කීනවල නගරයේ දෙමහල් ගොඩනැඟිල්ලක ගින්නක් | දිනමිණ

කීනවල නගරයේ දෙමහල් ගොඩනැඟිල්ලක ගින්නක්

කොටදෙනියාව සමූහ එම්.පී. කුමාර

නිදා සිටි මව පියා හා දරු දෙදෙනා බේරා ගනී

වේයන්ගොඩ කීනවල නගරයේ දෙමහල් ගොඩනැගිල්ලක ඊයේ (22) අලූයම ඇතිවූ හදිසි ගින්නකින් කුලී නිවැසියන් පදිංචිව සිටි එහි ඉහළ මාලය සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය අතර එහි නිදා සිටි මව පියා හා දරු දෙදෙනා නිරුප්‍රදිතව ගලවා ගැනීමට අසල්වාසීන්ට හැකි විය.

ඊයේ( 22) අලූයම 12.10 ට පමණ ඉහළ මාලයේ එක් කෙළවරක ඇතිවූ ගින්න සුළු මොහොතකින් ඉහළ මාලය පුරා පැතිර ගොස් ඇත. ගින්න නිසා වහළයේ ඇස්බැස්ටෝස් තහඩු පුපුරා යද් දී නිවැසියන් අව දී වී ඇතත් දුමාරය නිසා කිසිවක් කර කියා ගත නොහැකිව ආධාර ඉල්ලා කෑ ගසා ඇත.

ඒ අවස්ථාවේ දී අසල්වාසීන් පැමිණ දොරක් කඩා ඔවුන් ඉවතට ගැනීමට පියවර ගෙන තිබේ. ප්‍රදේශවාසීන් ගින්න නිවීමට උත්සාහ දරන අතර ගම්පහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ මහත් පරිශ්‍රමයක් දරා ගින්න මැඩ පවත්වා පහළ මාලයේ වෙළෙඳසල් කරා ගින්න පැතිර යාම වළක්වා ගැනීමට කටයුතු කරනු ලැබීය.

ගින්නට ලක්වූ දෙමහල් ගොඩනැගිල්ලේ පහළ මාලයේ කඩ කාමර කිහිපයක් වූ අතර ඉහළ මාලය කුලී නිවැසියන්ට ලබා දී තිබූ එකක් බව අනාවරණය විය.

ගිනි නිවන ඒකකයට වහා ගින්න මැඩ පවත්වා ගැනීමට නොහැකිවූයේ නම් පහළ මාලයේ ගොඩනැගිලි වෙළෙඳසලක් ඇතුළු කඩ කාමර පහක් ද ගින්නට ලක්වීමේ අවදානමක් තිබූ බව පොලිසිය කීය. ඒවායේ තීන්ත වර්ග මෙන්ම ටිනර් වැනි ගිනි ගන්නා සුළු ද්‍රව්‍ය රැසක් තිබී ඇත.

ඉහළ මාලයේ පදිංචිව සිටි නිවැසියන්ට ඉතිරිව තිබුණේ ඇදි වත පමණය. සෙසු සියලූ සේසතම විනාශවී ගොස් තිබුණි. කුස්සියේ තිබූ ගෑස් සිලින්ඩරයක් ඉවතට ගැනීමට හැකිවූ නිසා සිදුවන්නට ගිය මහත් විනාශයක් වළක්වා ගැනීමටද හැකිවී ඇත. පාසල් වියේ පසුවන දරුවන්ගේ පොත්පත් ආදියද සුන් බුන් ගොඩක් බවට පත්ව තිබුණි. ගණේමුල්ල ප්‍රදේශයේ පදිංදිව සිටි මේ පවුල මේ නිවසේ පදිංචියට පැමිණ ඇත්තේ ටික කලකට පෙරය.

ගොඩනැගිල්ලේ වහළයට යොදා තිබූ විශාල යකඩ කඳන් ඇඹරී විනාශ වී තිබූ අතර බිත්ති තැනින් තැන පුපුරා ගොස් තිබෙනු දැකිය හැකිවිය. වහළයේ ඇස්බැස්ටොස් තහඩු පුපුරා ගිය හඩ බොහෝ දුරට ඇසී තිබුණි.

වේයන්ගොඩ පොලිසියේ නිලධාරින් පිරිසක්ද මේ ස්ථානයට පැමිණ අවශ්‍ය කටයුතු සඳහා සහාය ලබාදුන් අතර ගින්නට හේතුව අනාවරණය කර ගැනීමට පරීක්ෂණ පවත්වති.

 

නව අදහස දක්වන්න