ෆින්ලන්ත තානාපති සහ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර අතර හමුවක් | දිනමිණ

ෆින්ලන්ත තානාපති සහ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර අතර හමුවක්

උදුලා පීරිස්

මෙරට ෆින්ලන්ත තානාපති හරී කමරා ඉනන් මහතා හා රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා අතර හමුවක් පෙරේදා (21දා) එම අමාත්‍යාංශයේදී සිදුවිණි.

2017 වසරේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ෆින්ලන්තයේ කළ සංචාරය ෆින්ලන්තය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ නව පිටුවක් පෙරලු බව සඳහන් කළ කමරා ඉනන් මහතා එහිදී දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර වූ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවද සිහිපත් කළේය. එහිදී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමන් මෙරට ස්වාභාවික ආපදා අවම කිරීමට ෆින්ලන්තයේ සහාය පැතූ බව අනාවරණය කළ තානාපතිවරයා ඒ සඳහා සකස් කොට ඉදිරිපත් කරන ලද ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ අවධානයට යොමුකරන ලදි. මෙහිදී මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා සඳහන් කළේ අදාල යෝජනාව සම්බන්ධයෙන් තමන් ඉතා ඉක්මනින් අවධානය යොමුකොට අදාල සහාය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවයි. ලෝකයේ නවීනම තාක්ෂණය තම රට සතුව ඇති බවත් එය ශ්‍රී ලංකාවේ ස්වාභාවික විපත් අවම කරගැනීමට යොමුකිරීමට තම රජය අපේක්ෂා කරන බවත් සඳහන් කළ තානාපතිවරයා මේ සම්බන්ධයෙන් වන විශේෂ පුහුණු වැඩසටහනක් ඉතා ඉක්මනින් සංවිධානය කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයාට පැහැදිලි කරන ලදි. එහිදී අදාළ කටයුත්ත ඉතා ඉක්මනින් සුදානම් කිරීමේ වගකීම ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත පැවරීය. ඉදිරියේදී දෙරට අතර ඉතා කිට්ටු දේශපාලනික හා ව්‍යාපාරික සබඳතාවක් ගොඩනඟා ගැනීමට තම රජය අපේක්ෂා කරන බවද මෙහිදී ෆින්ලන්ත තානාපතිවරයා අවධාරණය කරන ලදි.

නව අදහස දක්වන්න