ව්‍යවස්ථාවක් තබා කෙටුම්පතක්වත් සාදා නැහැ සමහරු ජාතිවාදය අවුස්සනවා | දිනමිණ

ව්‍යවස්ථාවක් තබා කෙටුම්පතක්වත් සාදා නැහැ සමහරු ජාතිවාදය අවුස්සනවා

ව්‍යවස්ථාවක් තබා ව්‍යවස්ථා කෙටුම්පතක්වත් සකස් කර නොමැති අවස්ථාවක රට බෙදනවා බුද්ධාගමට හිමි තැන අහෝසි කරන්න යනවා කියා බලලෝභී පරාජිත දේශපාලකයින් ජාතිවාදය, ආගම්වාදය අවුස්සනවා. කෙසේ වුවත් නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන සියලු දෙනාගේ පොදු එකඟතාවය මත ඒකීය රාජ්‍ය සංකල්පය මත බුද්ධාගමට හිමි ස්ථානය ඒ අයුරින්ම රැකෙන පරිදි නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ යැයි ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.

ඇමැති ගයන්ත කරුණාතිලක මහතා එසේ පැවසුවේ මිනුවන්ගොඩ එජාප බලමණ්ඩල රැස්වීමේදීය.

මිනුවන්ගොඩ එජාප ප්‍රධාන සංවිධායක ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමැති එඩ්වඩ් ගුණසේකර මහතා විසින් මෙම ආසන බලමණ්ඩල රැස්වීම සංවිධානය කර තිබුණි.

මිනුවන්ගොඩ කුරුණෑගල මාර්ගයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී චමින්ද සිල්වා මහතාගේ කාර්යාල පරිශ්‍රයේ 20 දින මෙම බලමණ්ඩල රැස්වීම පැවැත්විණි. විශේෂ ආරාධිතයා වශයෙන් සහභාගි වූ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙසේ ද පැවසීය.

Òඑළඹෙන ජනාධිපතිවරණයෙන් එ. ජා. පක්ෂය ස්ථිර වශයෙන්ම ජයග්‍රහණය කරනවා. එජාප නායකයින්ගේ හා පාක්ෂිකයින්ගේ එකම බලාපොරොත්තුව අධිෂ්ඨානය එජාප ජනාධිපතිවරයෙක් යටතේ එජාප රජයක් ඉදිරියේ එන ජනාධිපතිවරණයක් වේවා පළාත් සභා මැතිවරණයක් වේවා මහ මැතිවරණයක් වේවා ඒ කුමන මැතිවරණයකට වුවත් මුහුණ දී නියත ජයග්‍රහණයක් එ. ජා. පක්ෂයට ලබාගන්නට පුළුවන්.

අද වන විට පරාජිත දේශපාලකයින් රූපවාහිනී චැනල් ඉදිරියේ බලලෝභීව විහිළු තහළු දක්වන්නන් බවට පත්වෙලා. ජාතිවාදී, ආගම්වාදී පොහොට්ටුව ඇතුළු ඒකාබද්ධ විපක්ෂය යයි කියාගන්නා කණ්ඩායමේ නායකයින් ජාතිවාදී, ආගම්වාදී මුසාබස් කියමින් ජනතාව නොමඟ යැවීමට උත්සාහ කරනවා. ජාතික, ආගමික සංහිඳියාව අවශ්‍ය යුගයක ජාතිවාදී, ආගම්වාදී විෂබීජය පතරුවා ජනතාව නොමග යැවීමට උත්සාහ කරනවා. ඒ පිරිසගේ පැවැත්ම තිබෙන්නේ ජාතිවාදය, ආගම්වාදය ඇවිස්සූ තරමටයි. අද වන විට එය ලෝකයෙන්ම ඉවත් වෙමින් සංහිඳියාව යටතේ එක්තැන් වෙමින් සංවර්ධනය කරා රටවල් ගමන් කරනවා.

