දඬුවමක් දෙන්න පෙර සැබෑ අපරාධකරුවා හඳුනා ගතයුතුයි | දිනමිණ

දඬුවමක් දෙන්න පෙර සැබෑ අපරාධකරුවා හඳුනා ගතයුතුයි

චමීර ඇල්ලදෙණිය

* අද රටේ ඉන්න අපරාධකරුවන්ට ධර්ම දේශනා කර අපරාධ අල්ලන්න බැහැ
* ජාතික පොලිස් අභ්‍යාස ආයතනය කඩිනමින් උපාධියකට යා යුතුයි

පොලිස් දෙපාර්තමේන්තුව උගතුන්ගෙන් පිරි වෘත්තිකයන්ගේ සේවාවක් බවට පත් කිරීමට විෂය භාර ඇමැතිවරයා ලෙස අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජාතික පොලිස් ඇකඩමිය උපාධි මට්ටමට ගෙන ආ යුතු අතර ඊට යම් බාධා තිබේනම් ඒ සියලු බාධා ඉවත් කිරීමට කටයුතු කරන බව ද ජනපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පෙරේදා (21) පස්වරුවේ පැවති ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ ඩිප්ලෝමා සහතික ප්‍රදානෝත්සවය අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා එහිදී මෙසේද කීය.

ජීවිත පරිත්‍යාගයෙන් රට සහ ජනතාව වෙනුවෙන් සිය වගකීම් ඉටුකරන පොලිස් සේවාව සඳහා ලබාදිය යුතු ඉහළම වටිනාකම ලබාදීමට කටයුතු කරන බවත් කීය.

පොලිස් දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු ඉහළ නැංවීමට ගතයුතු ප්‍රතිපත්තිමය තීන්දු තීරණ පොලිස් දෙපාර්තමේන්තුව, පොලිස් කොමිසම, සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය එක්ව සාකච්ඡා කර කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවත් එය කිසිසේත් හෙට දවසට කල් දැමිය හැකි කාරණයක් නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ප්‍රඥාවෙන් වෘත්තිකත්වය, යන ආදර්ශ පාඨය පෙරදැරි කරගෙන ක්‍රියාත්මක වන ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ ප්‍රථම ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය මෙලෙස අභිමානවත් අයුරින් ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර පාඨමාලාව සාර්ථකව අවසන් කළ ශ්‍රී ලංකා පොලිසියේ සාමාජිකයන් දෙසිය හැට හතර දෙනෙකුට ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා ප්‍රදානය කිරීම මෙහිදී සිදු විය.

ජනාධිපති අතින් සංකේතාත්මකව කිහිප දෙනෙකු වෙත සහතික පත් ප්‍රදානය කෙරිණි.

මේ සන්ධ්‍යාවේ ඔබ සියලු දෙනා අමතන්නට ලැබීම පිළිබඳව මා සතුටට පත්වෙනවා. ඒ වගේම මට දැනගන්න ලැබුණා ජාතික පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පළමු ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය කියලා. ජාතික පොලිස් අභ්‍යාස විද්‍යාලය ගුණාත්මක බවින් යුතු උසස් පොලිස් සේවාවක් ගොඩනැගීමේ අරමුණින් ස්ථාපනය කරන ලද ආයතනයක්. නීතිය හා සාමය රැකීමත්, ඉන් බාහිරව පොලිස් දෙපාර්තමේන්තුව වශයෙන් ඔබෙන් විය යුතු කාර්යයන් නිසි ලෙස පමණක් නොව ඊටත් ඔබ්බට ගොස් සාර්ථකව කිරීමට ඩිප්ලෝමාධාරීන් වන ඔබටත් පොලීසියේ සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ටත් සියලු ශක්තිය හා ධෛර්යය ලැබේවායි කියා මා මුලින්ම සුබපතනවා.

