්ණව නිම කිරීම සඳහා රුපියල් ලක්ෂ 212ක පමණ මුදලක් වැය කර තිබෙනවා. පිරිසිදු පානීය නළ ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග පද්ධතියක් ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් සිරිසරණගම උදා ගම්මානය සමන්විතය.

එහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා-අපේ ඉලක්කය වන්නේ 2019 වසරේ සැප්තැම්බර් මස අවසන් වන විට රරටේ උදා ගම්මාන 2,500 ක් ඉදිකිරීමයි. මේ වන විට දිවයින පුරා උදා ගම්මාන 1,684ක පමණ ප්‍රමාණයක ඉදිකිරීම් අප ආරම්භ කර තිබෙනවා. ගම්මාන 2,500 ඉලක්කය වෙත යන්නට තවත් ගම්මාන 816ක් අප ඉදි කළ යුතුයි. මෙම ඉලක්කය ජය ගැනීම අභියෝගාත්මකයි. නමුත් කෙසේ හෝ එම ඉලක්කය ජය ගන්නා බව මා ප්‍රකාශ කරනවා. අපගේ අවසන් ඉලක්කය වන්නේ 2025 දී රටේ උදා ගම්මාන 20,000 ක් ඉදි කිරීමයි. ඒ අනුව පළමු අදියරේදී උදා ගම්මාන 2,500 ක්, දෙවන අදියරේ දී උදා ගම්මාන 5,000ක්, තුන්වන අදියරේ දී උදා ගම්මාන 10,000 ක් සහ සිව්වන අදියරේ දී නැවත උදා ගම්මාන 2,500ක් වශයෙන් අප ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව වසර 2025 වන විට මෙරට උදා ගම්මාන 20,000ක් ඉදි කර සැමට සෙවණ ලබා දෙන බව බව මා සතුටින් ප්‍රකාශ කරනවා.

අද දින මෙම ගම්මානයේ පවුල් 23ට නිවාස අයිතිය මෙන්ම රුපියල් ලක්ෂ 69ක් වටිනා බිම් කොටස් 23ක අයිතිය හිමියි. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 500කට රුපියල් ලක්ෂ 500ක් වටිනා 'විසිරි නිවාස ණය' ලබා දෙනවා. පවුල් 50 කට රුපියල් ලක්ෂ 100ක් වටිනා 'සොඳුරු පියස නිවාස ණය' ලබා දෙනවා. ප්‍රදේශයේ සිටින දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයන් 200කට නොමිලේ ඇස් කණ්නාඩි ලබා දෙනවා. ප්‍රාදේශීය කලාකරුවන් 8දෙදෙනකුට රුපියල් 80,000ක් වටිනා වෛද්‍ය ආධාර ලබා දෙනවා. සිරිසරණගම උදා ගම්මානය ජනතා අයිතියට පත්වීමත් සමඟ මෙම ප්‍රදේශයේ ජනතාවට ප්‍රතිලාභ රැසක් ලබා දීමට අප කටයුතු කරනවා.

යහපාලන රජය බලයට පත්ව වසර හතරක කාලයක් වනවා. ඒ කාල වකවානුවේදී නිවාස, ඉදිකිරීම් හා සංස්කෘති කටයුතු අමාත්‍යාංශය නිවාස ගැටලුවලින් පෙළෙන පවුල් 332,000 කට ආධාර උපකාර කර තිබෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 26,000 ක මුදලක් වැය කර තිබෙනවා.

2015, 2016 සහ 2017 යන වසර තුනෙහිම අමාත්‍යාංශයට ලැබුණ ප්‍රතිපාදන මඟින් සියයට 99ක් ම නිවාස සංවර්ධනය වෙනුවෙන් වැය කළා. ඒ නමුත් 2018 වසරේ දී අමාත්‍යාංශ ප්‍රතිපාදන වලින් වැය කිරීමට හැකි වූයේ සියයට 80 ක ප්‍රතිශතයක් පමණයි. මාස දෙකක අභාග්‍යසම්පන්න කාලයේ දී අමාත්‍යාංශයට වෙන්කර තිබූ මුදල් නැවත මහා භාණ්ඩාගාරයට යවා තිබුණා. ඒ කාලයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස ගැටලු වෙනුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරී කාර්යාලයට ලබා දී ඇත්තේ රුපියල් 77,000ක මුදලක් පමණයි.

