දියවැඩියාවෙන් ජනතාව ආරක්ෂා කරගන්න බිස්කට්වලට බදු සහ වර්ණ සංකේත ක්‍රමයක් | දිනමිණ

දියවැඩියාවෙන් ජනතාව ආරක්ෂා කරගන්න බිස්කට්වලට බදු සහ වර්ණ සංකේත ක්‍රමයක්

සන්ධ්‍යා කරුණාරත්න

දියවැඩියා රෝගයෙන් ජනතාව ආරක්ෂා කිරීමේ අරමුණින් බිස්කට් නිෂ්පාදන සඳහා ද බදු සහ වර්ණ සංකේත ක්‍රමයක් හඳුන්වාදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

පැණි බීමවල අඩංගු සීනි ප්‍රතිශතය මත අය කළ බදු ඉදිරියේ දී රසකැවිලි සඳහා පනවන බවත් නවීන ආහාර රටාවන් හා ව්‍යායාම නොකිරීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් ඇමැතිවරයා පැවැසුවේය.

දියවැඩියා සහ අන්තරාසර්ග විශේෂඥ වෛද්‍ය විද්‍යායතනය පැවැත්වූ දියවැඩියාව පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීමේ විවිධ තරගාවලියේ ජය සංකේත ප්‍රදානයට එක්වෙමින් නෙළුම් කුළුණ රඟහලේදි ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මෙසේද පැවැසුවේය. බෝ නොවන රෝග අභියෝගයක් වී තිබෙනවා. ශ්‍රී ලංකාව පසුගිය වසර 04 පුරා රෝග 04ක් තුරන් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය ලබාගත්තා. මීට දශකයකට පමණ පෙර මෙරට පුද්ගලයන් 10කගෙන් එක් අයකුට දියවැඩියා රෝගය වැළදුණ ද වර්තමානය වන විට පුද්ගලයන් 10 දෙනකුගෙන් 08 දෙනකුට පමණ දියවැඩියා රෝගය වැළඳීමේ අවධානමක් මතුව තිබෙනවා. මෙම වසරේ දී මවගෙන් දරුවාට බෝ වන එච්.අයි.වී රෝගයෙන් තුරන් වී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

සීනි පාලනය කිරීම ඉතාම වැදගත්. එය දිව පිනවීමට දරන උත්සාහයක් විතරයි. රසය කියා දෙයක් නැහැ. මේ ආකාරයට ලුණු භාවිතය අවම කිරීමට, තෙල් භාවිතය අවම කිරීමට විවිධ පියවර ඉදිරියේදී ගනු ලබනවා. නිරෝගීමත් දරු පරපුරක් බිහි කිරීම එහි අරමුණයි. වර්තමානයේ ජනතාව මුදල් වියදම් කර ලෙඩ රෝග හදා ගන්නවා. ඉන්පසු ප්‍රතිකාර කිරීමට රජය මුදල් වැය කරනවා. මෙහිදී වාසිය ලැබෙන්නේ ඖෂධ, පැණිබීම සහ දුම්කොළ සමාගම්වලටයි. එය නතර කළ යුතුයි. අපි ආරම්භ කර ඇති මෙම වැඩපිළිවෙළට විරුද්ධව සියලු සමාගම් නැඟී සිටිනවා. ඔවුන්ට මුහුණදීමේ ආත්ම ශක්තිය මට තිබෙනවා. ඒ සඳහා ඇතැම් වෛද්‍යවරුන්ගේ සහයෝගය ද මට ලැබෙනවා.

මෙම අවස්ථාවට දියවැඩියා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් කටුලන්ද, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරි ධම්මික පෙරේරා මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

නව අදහස දක්වන්න