දුම්රියේ තුනට අරන් දෙකේ ගිය 40ක් අත්අඩංගුවට | දිනමිණ


 

දුම්රියේ තුනට අරන් දෙකේ ගිය 40ක් අත්අඩංගුවට

නිමල් රාජපක්ෂ

සමුද්‍රදේවී දුම්රියේ හා රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු කාර්යාල දුම්රියේ ඊයේ (22) පෙරවරුවේ කළ ප්‍රවේශපත්‍ර පරීක්ෂාවකදී තුන්වන පන්තියේ ප්‍රවේශපත්‍ර රැගෙන දෙවන පන්තියේ ගමන් කළ මගීන් 40 දෙනකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මගීන් අතර කාන්තාවෝ 12 දෙනකු සිටි බව දුම්රිය ආරක්ෂක නිලධාරීහු පවසති. මාතර සිට මරදාන බලා ධාවනය වු සමුද්‍රදේවි දුම්රියේ පානදුර දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වාත් ,රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු කාර්යාල ශීඝ්‍රගාමී දුම්රියේ වේයන්ගොඩ සිට කොළඹ කොටුව දක්වාත් ප්‍රවේශ පත්‍ර පරීක්ෂාව සිදු කොට ඇත. මෙහිදී තුන්වන පන්තියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන දෙවන පන්තියේ ගමන්කළ මගීන් අත්අඩංගුවට ගෙන ඒ මොහොතේම මගීන් 17 දෙනකුගෙන් රුපියල් 52120 /- දඩ මුදලක් දුම්රිය ආරක්ෂක නිලධාරීන් අයකර ගෙන තිබේ. ඒ මොහොතේ දඩ මුදල් ගෙවීමට නොහැකි මගීන් ඇපකර තබා ගොස් ඇත.

දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න ,සහකාර අධිකාරී ඕ.කේ .ලලිත් යන මහත්වරුන්ගේ උපදෙස් මත කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරී ඊ.කේ.එස්.විජේසේකර ,කොටුව දුම්රිය ආරක්ෂක සේවයේ කාර්යභාර නිලධාරී කරුණානායක මහත්වරු දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ සහාය ඇතිව මේ වැටලීම සිදු කළහ.

නව අදහස දක්වන්න