ජනතා කතිරයෙන් පත්වන දේශපාලඥයන් වන අපට විශාල වගකීමක් ඉටු කරන්න තිබෙනවා. ඔබ ලබා දෙන කතිරයට වටිනාකමක් අප ලබා දිය යුතුයි. රණසිංහ ප්‍රේමදාස යුගයේ වැඩසටහන් අප අද නව මුහුණුවරකින් ක්‍රියාත්මක කරන්නේ ඔබ වෙනුවෙනුයි. ජංගම සේවා වැඩසටහනින් අස්සක් මුල්ලක් නෑර සිටින මෙරට ජනතාව ළඟට ගොස් ඔවුන්ගේ දුක සැප සොයා බලනවා. නිවාස ගැටලු, ආර්ථික ගැටලු, සමාජීය ගැටලු, තරුණ තරුණියන්ගේ රැකියා ගැටලු එහිදි විමසා බලා එක් පවුලකට අවම වශයෙන් එක උපකාරයක් බැගින් සිදු කරන වැඩසටහන අප ආරම්භ කර තිබෙනවා. ජනතාව කතිරය ගසනවා, දේශපාලකයන්ට තනතුරු ලැබෙනවා, පෙරළා තනතුරු ලැබුණ අය කතිර ගැසූ අය වෙත ගොස් ජනතා ගැටලුවලට විසඳුම් ලබා දෙනවා. නිවැරැදි සංවර්ධන ක්‍රමවේදය හා නිවැරැදි දේශපාලනය මෙයයි. මේ චක්‍රය නිවැරැදිව සිදු කළ විට ජනප්‍රිය වෙනවා. තවත් ජනප්‍රිය වන ක්‍රමවේදයක් තිබෙනවා. ඒ ජනප්‍රිය වන ක්‍රමවේදයට සංවර්ධනය, ජනතා සේවාව අවශ්‍ය වන්නේ නැහැ. ගෝනිබිල්ලන් නිර්මාණය කර ජනතාවගේ මනස විකෘති කරමින් රටේ බේදභින්න ඇති කරවීමෙනුත් ජනප්‍රිය වෙන්න පුළුවන්. ඔක්තෝම්බර් 26වැනි දා සිදු වූයේද එයයි. රට, ජාතිය, ආගම, රණවිරුවන් උදෙසා වෙනුවෙන් යැයි ඔවුන් පවසනවා. නමුත් එය තේරුම් ගැනීමට ජනතාව බුද්ධිමත් විය යුතුයි.

මෙරට බුද්ධ සාසන අමාත්‍යාංශය ස්ථාපිත කළේ කවුරුන්ද? නොමිලේ ඉඩම් ලබා දී මෙරට රණවිරුවන්ට නිවාස ඉදිකරන වැඩසටහන පළමුවෙන් ආරම්භ කළේ කවුරුන්ද? වෙන කිසිවකු නොව එක්සත් ජාතික පක්ෂයෙන් බිහි වූ දිංවගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිමායි. අද කෑ ගසන පිරිස ඔවුන්ගේ පාලන කාලයේ දී ජනතාවට නොමිලේ ඉඩම් ලබා දුන්නාද කියා සොයා බැලිය යුතුයි. ඒ ගැන විමසන විට ඔවුන්ට පිළිතුරු නැතිව ගොළු වෙනවා. මෙරට ජනතාව අටමස්ථානය වන්දනාවේ යනවා නම් ඉපලෝගම රණවිරු ගම්මානය ද බලන්න යන්න යැයි මා කියනවා. රණවිරුවන් වෙනුවෙන් ඉදිකළ ඒ ගම්මානයෙන් එක රණවිරු පවුලකින් රුපියල් ලක්ෂ 8ක මුදලක් පසුගිය පාලකයන් ලබා ගෙන තිබෙනවා.

අප සතුව රාජ්‍ය බලය ඇති විට බෞද්ධ ආගම පිරිහෙනවා යැයි විරුද්ධවාදින් අද පවසනවා. මගේ පියාණන් දළදා මාලිගාවේ රන්වියන ඉදිකළා. එය ඉදිකරන විටද එහි ඉපැරැණි සංස්කෘතික අගය නැති වන බව පවසමින් විරුද්ධවාදීන් එයට ද විරුද්ධ වුණා. රන්වියන ඉදිකළ පසු මෑත කාලයේ සිදු වූයේ කුමක්ද? දහවල් කාලයේ දළදා මාලිගාව ඉදිරිපිට රේස් කාර් පැද රාත්‍රී කාලයේ සංගීත සංදර්ශන පැවැත්වුවා. රණවිරුවන් ලවා රේස් කාර් පදින්නට වැලි කොට්ට ගැස්සුවා. දළදා මාලිගාව ඉදිරිපිට රේස් කාර් පැද සංගීත ප්‍රසංග පවත්වන විට බෞද්ධ ආගම ආරක්ෂා වෙනවා ද කියා මා අසනවා.