පොලිස් දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ මේ රටේ යහපත් බව, නීතිය සාමය ආරක්ෂා කරන්න, දෙපාර්තමේන්තුවේ අරමුණු ඉටුකරගන්න එදා මෙදා කාලයේ ජීවතුන් අතර නැති සිටින සිටිය සෑම කෙනෙකුටම අපේ ගෞරවය පිරිනැමිය යුතුයි. විශේෂයෙන්ම අපේ පොලිස් දෙපාර්තමේන්තුව සැබෑ ලෙසම උගතුන්ගෙන් පිරි දෙපාර්තමේන්තුවක් විය යුතුයි. විධායක අධ්‍යක්ෂතුමා මා සමඟ කිව්වා පාකිස්තානයේ පොලිස් සේවයේ තත්ත්වය පිළිබඳව. මම එතුමාට කිව්වා මම අද කතාකරන්නේ මොනවාද කියලා කාරෙකේ එන ගමන් කල්පනා කරන කොට මට ඔය කියන කාරණාත් ඔළුවට ආවා කියලා. ඒ කුමක්ද. පොලීසිය, උගතුන්ගෙන් වෘත්තිකයන්ගේ සේවයක් බවට පත්කිරීමට අප විසින් කළ යුතු කාර්යයන් කුමක්ද. සාමාන්‍යයෙන් අපි කතා කරනකොට කියනවා පොලීසිය ප්‍රොෆෙෂනල් කළ යුතුයි කියලා. පොලීසිය ප්‍රොෆෙෂනල් කරන්න රටේ මහජනතාවට කොයිතරම් දේශන තිබ්බත් අද මේ යන ක්‍රමයට ගිහින් පොලීසිය ප්‍රොෆෙෂනල් කරන්න පුළුවන්ද කියන කාරණය ගැන. පාර්ලිමේන්තුවේ වසර 27 ක කාලය තුළ අපි හිතන්න ඕනෑ. මම අමාත්‍යාංශ හය හතක් කර තියෙනවා, ඒ වගේම ජනාධිපතිවරයා ලෙස සිටින මේ වසර 04 ක කාලය තුළ පොලීසිය භාර අරන් දැන් මාස දෙකයි. 2015 ජනාධිපතිවරයා ලෙස පත්වු අවස්ථාවේම පොලිසීය ඉල්ලන්න මට තිබුණා. නමුත් ආරක්ෂක අමාත්‍යාංශ ධුරයට අමතරව මම ඉල්ලුවේ පරිසර හා මහවැලි අමාත්‍යාංශය .මේ රටේ ආර්ථික සංවර්ධනය සහ පරිසර සංරක්ෂණයේ තිබෙන වැදගත්කමේ ප්‍රමුඛතාව සැලකිල්ලට අරගෙනයි. පොලීසිය බාරගෙන මාස දෙක තුනක කාලය තුළ මම දැකපු දේ තමයි පොලීසිය ශක්තිමත් කරන්න කළ යුතුව තිබුණ දේ කොතෙක් අතපසුවී තිබෙනවාද කියන කාරණාව. පොලීසිය ශක්තිමත් කළ යුතුයි යන්නෙන් අපි බලාපොරොත්තු වන අරමුණ සහ පරමාර්ථය කුමක්ද. එය මට වඩා හොඳට ඔබ දන්නවා. නීතිය සාමය වගේම ඉන් බාහිරව ඊට අදාළව විහිදී ගිය විෂය ක්ෂේත්‍ර ගණනාවක වගකීම් සහ යුතුකම් ඔබෙන් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට තිබෙනවා. ඒ සඳහා ඔබ ශක්තිමත් කළ යුතුයි. දෙපාර්තමේන්තුව ශක්තිමත් කළ යුතුයි. උගතුන්ගෙන් පිරවිය යුතුයි. පොලිස් දෙපාර්තමේන්තුවේ බඳවා ගැනීමේ ක්‍රමය මම දන්න විදියට සහකාර පොලිස් අධිකාරිවරු බඳවා ගන්නේ සෘජුවමයි. අනෙක් ඒවා අයැදුම්පත් කැඳවලා සාමාන්‍ය විදියටයි. නමුත් මේ රටේ අධ්‍යාපන, සෞඛ්‍ය, රේගු, දේශීය ආදායම්, ආගමන විගමන ආදී ක්ෂේත්‍රවල බොහෝ ආයතනවලට ගන්නේ තරග විභාගයකින්. පොලීසියත් යා යුත්තේ තරග විභාගයකට කියායි මා විශ්වාස කරන්නේ. එය එක වරටම සියයට සියයක් නෙවෙයි. ප්‍රතිපත්තියක් විදයට රජය තීරණය කරනවා නම් මම හිතන්නේ වාර්ෂික බඳවා ගැනීම්වලින් අනුපාතයක් මුලින් සියයට 25ක් ඊට පස්සේ 30ක් ඊට පස්සේ 40 ක් විදියට දීර්ඝ කාලීන අනාගත සැලැස්මකින්. ඒ තරග විභාගයකින් එන අයට දැනුම වඩාත් වැදගත් වෙනවා. පොලිසියට බඳවාගත්ත පොලිසියේ රාලහාමිගේ ඉදලා තරගකාරී විභාගයකින් නොගත්තා කියලා මම ඔවුන් අවතක්සේරු කරන්නේ නැහැ. ඔවුන්ගේ සේවයට දියයුතු, දියහැකි ඉහළම තක්සේරුව දියයුතුයි. ඒ ජීවිත පරිත්‍යාගයෙන් එදා මෙදා පොලිසියේ සේවය සිදුවූ නිසා, සිදුවන නිසා. ඒවා පිළිබඳව ප්‍රතිපත්තිමය කාරණා පොලිස් දෙපාර්තමේන්තුව, රජය සාකච්ඡා කර ඉදිරියේ දී වඩා යහපත් වැඩපිළිවෙළක් සකස්කරගත යුතුයි කියා මා විශ්වාස කරනවා. ඒ නිසා එය අපි හෙට දවසට කල් නොතබා අද දවසේම කළයුතු කාර්යයක් විදියටයි මා දකින්නේ. මේ රටේ අපරාධ මර්දනයට, පාතාල මර්දනයට, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට, සියලු නීති විරෝධී කටයුතුවලදී ඒ සියල්ල සඳහා මුහුණ දෙන්නේ ඔබයි. රාජ්‍ය දෙපාර්තමේන්තුවක තිබිය යුතු අසීරුම, අමාරුම දුෂ්කර කාර්ය ඉටුකරන්නේ ඔබයි. මහ පාරේ හිටගෙන, කන්න, බොන්න නැතිව රාජකාරි කරන රාලහාමි ඉන්න පැය ගණන කොතරම් ද කියලා තීරණය වන්නේ නැහැ. කන්න ටික නැතිව, වතුර බෝතලය නැතිව අවසානයේ විශ්‍රාම යන්නේ රෝගියෙක් ලෙස බව ඔබ අපි කාගේත් කතාබහට ලක් වූ කාරණයක්. එසේ ඔවුන් රෝගීන් වීමට ඉඩ නොදිය යුතුයි. අනෙක් දෙපාර්තමේන්තුවල වගේම පොලිස් සේවාවේත් සේවය කරන නිලධාරීන්ගේ දැනුම, උගත්කම, බුද්ධිය, වෘත්තිකයන් විදියට අවශ්‍යයි. ඔවුන් නීරෝගී වියයුතුයි. ඒ නිසා තමයි ඔහු පොලිස් දෙපාර්තමේන්තුවට ජාතික සම්පතක් වන්නේ.

