ජනපතිවරණ අවසන් තීන්දුව ජනාධිපතිවරයා සතුයි | දිනමිණ

ජනපතිවරණ අවසන් තීන්දුව ජනාධිපතිවරයා සතුයි

ධනුෂ්ක ගොඩකුඹුර
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවේ දී කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා අදහස් දැක් වූ අයුරු. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන, එස්. එම්. චන්ද්‍රසේන, පියල් නිශාන්ත යන මහත්වරු ද මෙහි වෙති. ඡායාරූපය- ශාන් රූපස්සර

නියමිත දිනට පෙරාතුරව ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගත හැක්කේ ජනාධිපතිවරයාට මිස එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන්ට නොවන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණය මෙන්ම මහ මැතිවරණයත් පැවැත්වීමට නිශ්චිත දින නියම වී ඇති බැවින් දැන් පැවැත්විය යුත්තේ පළාත් සභා මැතිවරණය බව පැවසූ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පළාත් සභා මැතිවරණය කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට ගැසූ මරු පහරක් බවත් පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් මේ දවස්වල අලුත් බණක් දේශනා කරනවා. ඒ තමයි දැන් අවශ්‍ය ජනාධිපතිවරණයක් මිස පළාත් පාලන මැතිවරණයක් නොවෙයි කියන එක තමයි ඔවුන් කියමින් යන්නේ. ජනාධිපතිවරණයට මෙන්ම මහ මැතිවරණයටත් දැන් කාල සීමා නියම වෙලයි තියෙන්නේ. ජනාධිපතිවරණය මේ වසරේ අගත් මහ මැතිවරණය ලබන වසරෙත් තමයි පැවැත්වීමට ව්‍යවස්ථාවෙන් සහ අධිකරණයෙන් දින වකවානු නියම වෙලා තියෙනවා.

නමුත් පළාත් සභාවල කාල සීමාව අවසන් වන විට පළාත් සභා මැතිවරණය පැවැත්වීම තමයි මෙතෙක් ක්‍රමය වෙලා තිබුණේ. සමහර පළාත් සභාවල කාලය අවසන් වෙලා වසර දෙකක් පමණ ගෙවිලා තිබෙනවා. අප්‍රේල් මාසයේ සහ සැප්තැම්බර් මාසේ තවත් පළාත් සභා කිහිපයක කාලය අවසන් වීමට නියමිතයි. පළාත් සභා මැතිවරණය පැවැත්වීම ඒ පළාතේ පමණක් නෙමෙයි රටේම ජනමතය උරගා බැලීමක් ලෙසයි අපි දකින්නේ.

එක්සත් ජාතික පක්ෂයේ නලින් බණ්ඩාර නියෝජ්‍ය ඇමැතිවරයා කියලා තිබුණා පළාත් සභා පැවැත්වීමට වඩා ජනාධිපතිවරණය පැවැත්වීම වැදගත් කියලා. ඒක එතුමට තීරණය කරන්න බැහැ. ජනාධිපතිවරණය කලින් පැවැත්විය හැක්කේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පමණයි. නමුත් නියමිත කාලසීමා අවසන් වූ වහාම ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ඒක කාටවත් වළක්වන්න බැහැ.

පාර්ලිමේන්තු මැතිවරණය වසර හතරකුත් මාස හයක් ගෙවුණු තැන පැවැත්විය හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමයි. පළාත් පාලන මැතිවරණය කල්දැම්මා වගේ පළාත් සභා මැතිවරණයත් කල්දැමීමයි රජයේ අරමුණ වෙලා තියෙන්නේ. පළාත් සභා මැතිවරණය නොතැබීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහරක් ලෙසයි අපි දකින්නේ. මහින්ද රාජපක්ෂ මහතාගේ රජය පැවැති කාලයේ අපි උතුරු පළාතටත් මැතිවරණය පැවැත්වුවා.

මේ ආණ්ඩුව බලයට ආවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහ ඉහළින් කතා කරලයි. නමුත් එක පැත්තකින් පළාත් සභා මැතිවරණය කල්දමන අතරම අනෙක් පැත්තෙන් මහ මැතිවරණය කලින් පැවැත්වීම අභියෝගයට ලක්කරමින් අධිකරණයට ගියෙත් මේ අයමයි. මැතිවරණ කොමිසම කියනවා ගෙජ්ජිය බඳින්න කවුරු හරි ඕනේ කියලා. ඒ අනුව හිටපු මහ ඇමැතිවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට සූදානමින් ඉන්නවා. අපි විශ්වාස කරනවා මේ අවස්ථාවේ පැවැත්විය යුත්තේ පළාත් සභා මැතිවරණය බව.

