නවක වද දුන් වයඹ සරසවි ජ්‍යෙෂ්ඨයෝ 14ක් රිමාන්ඩ් | දිනමිණ

නවක වද දුන් වයඹ සරසවි ජ්‍යෙෂ්ඨයෝ 14ක් රිමාන්ඩ්

අධ්‍යාපන ආයතනවල හිංසන වැළැක්වීමේ (නවකවද) පනත හා ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ සැකපිට වයඹ විශ්වවිද්‍යාලයේ කුලියාපිටිය පරිශ්‍රයේ ජ්‍යෙෂ්ඨ සිසුන් 14 දෙනකු කුලියාපිටිය පොලිසිය මඟින් පසුගිය දා (20) අත්අඩංගුවට ගන්නා ලද අතර, ඊට පසුදින (21) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු එම සැකකාර සිසුන් පිරිස 28 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට මහේස්ත්‍රාත් ජනනී එස්. විජේතුංග මහත්මිය නියම කළාය.

වයඹ සරසවියේ ජ්‍යෙෂ්ඨ සිසුන්, පළමු වසරේ නවක සිසුනට පමුණුවන ලබන නවක වදයට එරෙහිව මූලිකත්වය ගෙන කටයුතු කෙළේ යැයි නවක සිසුන් දෙදෙනකුට පසුගිය දෙසැම්බර් 26 වැනිදා සරසවි පරිශ්‍රය තුළදීම ජ්‍යෙෂ්ඨ සිසුන් පහරදෙනු ලැබීමෙන් තුවාල ලද නවක සිසුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කුලියාපිටිය රෝහලට ඇතුළත් කළ බැව් පොලිසිය, සැකකාර සිසුන් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් සඳහන් කෙළේය.

මේ නඩුවට පාදකවූ කරුණු පිළිබඳ වැඩිදුර විස්තර වාර්තාවක් ඊළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් විජේතුංග මහත්මිය පොලිසියට නියෝග කළාය.

මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් කුලියාපිටිය පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පො. ප. ආනන්ද වික්‍රමරත්න, පො. කො. (5421) ජයන්ත යන මහත්වරුන් පෙනී සිටි අතර, සැකකාර සිසුන් වෙනුවෙන් නීතිඥ චම්පික ලසිත කුමාර, නීතිඥ උපුල් අලගියවන්න යන මහත්වරු හා නීතිඥ දයානි එදිරිසිංහ මහත්මිය ද, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ අනුර සිරි දිසානායක හා නීතිඥ චන්ද්‍රකීර්ති රන්කොත් මහත්වරු ද පෙනී සිටියහ.

කුලියාපිටිය විශේෂ


නව අදහස දක්වන්න