ඒ නිසා අපි ඒ තත්ත්වය ළඟාකරගන්න අපි වැඩ කරන්න ඕනෑ. මේ මාස දෙකක් පොලිසිය භාරව වැඩකරන විට මටනම් හිතුණේ පසුගිය කාලවල පොලිසිය භාරව සිටිය ඇමැතිවරු මම පොලිස් ඇමැති කියලා මේක ආභරණයක් විදියට භාවිතා කරන්න ඇති කියලා. මේ දෙපාර්තමේන්තුව ශක්තිමත් කරන්න, සේවාවේ උසස් ප්‍රමිතියක් ලබාදෙන්න, ඒ කළයුතු කාර්යයන් රාශියක් අතපසු වෙලා. මේ පසුගිය මාස දෙකේ මම දෙපාර්තමේන්තුවේ කළ අලුත් තීන්දු තීරණ ඒ අය දන්නවා. සංශෝධනය කළයුතු නීති සංශෝධනය කරන්න, පොලිසිවලින් කසිප්පු ටික අල්ලගෙන උසාවි ගියාම සමහර මහේස්ත්‍රාත්තුමන්ලා පොලිසියට කසිප්පු අල්ලන්න බැහැ කියලා නඩු ප්‍රතික්ෂේප කරනවා. තවත් මහේස්ත්‍රාත්ලා දඬුවම් ලබාදෙනවා. එක් දිස්ත්‍රික්කයට එක් නීතියක්, තවත් දිස්ත්‍රික්කයක තවත් නීතියක්. දැන් මේක වසර ගණනක් තිබිලා. මම පසුගිය මාස දෙකේ සාකච්ඡා තියලා ඒ නීති සංශෝධනය අවසන් කළා.

පොලිසිය ශක්තිමත් කරන්න, පොලිස් සේවාව ගුණාත්මක කරන්න අලුත් නීති හදන්න මම උපදෙස් දීලා, නීතිපතිතුමාත්, ඔබේ නීති අධ්‍යක්ෂතුමාත් මේ වනවිට ඒ වෙනුවෙන් වැඩ කරගෙන යනවා. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම ශක්තිමත් කරනවා කියලා කියන්නේ සේවාව හරිහැටි කිරීමට අවශ්‍ය බලය, ශක්තිය, අවශ්‍ය සම්පත් ලබාදීම. එය අපි වගේ විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටක ඉතාමත් අත්‍යාවශ්‍ය වූ දෙයක්. ලෝකයේ ඉහළ සංවර්ධනයක් තිබෙන රටවල්වල ඔබ දන්නවා පොලිසිය කියලා එකක් හොයාගන්නවත් නැහැ. පාරේ යුනිෆෝම් එකක් දකින්නවත් නැහැ. අපි තවම එතැනට ගිහින් නැහැ . ඒ නිසා අපිට ඒ අභියෝගය තිබෙනවා. ඒ අභියෝගය ජයගන්න, හොඳ රටක් හදන්න, හොඳ සමාජයක් හදන්න, මේ රටේ රාජ්‍ය ආයතනයක් විදියට ප්‍රබල වගකීම්කරුවා, හිමිකරුවා ඔබයි.