2015 ජනවාරි 8දා අප බලයට පැමිණි පසු ඉඩම් නොමැති නිවෙස් නොමැති රණවිරුවන්ට ලබා දෙන ඉඩමට කිසිදු මුදල් අය කර ගත්තේ නැහැ. ඒ ඉඩමේ නිවස ඉදිකර ගැනීමට ඔවුන්ට ආධාර ලබා දීමේ ක්‍රමයක් ද ආරම්භ කළ බව මා සතුටින් ප්‍රකාශ කරනවා.

විරුද්ධවාදීන් අද ව්‍යවස්ථා ගෝනි බිල්ලෙක් නිර්මාණය කර තිබෙනවා. බෞද්ධ ආගමට හිමි මුල්තැනත්, රටේ ඒකීය භාවයත් නැති වෙනවා යැයි පවසනවා. එය මුසාවක් යැයි මා කියනවා.

ද්‍රවිඩ ජාතික සන්ධානය සමඟ ගිවිසුම් ගතව ආණ්ඩුව පවත්වාගෙන යන්නේ රට ද්‍රවිඩ ජාතික සන්ධානයට බාර දෙන්න යැයි අද විරුද්ධවාදීන් නොයෙක් දේ පවසනවා. රට පවා දෙන්නට කිසිවිටක අප ගිවිසුම් ගතව නැහැ. ද්‍රවිඩ ජාතික සන්ධානය අපගෙන් එක ඉල්ලීමක් කළා. ඔවුන්ගේ ඉල්ලීමට අනුව තිබෙන එකම ගිවිසුම උතුර නැ‍ෙඟෙනහිර ජනතාවට ඉඩම් ලබා දී නිවාස ඉදිකරන්න, සෞඛ්‍ය, වාරී, කෘෂි, අධ්‍යාපන ඇතුළු සියලුම ක්ෂේත්‍රයන්ගේ සංවර්ධනයක් සිදු කරන්න කියන එකයි. අපේම මාතෘ භුමියේ උතුරු නැ‍ෙඟෙනහිර කොටසේ සියලුම ක්ෂේත්‍රයන්ගේ සංවර්ධනය සිදු කිරීම වැරැදි දැයි මා විරුද්ධවාදීන්ගෙන් අසනවා. එය සිදු කිරීම අපගේ වගකීමයි. විරුද්ධවාදීන්ගේ මේ බොරුවට ජනතාව රැවටෙන්නට එපා.

ඔක්තෝම්බර් 26දා විරුද්ධවාදීන් බලය ලබා ගත්තේ රට සුරකින්න ද, එසේත් නැතිනම් තමන් සුරකින්න ද කියා මා අසනවා. මේ අය හැසිරුණු ආකාරය මේ රටේ ජනතාව දුටුවා. නිල ඇඳුම ඇඳන් සිටින රණවිරුවන්ට පහර දෙන්න යැයි පාර්ලිමේන්තුවේ දී තාත්තා පුතාට පවසනවා. පුතා ගොස් කිසිදු දැනුමක් නොමැති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කියනවා. ඒ උපදෙස අසා ඔහු පොලිස් නිලධාරියකුගේ කම්මුලට පහර දෙනවා. ඒ දර්ශන මෙරට රණවිරුවන් දුටුවා ද? කියා මා අසනවා. ඔවුන් බලයට පැමිණියා නම් සියලුම දෙනා අධිවේගී මාර්ගයෙන් කනත්තට යවනවා. රටේ නායකත්වය දැරූ කණ්ඩායම එකතු වී පොලිසියට පහර දෙනවා ඔබ දැක තිබෙනවාද? ඒවා පෙනී පෙනී ඔවුන්ට ගැතිකම් කරන පිරිස් තාමත් මේ ජන සමාජයේ සිටිනවාද කියා මා අසනවා.


නව අදහස දක්වන්න