විත්තිකරුවන්ගේ මාධ්‍ය සංදර්ශනවලට ඉඩ නැහැ | දිනමිණ

විත්තිකරුවන්ගේ මාධ්‍ය සංදර්ශනවලට ඉඩ නැහැ

කුමුදු හෙට්ටිආරච්චි

- නි.සොලිසිටර් ජනරාල් කියයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 කට එරෙහි නඩුව විභාගයට ගැනෙන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ පරිශ්‍රයේ නිල හා නිල නොවන ආරක්ෂක නිලධාරින් ඩිපෙන්ඩර් රථ පිරිවරා පැමිණෙන විත්තිකරුවන් පවත්වන මාධ්‍ය සංදර්ශනවලට ඉඩ ලබානොදිය යුතු බවත් ඉන් පැමිණිල්ලේ සාක්කිකරුවන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවත් නියෝජ්‍ය ‍‍ෙසාලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (22) පවසා සිටියේය.

නඩුවේ සාක්කිකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමා සවිස්තරාත්මකව කරුණු දක්වා විශේෂ ඉල්ලීමක් ලබන මාර්තු 31 වැනිදාට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලට ඊයේ (22) දන්වා සිටියේය.

අධිකරණ පරිශ්‍රය තුළ සාක්කිකරුවනට සාක්කි ලබාදිය හැකි මානසික වටපිටාවක් සැකසිය යුතු බවත් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවද දැන්වීය.

අධිකරණ පරිශ්‍රය තුළ සාක්කිකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පැමිණිල්ලේ වගකීම බව සඳහන් කර සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, අධිකරණ ශාලාව පුරා පුද්ගලික ආරක්ෂක නිලධාරින් සිටින අයුරු තමාට නිරීක්ෂණය වන බවත් ඒ පෞද්ගලික ආරක්ෂකයන් ස්වභාවයෙන් සිටින්නන් අධිකරණ ශාලාවෙන් ඉවත්විය යුතු බවත්, සාක්කිකරුවන් සාක්කි ලබාදීමේදී එය ඔවුන්ගේ මානසිකත්වයට බලපෑ හැකි බවත් දිලීප පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.


නව අදහස දක්වන්න