මානව හිමිකම් මුදලාලිලා මිනිසුන්ට ආදරේ කරනවා කියනවා. එයාලා ආදරේ මිනිසුන්ට නෙමේ. එයාලා ආදරේ කරන්නේ ඩොලර්වලට. යූරෝවලට. අපි වගේ සංවර්ධනය වෙමින් පවතින රටවලට මානව හිමිකම් මුදලාලිලා නොයෙක් නීතිරීති දානවා. නොයෙක් බලපෑම්, තර්ජනය කරනවා. අපරාධ මර්දනයේ දී බරපතළ අපරාධකරුවන් පිළිබඳව ඔබ කටයුතු කිරීමේ දී මානව හිමිකම් විමුක්තිවාදීන් එයාලාගේ කඩුව උස්සනවා. මම ගිය සතියේ පිලිපීනයේ ගිහින් එරට ජනාධිපතිගේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ දිහා බලලා මම කිව්වා එතුමා ලෝකයේම ගෞරවාදරයට පත්විය යුතු නායකයෙක් කියලා. මෙන්න ඊට පහුවදා මානව හිමිකම්කාරයෝ කියනවා මානව හිමිකම් කඩකරන පිලිපීන ජනාධිපතිවරයා ලෝකයේ ආදර්ශවත් චරිතයක් කියලා කියපු ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මානව හිමිකම් කඩකිරීමක් කළා කියලා.

මේ ප්‍රතිචාරය මම දැක්කේ ගුවන් යානයේ පත්තර කියවන කොට. මෙන්න ලොකු අකුරෙන් තියෙනවා .පිලීපින ජනාධිපතිවරයාගෙයි මගෙයි ෆොටෝ එකක් දාලා. මාව හේග් නුවරට ගෙනියන්න ඕනෑ කියලා.

මං හරි සංතෝසයි ගෙනියනවා නම්. අපරාධ මර්දනය කළා කියලා ඒකට මට දඬුවම් දෙනවානම්. හැබැයි මේ මානව හිමිකම්කාරයෝ පාතාලය මර්දනය කරන්න කුඩු මර්දනය කරන්න අපරාධ මර්දනය කරන්න ස්ත්‍රී දූෂණ නවත්තන්න ළමා අපචාර නවත්තන්න සමාජයේ සිද්ධවෙන නීති විරෝධි ක්‍රියා නවත්තන්න ඔය සත පහක්වත් වියදම් කරන්නේ නෑ.

මේ රටේ මානව හිමිකම් සංවිධානවලටත් කෝටි ගාණක් ගලාගෙන එනවා. ඒ ගොල්ලෝ රටේ සාමය හා නීතිය ආරක්ෂා කරන්න කටයුතු කරනවද කියන ප්‍රශ්නය අපි හමුවේ තියෙනවා. යුද්ධය ඉවර වෙලා අවුරුදු දහයක් ගිහිල්ලා. සැබෑ ජාතික සංහිඳියාවක් ගොඩනගන්න ඔවුන් උත්සාහ කරන්නේ නෑ. ඔවුන් උත්සාහ කරන්නේ මානව හිමිකම් නාමයෙන් අර ජනතාවගේ සිත් නොසන්සුන් කරලා. ඒවා අවුස්සලා ඒගොල්ලන්ට ඩොලර් හොයාගන්න. එක තමයි ඒ ගොල්ලෝ කරන්නේ.

ඒක නිසා මම නම් බලය පිළිබඳ ආසාවෙන් නොව කිව යුතු දේ මම කියනවා. ඒගොල්ලන්ගේ සල්ලි අපිට විරුද්ධව වියදම් කරන බවත් මම දන්නවා. මැතිවරණවලදීත් වියදම් කරයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විරුද්ධව ලේකයේ අද බොහෝ රටවල රාජ්‍ය නායකයන් කතා කරන්නේ නැහැ. මත්ද්‍රව්‍ය ජාවාරමට විරුද්ධව මත්කුඩුවලට ලංකාවේ දේශපාලනඥයන් කීදෙනෙක් කතා කරනවාද කියලා මං ඔබෙන් අහනවා. මං මේ රටේ ජනතාවගෙන් අහනවා. ආණ්ඩුවේ වගකිය යුතු අය කීදෙනෙක් මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරමට විරුද්ධව කටයුතු කළ යුතුයි කියලා කට ඇරලා කියනවද.