අද වන විට රාජපක්ෂ පවුලේ සියලුදෙනාම ජනාධිපති වීමට දඟලනවා. එ. ජා. පක්ෂය එක් පවුලකට එක් පුද්ගලයෙකුට සීමා වී නැහැ. එක්සත් ජාතික පක්ෂය එකම පවුලක්. ඒ ශක්තිමත් පවුල තුළ ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් කළ හැකි නායකයින් සිටිනවා. නියම අවස්ථාවට අපේ අපේක්ෂකයා ඉදිරිපත් කරනවා.

ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් බලය ඩැහැගත් පිරිස් පාර්ලිමේන්තුව ඇතුළේ හා පිටත මාධ්‍ය හා රජයේ ආයතනවල ගෙන ගිය ත්‍රස්තවාදී ක්‍රියාකලාපය මුළු ලෝකයම දැක ගත්තා. යහපාලන රජය ස්ථාපිත කළ කොමිෂන් සභා හා ස්වාධීන අධිකරණය නිසා ප්‍රජාතන්ත්‍රවාදය, සාමය ජය ගත්තා. එදා එජාප නායකයා ගත් තීරණය වටා පාර්ලිමේන්තු කණ්ඩායම ඇතුළු පාක්ෂිකයින් ඒකරාශී වුණා.

ස්වාධීන අධිකරණ තීන්දුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත වී නැවතත් එජාප රජයක් බිහිකර ගැනීමට හැකි වී තිබෙනවා.

තමන්ගේ කියන ඉඩමක, තමන්ගේම කියන නිවසක නීත්‍යානුකූල ඔප්පු තිරප්පු මත ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම අප රජයේ පරමාර්ථයයි. එල්. ආර්. සී. ඉඩම්වල හා රජයේ ඉඩම්වල ජීවත්වන ජනතාවට එම ඉඩම්වල අයිතිය තහවුරු කරන ඔප්පු ලියකියවිලි නැහැ. ඒ මානුෂික හිමිකම ලබාදීමට ඉඩම් ඔප්පු දසලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහනක් මෙම එජාප රජය ආරම්භ කර තිබෙනවා.

මිනුවන්ගොඩ එජාප ප්‍රධාන සංවිධායක ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමැති එඩ්වඩ් ගුණසේකර මහතා -

Ò2015 ජනවාරි අටවෙනිදා ලැබූ ජයග්‍රහණය ආපස්සට ගෙන යාමේ අටියෙන් ඔක්තෝබර් 26 දින ඇතිකළ ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් රට ආපස්සට ගියා. එදා එජාප නායකතුමා එඩිතරව එයට මුහුණ දුන්නා. යහපාලන රජය යටතේ ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කර තිබූ නිසා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ස්වාධීන තීන්දුවක් ප්‍රකාශයට පත්කළ නිසා නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වී එජාප රජයක් බිහිව පවතිනවා.

එදා යම් යම් සමහර මාධ්‍ය බොරුව රජකරවීමට කුමන්ත්‍රණය සාධාරණයයි කීමට ක්‍රියා කිරීම කනගාටුවට කරුණක්. රට සංවර්ධනය කිරීමට තිබූ රුපියල් මිලියන 2000 ක මුදලක් ආපසු ඇරියා. ඉදිරියේදී සෑම මැතිවරණ කොට්ඨාසයකටම රැකියා 400 ක් ලැබෙනවා. ගම්පෙරළිය යටතේ ගම් සංවර්ධනය කරනවා යයි එඩ්වඩ් ගුණසේකර මහතා කියා සිටියේය.

මෙහිදී බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන චමින්ද සිල්වා (එජාප), කිත්සිරි මංචනායක (එජාප), රෝස් ප්‍රනාන්දු (එජාප) යන මහත්ම මහත්මීහු ද කතා කළහ.

මෙහිදී පිළිගැනීමේ කතාව මිනුවන්ගොඩ නගර සභාවේ විපක්ෂ නායක ශ්‍රීමාල් මාරසිංහ (එජාප) මහතා පැවැත්වූ අතර ස්තූති කතාව මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අජිත් ඩෙස්මන් සිල්වා මහතා විසින් ද පැවැත්වීය.

බලමණ්ඩල රැස්වීම සඳහා එජාප සාමාජික සාමාජිකාවන් 700 කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියහ.

උඩුගම්පොළ සමූහ


නව අදහස දක්වන්න