දරුවන්ට හොඳ නරක වටහාදීම මවුපියන්ගේ වගකීමක් | දිනමිණ

දරුවන්ට හොඳ නරක වටහාදීම මවුපියන්ගේ වගකීමක්

සුභාෂිණී සේනානායක

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඔවුන්ගේ මවුපියන් වගකිව යුතු බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි. එසේම පාසල දරුවන්ට ඉගැන්වීම් කරන ප්‍රධාන තැන ලෙස පවසන ආණ්ඩුකාරවරයා නිවස, පාසල සහ පරිසරය දරුවාගේ සංවර්ධනය උදෙසා විශාල වශයෙන් දායකත්වයක් දක්වන බවද කියා සිටි.

පාසල් දරුවන් බොහෝ කාලයක් ගත කරන්නේ නිවසේ බවත් පාසලේ ගත කරන්නේ පැය හයක කාලයක් පමණක් බවත් පවසන ආණ්ඩුකාරවරයා දරුවන්ගේ ක්‍රියාකාරකම් සහ ඔවුන් වෙත හොඳ නරක වටහාදීම මවුපියන්ගේ වගකීමක් බවද පෙන්වා දෙයි.

ඒ මහතා මේ අදහස් පළ කළේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වලාභී දරුවන් වෙනුවෙන් ඉරිදා දින කළුතර නගර සභා ශ්‍රවණාගාරයේ දි, අධ්‍යාපන සංවර්ධන සමුළුව මඟින් සංවිධාන කළ සම්මාන ප්‍රදාන උත්සවකට එක් වෙමිනි.

එහිදී ආණ්ඩුකාරවරයා මෙසේද කියා සිටියේය.

අපගේ අරමුණ වන්නේ පාසලේ අධ්‍යාපන ප්‍රමිතිය ඉහළ නැංවීම සහ සමාජයේ ඵලදායී පුරවැසියන් බවට දරුවන් පත් කිරීම සඳහා ඵලදායී විෂය නිර්දේශ හා විෂය මාලා අධ්‍යාපනයෙන් ලබාදීමයි

මුස්ලිම් පාසල්වල හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සැසිවාර පැවැත්වීම සඳහා වු යෝජනාව ආණ්ඩුකාර නියෝජිතයන්, ජමියාතුල් උලේමා සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය සහ අනෙකුත් සිවිල් සංගම් සමඟ ලබන මස පවත්වන්නා වු වට මේස සාකච්ඡාවක දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

මුස්ලිම් පාසල්වල මුස්ලිම් නොවන ගුරුවරුන් ඉගැන්වීම ප්‍රතික්ෂේප කිරීම කනගාටුවට කරුණක් බවත් එයට හේතුව වන්නේ දීර්ඝ රාමදාන් නිවාඩුව ඔවුන්ට නොලැබීම බවත් එම නිසා සියලුම පාසල්වල දරුවන්ට ඒකීය දින දර්ශනයක් ලබාදීම වඩාත් යහපත් බවත් අසාද් සාලි මහතා පෙන්වා දුන්නේය. සමුළුවේ අධ්‍යක්ෂ එස්.එල්.එම්. මන්සූර් මහතා පිළිගැනීමේ කතාව පැවැත් වු අතර ආණ්ඩුකාරවරයා වෙත සාටකයක් පිළිගන්වා එතුමන්ට ගෞරව දැක්වීය.

කළුතර නගර සභාවේ සභාපති වන අමීර් නසීර් මහතා ද මේ අවස්ථාවට සහභාගි වූහ. එමෙන්ම මාතෘ භූමියේ අනාගත වත්කම් වන දරුවන්ට ඉගැන්වීම සඳහා තම උපරිමයෙන්ම කටයුතු කරන ලෙසට එහි සිටි ගුරුවරුන්ගෙන් ආණ්ඩුකාරවරයා ඉල්ලීමක් කළේය.

නව අදහස දක්වන්න