නමුත් ඔබ ජිවිතය පරිත්‍යාග කරනවා. ඔබ අතපය අහිමි කරගන්නවා. ඔබේ මුළු පවුල් ජිවිතය ඔබ නැති කරගන්නවා. ඔබ ඔබේ අනාගතය නැති කරගන්නවා. රට වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් සහ ජාතියේ අනාගතය වෙනුවෙන්. පාතාල මර්දනයට ගිහිල්ලා. මේවා අපි සෑම කෙනෙක්ම අපේ හෘද සාක්ෂියෙන් ඇසිය යුතු දේවල්. ඇතැම් විට ඉතා අසීරු අමාරු රාජකාරීවලට ගිහිල්ලා ඔබ හවසට ගෙදර ආපුවහම දරුවොත් එක්ක ඔබේ ආදරණීය බිරියත් එක්ක කියනවා ඇති මම අදනම් මැරිලා උපන්නේ කියලා.

මම පොලීසියෙන් කණේ පාරවල් දෙකක් කාලා තියෙනවා. පළමුවෙනි කනේ පාර කාලා තියෙන්නේ 1967. දැන් ඉන්න අයට ඒවා මතකත් නෑ. වැඩිහිටියන්ට මතකද දන්නේ නෑ. ඒ කාලේ තිබුණා ඇම්.ජී.ආර් විරෝධී සටනක්. ඒ කාලේ. ඇම්.ජී.ආර් ලංකාවට ඇවිල්ලා රට අල්ලන්න හදනවා කියලා මෙහේ ඇම්.ජී.ආර්.ගේ චිත්‍රපටවලට විරුද්ධව විශාල ව්‍යාපාරයක් තිබුණා. දේශීිය කලාකරුවන්ගේ ඒකට විරුද්ධව ව්‍යාපාරයක් තිබුණා. අපි ඉස්කොලේ යන ළමයි එතකොට .ඉස්කොලේ යන ළමයෙක් විදියට ඒ සංවිධානයට මාත් බැදිලා හිටියා. ඔය පොළොන්නරුවේ චිත්‍රපට හෝල් එකක ඇම්.ජී.ආර්.ගේ චිත්‍රපටයක් පෙන්නන දවසක ගිහිල්ලා හෝල් එක වට කරලා කාටත් එන්න නොදී වැඩකරන කොට පොලීසියෙන් ඇවිල්ලා අපිට ගහලා එලෙව්වා . ඉස්කෝලේ ළමයි අපිත් එක්ක ගියා, පොලීසියට ගල් ගැහුවා. ගල් ගහපු අය දිව්වා. මං ගල් ගැහුවේ නැති හින්දා මම දිව්වේ නෑ. ඉතින් රාළහාමි කෙනෙක් මං ගාවට ඇවිල්ලා කිව්වා ගල් ගහලා දුවපු එවුන් දිව්වා. උඹ ගල් ගැහුවේ නැති වුණාට වරෙන් කියලා. ට්‍රක් එකට දාගත්තා මාව. පොලීසියට ගිහින් පැයක් දෙකක් තියාගන ඉදලා මේ ඉස්කෝලේ පොඩි එවුන්නේ කියලා නිදහස් කර එව්වා.

1980 බණ්ඩාරනායක මැතිනිය ප්‍රජා අයිතිය අහෝසි කරපු වේලාවේ ඊට විරුද්ධව පොළොන්නරුවේ 3000 ක් විතර එක්ක සිවිල් නීතී කැඩුවා. ඔක්කොම මහ පාරේ නිදියගත්තා. පොළොන්නරුවේ මඩකලපුව පාරේ. පොලීසියෙන් ඇවිල්ලා ගහලා එළවලා. ඒත් දුවන අය දිව්වා .මං දිව්වේ නෑ. එවෙලෙත් මගේ කණට එකක් ගහලා බෙල්ලෙන් අල්ලලා ජීප් එකට තල්ලු කරගත්තා. අනුරාධපුරේ හිරගෙදර හිටියා මාස එකහමාරක් විතර.

1971 මම උසස් පෙළ කරන කාලයේ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. මම ටිකක් දඟකාරයි, ටිකක් රැඩිකල්. ඒ කාලේ ශිෂ්‍යයෙක් වුණාට මගේ දේශපාලන පක්ෂය චේගුවේරා නොවෙයි. දැන් ජේවිපී වුණාට ඒ කාලේ කිව්වේ එහෙම. විදුහල්පතිතුමාට මාව කරදරකාරයෙක්. එතුමා විදුහල්පතිතුමා දඟකාර කරදරකාර ළමයි පස් හය දෙනෙකුගේ නම් දුන්නා පොලිසියට මුන් චේගුවේරා කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදියට ඒ කාලේ මාව අල්ලාගෙන හොඳට සැලකුවා. මුළු ඇඳුම් ලේවලින් තෙත් වෙනකල්.

