බ්‍රිගේඩියර් ප්‍රියංකට දඬුවම් දෙන්න බ්‍රිතාන්‍ය අධිකරණයට බැහැ | දිනමිණ

බ්‍රිගේඩියර් ප්‍රියංකට දඬුවම් දෙන්න බ්‍රිතාන්‍ය අධිකරණයට බැහැ

මහින්ද අලුත්ගෙදර

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයකු ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව දඩුවම් ලබා දීමට බ්‍රිතාන්‍ය අධිකරණයට කිසිඳු හැකියාවක් නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරයි.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වරදකරු කරමින් වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය මඟින් වරෙන්තුවක් නිකුත්කර තිබෙන අතර පෞද්ගලික පාර්ශවයක් ඉදිරිපත් කරන ලද පෞද්ගලික පැමිණිල්ලක් පදනම් කර ගනිමින් අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කර තිබෙන බවද ඒකපාර්ශවිකව මෙම නඩුව විභාගකර තිබෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ නිලූක කඳුරුගමුව මහතා දිනමිණ ට පැවසීය.

කෙසේ වුවද බ්‍රිතාන්‍යයේ පොදු රාජ්‍ය මණ්ඩලීය විදේශ කටයුතු කාර්යාලය හරහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මීට පෙර බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය හා සියලු වරප්‍රසාද හිමි නිලධාරියකු වන බවට දැනුම් දී තිබෙන බවද ඔහු දැනට බ්‍රිතාන්‍යයේ රැඳී නොසිටින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව එක්සත් රාජධානියේ කිසිඳු අධිකරණයක් මඟින් නීතිමය ක්‍රියාදාමයකට යටත් කළ නොහැකි බවද නිලූක කඳුරුගමුව මහතා සදහන් කෙළේය.

පසුගිය වසරේ පෙබරවාරි 04 වැනිදා ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් දිනය වෙනුවෙන් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පැවැත්වූ උත්සවය කඩාකප්පල් කිරීමේ චේතනාවෙන් එම ගොඩනැගිල්ල ඉදිරියට පැමිණි කොටි හිතවාදී පිරිස් ශ්‍රී ලංකාවට එරෙහි සටන් පාඨ කියමින්, හමුදාවන්ට අසත්‍ය යුධ අපරාධ චෝදනා එල්ල කරමින් කළහකාරී ලෙස හැසිරෙද් දී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා උත්සව පරිශ්‍රයෙන් පිටතට පැමිණ සංඥාවක් නිකුත්කර තිබෙන අතර එහිදී එම ස්ථානයේ සිටි දෙමල තරුණයින් පිරිසකට මරණ තර්ජන එල්ල කළා යැයි පවසමින් සාක්ෂිකරුවන් දෙදෙනකු සමඟ එක පැමිණිලිකරුවකු පුද්ගලික නඩුවක් ගොනු කැර තිබිණි.

නව අදහස දක්වන්න