මෑතක දී අභාවප්‍රාප්ත වු ඒ කාලේ පොළොන්නරුවේ හිටිය ඒඑස්පී මහත්තයා එද්දී අපි බංකුවේ වාඩි කරවලා ඉන්නවා. බොහොම අමාරුවෙන්. ඇහුවා මුන් පන්තිවත් කට් කරලා නැහැ. මොකටද මුන් තියාගෙන ඉන්නේ කියලා. ඒ කාලේ අපි හොඳට අඳුරන පොලිසියේ එස්අයි සමරවික්‍රම කියලා මහත්තයෙක් හිටියා. අපි හොඳට අඳුරනවා පාසලේ සෙල්ලම් කරන්නත් එනවා. අපි අඳුරන උප පොලිස් පරික්ෂක සමරවික්‍රම මහත්තයා ආවා. ඇවිල්ලා මට කිව්වා වරෙන් අර කාමරයට .එක්කන් ගිහිල්ලා මට දුන්නා සුදු කොළයක්. මම අද ජනාධිපති විදියට කියන්නේ බොරුවක් නොවෙයි. මම කියන්නේ පොලිසීයේ හොඳ නරක දෙකම තියෙන හින්දා. මම ප්‍රාර්ථනා කරනවා මට එදා පාසල් ශිෂ්‍යයෙක් හැටියට වේච්ච දේ කවදාවත් මේ රටේ නොවෙයි ලෝකයේ වත් පාසල් ශිෂ්‍යයෙකුට සිදු නොවේවා කියලා. සමරවික්‍රම මහත්තයා හාෆ්සීට් එකක් මගේ අතට දීලා පෑනක් දීලා මගෙන් ප්‍රශ්න කරනවා. ඔබ දැන් විද්‍යාවනේ කරන්නේ. ඔබට පුළුවන්නේ රේඛා අදින්න මෙතන මේ අපි ඉන්න හන්දිය ඇදපන් කිව්වා. ඔබත් දන්නවා ඇති පොළොන්නරුවේ ධර්මපාල රූපය තියෙන තැන කච්චේරිය ළඟ මම ටක් ගාලා එහාට මේහාට ඉරි ගහලා ඇන්දා. මගෙන් ඇහුවා දැන් කච්චේරිය තියෙන තැන දන්නවා ද කියලා. හන්දිය ඇන්දා. එතන පුංචි කොටුවක් ගහලා කච්චේරිය කියලා ලිව්වා. එතකොට පොලිසිවලට ගහලා නේව් එකයි ඔක්කොම ඉන්නේ අදත් තිබෙන වාරිමාර්ග කාර්යාලයේ. ඒකෙ තමයි මේ තලලා දාලා ප්‍රශ්න කරන්නේ. දැන් ඔබ කොහෙද ඉන්නේ කියලා දන්නවාද ? මට දැන් කතා කර ගන්නත් බැහැ .කියවෙන්නේ නැහැ. ලියපන් දැන් කොටුවක් ගහලා ලියපන් වාරිමාර්ග කර්යාලය කියලා ලියපන්. ලියපන් මෙතන පොලිස් හමුදා කඳවුර කියලා කිව්වා. මට එහෙම කරන කොට මොකක් හරි කරන්න කියලා මට තේරුණා. මම උසස් පෙළ ශිෂ්‍යයෙක්. එතකොට උපපොලිස් පරීක්ෂක සමරවික්‍රම මහත්තයා අතේ තියෙන පිස්ටල් එක අරගනෙ මගේ හිසට තිබ්බා. ඕක ඇදපන් ලියපන් කඳවුර කියලා. ලිව්වේ නැත්නම් එහා පැත්ත බලපන් කිව්වා එහා පැත්තේ ජනේලයේ එහා මගේ වයසේම ළමයි. ඊට ටික වේලාවකට පෙර වෙඩි තියලා ලේ පෙරාගෙන යනවා මම දැක්කා. මම මේ කඳවුර කියලා ලිව්වා. දැන් වාඩි වෙලා ඉන්න කිව්වා. ටික වෙලාවකින් ඒඑස්පී මහත්තයා ආයේ ආවා. ඇයි මුන්ව ගෙදර යැව්වේ නැත්තේ ? ඒඑස්පී මහත්තයා ඇහුවා. අපේ වැදගත් සමරවික්‍රම මහත්තයා ඇවිත් මම ඇදපු කොළේ මම ඉස්සරහම දුන්නා. මුගේ සාක්කුවේ තිබුණේ පැලෑන් එකක් තිබුණා කියලා දුන්නා. කඳවුරට ගහන ප්ලෑන් එකක් තිබුණා. මේක අපි හොයා ගත්තා කියලා කොළේ දුන්නා. ඊට පස්සේ ඒඑස්පී මහත්තයා දැන් ගෙනිහින් මරලා මේකව කනත්තට

දානවා කියලා කිව්වා. ටික වේලාවකට පස්සේ ට්‍රක් එකකට පටවා ගත්තා. පටවාගෙන පොළොන්නරුවේ කනත්තට අරන් ගියා. ට්‍රක් එකෙන් බැහැලා පලයන් ඉස්සරහට කියලා කිව්වා. දණ ගහපන් කිව්වා. මන් දැන් දන්නවා මට වදිනවා කියලා. මං කීවේ මැරිලා ඉපදුනයි කියලා. මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ තමයි මාව බේරා ගත්තේ. ටිකක් වෙලා ගිහින් නැගිටපන් කිව්වා. ආයි මාව ට්‍රක් එකකට දා ගත්තා. පොළොන්නරුවේ මහේස්ත්‍රාත්තුමා ගාවට ගෙනිහින් දොස්තර මහත්තයාටත් මාව පෙන්වලා මාව ගෙනිහින් රිමාන්ඩ් කෙරුවා. අවුරුදු එක හමාරකට පස්සේ මම එළියට ආවා. මාස තුනක් හිරගෙදර කළුවර කාමරයේ මම හිටියා. දොර යටින් කපලා තියෙන එකෙන් පිඟාන දානවා.

මම 71 අප්‍රේල් මාසේ උසස් පෙළ ලියන්න හිටියේ. මම හිරගෙදර ඉදලා 72 අප්‍රේල් මාසේ අම්පාරේ උහන මහා විද්‍යාලයට මාංචු දාගෙන උසස් පෙළ ලියන්න ගියේ. උහන මහා විද්‍යාලයේ උසස් පෙළ ලියන්න ගිහින් මංචු ගලවන කොට එක අතක් තුවාල වෙලා තිබුණා. මේ මෑතක් වෙන කල් ඒ කැලළත් තිබුණා. මම උත්තර පත්තරයට උත්තර ලියනවා ඇස්වලින් කඳුළු වැටෙනවා. ඇයි ඒ මන් චේගුවේරා කරපු නැති කෙනෙක් විදියට. මංචුවලින් කැපුණු අතේ තුවාල වුණු තැනින් ලේ බින්දු උත්තර පත්තරයට වැටෙනවා. මම මේ කියන්නේ සැබෑ සත්‍යයක්.

අවුරුදු එකහමාරකට පසුව මම ගෙදර ආවා. මාව පුනරුත්ථාපන කඳවුරකට ගෙනිච්චෙත් නැහැ. පුනරුත්ථාපනය කරන්න මම පන්ති කරලා තියෙන්න එපැයි. අවුරුදු එකහමාරක් සිරගෙදර තියලා මාව නිදහස් කෙරුවා. බරපතළ අපරාධ කරලා වැරදිකරුවන් වුණු අයට නඩු දැම්මා. එහෙම නැති පන්ති කරලා තිබුණූ අය පුනරුත්ථාපන කඳවුරුවලට දැම්මා. ඒ දෙකටම මාව අරන් ගියේ නැහැ. හිරගෙදරින් ගෙදරට. ඒ නිසා දඬුවමක් දෙන්න පෙර සැබෑ ලෙසම අපරාධකරුවා කවුද කියලා හඳුනා ගන්න ඕනෑ.

අද මානව හිමිකම් එක්ක තියෙන්නේ වෙන කතාවක්. ඒක වෙන පැත්තක්. අද රටේ ඉන්න අපරාධකරුවන්ට පාතාලකරුවන්ට ධර්ම දේශනා කරලා අපරාධ අල්ලන්න බැහැ. ඒ ඒ අයට ඒ ඒ විදියට කිරීම ගැන මගේ කිසිම විරෝධයක් නැහැ. එහෙම නැතිව රටක් හදන්න බැහැ. එහෙම නම් මානව හිමිකම්කාරයන්ට කියන්න ඕනෑ .රට භාර අරගෙන පොලීසියත් ආණ්ඩුවත් භාර අරගෙන රට හදන්න කියලා. විශේෂයෙන්ම මම මේ කාරණේ සඳහන් කළේ පොලීසිය අපි කොහොමද ප්‍රොෆෙෂනල් කරන්නේ කියන කාරණය මත. අපි කොහොමද උගතුන්ගෙන් පරිපූර්ණ පොලිසියක් බවට මෙය පත් කරන්නේ. දැනුම, බුද්ධිය, පරිණතභාවයෙන් පිරි පොලීසියක් අපි ඇති කරන්නේ කොහොමද? මම දැන් කියපු කතාවටත් විසඳුම ඒකයි කියලා මම විශ්වාස කරන්නේ.

මේ ඩිප්ලෝමාවල විෂයයන් ගණනාවක් තිබෙනවා. ලෝකයේ නව තාක්ෂණය නව දැනුමත් එක්ක පොලිස් දෙපාර්තමේන්තුව ඒ සියලු විෂය ක්ෂේත්‍රවලින් ඉහළටම ගන්න ඕනෑ. ඒ නිසා රජයක් විදියට මීට වඩා පොලිස් දෙපාර්තමේන්තුව පිළිබඳව සැලකිල්ලක් තියෙන්න ඕනෑ. පොලීසිය අවශ්‍ය වන්නේ අපරාධකරුවන් මෙල්ල කරන්න පාතාලය මෙල්ල කරන්න එහෙම නැත්නම් මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාවට පමණක් නෙවෙයි. ඔබ ඩිප්ලෝමා ලබපු ඒ විෂය ක්‍ෂේත්‍ර වගේම ඉහළම තාක්ෂණයත් එක්කයි සංවර්ධනය වූ රටවල්වල පොලිස් සේවය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසයි ඔවුන් සියලු අංශවලින් දක්ෂතා පෙන්නුම් කරන්නේ. අපේ පොලීසියේ ඉන්නේ කිසිවිටකත් අදක්ෂයන් නොවෙයි. අපේ පොලීසියේ ඉන්නේ ඉතාමත් දක්ෂ නිලධාරීන්. යුද්ධය පැවැති කාලේ හමුදා බුද්ධි අංශ වගේම පොලිස් බුද්ධි අංශ ඒ වගකීම ඉතාමත් ඉහළින් ඉටු කෙරුවා. ඔබ කිසිදු අඩුවක් නොමැතිව ඉතාමත්ම ඉහළින් ඔබේ සේවාවන් ඉෂ්ට කර ඇති බව පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසය පිළිබඳව විමසීමේ දී පැහැදිලි වෙනවා. මගේ ප්‍රශ්නය සහ මගේ යෝජනාව පොලිස් සේවාව මෙතනින් එහාට තවත් ගුණාත්මකභාවයෙන් ප්‍රමිතියෙන් ඉහළට ගන්නේ කොහොම ද කියලා. ඒ සඳහා තමයි අන්තර්ජාතික සම්බන්ධතා මත දියුණු රටවල පුහුණුවීම්, වැඩමුළු ඩිප්ලෝමා ලබා දෙන්නේ. ඔබට අද ලබන්න පුළුවන්කම තිබෙන්නේ ඩිප්ලෝමාවක් හෝ උසස් ඩිප්ලෝමාවක් පමණයි. නමුත් කඩිනමින් ජාතික පොලිස් අභ්‍යාස ආයතනය උපාධියකට යා යුතුයි. ඒ සඳහා බාධා තිබේ නම් ඒවා ඉවත් කර ගත යුතුයි. දැනුම, උගත්කම කෙළවරක් නැති ඉමක් කොනක් නැති මහා සාගරයක් වගේ. එහෙම නැත්නම් කෙළවරක් නොපෙනෙන තැනක්. දැනුමින් උගත්කමින් පරිපූර්ණ වෙනකොට පොලිස් දෙපාර්තමේන්තුවකින් රටකට බලාපොරොත්තු වෙන දේ ඉටු වෙනවා. එවිට ජනතාවත් අදට වඩා පොලීසිය පිළිගන්න තත්ත්වයකට පත් වෙනවා. අද පොලීසිය සුළිසුළං, ගංවතුර, නියඟය වැනි ආපදාවකදි වගේම අනෙක් සෑම විපතකදි ම නීතිය හා සාමය රකින්න විතරක් නොවෙයි ත්‍රිවිධ හමුදාව වගේම ඉහළ කැපකිරීමකින් කටයුතු කරනවා.

ඔබට මේ අධ්‍යාපනය ලබා දුන් ජාතික පොලිස් අභ්‍යාස විද්‍යාලයේ විධායක අධ්‍යක්‍ෂ, අධ්‍යක්‍ෂ මණ්ඩලය, කළමනාකාරිත්වය, ආචාර්ය මහාචාර්යවරුන්, විද්වතුන් ඒ සෑම කෙනෙකුටමත් මීට අනුග්‍රහය දැක් වූ සියලු දෙනාටත්, පොලිස් දෙපාර්තමේන්තුවේ පැමිණ සිටින ඔබ සියලුදෙනාට ම මගේ ගෞරවනීය ස්තූතිය සුබපැතුම් ආශිර්වාද පිරිනමමින් හෙට දවසේ රට වෙනුවෙන් ඒ උතුම් පරමාර්ථ ඉෂ්ට කර ගැනීමට සියලුදෙනාම සාමුහිකත්වයෙන් කැප වී කටයුතු කරමුයි කියන ඉල්ලීම කරමින් ජනාධිපතිවරයා විදියට පමණක් නොවෙයි ඔබේ ඇමැතිවරයා විදියට එය ඉෂ්ට කර ගැනීම සඳහා දිය හැකි සෑම සහයෝගයක්ම රට වෙනුවෙන් උපරිමයෙන් ඉටු කරන බව ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා.

පොලිස්පති පුජිත ජයසුන්දර , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

ඡායාරූප-සුදම් ගුණසිංහ


නව අදහස දක්වන්න