ඊට පසුව තමයි ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් පැවැත්විය යුත්තේ.

රටේ ආර්ථිකය දැවැන්ත පසුබෑමකට ලක්වෙලා තිබෙනවා. රුපියල් බිලියන 90ක බැඳුම්කර නිකුත් කරන්න මහ බැංකුව තීරණය කරලා තිබෙනවා. මුදල් මණ්ඩලය මේකට අනුමැතිය කොහොම දුන්නද අපි දන්නේ නැහැ. බිලියන 90ක් කියන්නේ දැවැන්ත මුදලක්. එක් කොටසක් පෙබරවාරි මාසේත් අනෙක් කොටස අප්‍රේල් මාසෙත් ගෙවන්න තමයි තීන්දු කරලා තිබෙන්නේ. බිලියන 90ක් අලුතෙන් අච්චු ගහනවා කියන්නේ බරපතළ කාරණයක්.

ලංකාවේ ක්‍රය ශක්තිය අඩුවීම නිසා ඉල්ලුමට විශාල බලපෑමක් ඇති වෙලා තිබෙනවා. වෙළෙඳසල්වල සෙනඟ නැති තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. අපි සියලු දෙනා ඉන්නේ ආර්ථික ප්‍රපාතයක. වත්මන් මහ බැංකු අධිපති මේ තත්ත්වය මැනවින් විග්‍රහ කරනවා අපි දැක්කා. ඒ ප්‍රකාශයට අනුව අපි දැන් ඉන්නේ ග්‍රීසියට සමාන තත්ත්වයක. ආර්ථිකය වට්ටලා තිබෙන නිසා නිෂ්පාදනයක් අපනයනයක් නැති තැනකට පත්වෙලා. ණය ගැන කතා කරන අය පසුගිය වසරේ ඩොලර් බිලියන දෙකහමාරක ණයක් ගත්තා වාණිජ පොලී අනුපාතයකට. මේ වසරෙත් තවත් බිලියනයක් ගන්න යනවා.

අපනයන ක්ෂේත්‍රය වැඩි කරන්න මේ රජයේ කිසිම වුවමනාවක් නැහැ. අද රටේ තිබෙන්නේ අස්ථාවරභාවයක්. මේ අස්ථාවරභාවය විසඳිය හැක්කේ අලුත් නායකත්වයක් සහිත අලුත් ආණ්ඩුවකින් පමණයි කියන එකයි අපේ මතය.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා- ව්‍යවස්ථාවේ පවතින අර්බුදය ගැන මේ රටේ ජනතාව දැන් පැහැදිලිව අවබෝධ කරගෙන තිබෙවා. ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා කියලා තිබුණා දෙමළ ජාතික සන්ධානය ඒකීය රාජ්‍යයක් යන්න පිළිගැනීම ජයග්‍රහණයක් කියලා. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැමදෙනාම දිවුරුම් දෙන්නේ ඒකීය බව ආරක්ෂා කරනවා කියලයි. ඒ නිසා අමුතුවෙන් ඒකීය බව පිළිගන්න දෙයක් නැහැ. ඒ හැමකෙනෙක්ම කලින් දිවුරුම් දීලා තිබෙනවා ඒකිය බව ආරක්ෂා කරනවා කියලා.

ආර්ථික අර්බුදය මේ රටේ ඉතා තදින් නිර්මාණය වෙලා ඉවරයි. මහ බැංකු අධිපතිවරයා පැහැදිලිව කියලා තිබෙනවා 2019 මේ රටේ ජනතාව ඉතා පීඩනයට පත්වෙන වර්ෂයක් කියලා. ඩොලරය ඉහළ යාම, සංචිත අඩු වීම මේකට හේතු වෙලා තිබෙනවා. ඇමෙරිකන් ඩොලර් බිලියන 5.9ක ණය ගෙවන්න තිබෙනවා. නමුත් අපේ සංචිත තිබෙන්නෙත් ඩොලර් බිලියන 5ක් පමණයි. ඒ හැරුණම බැඳුම්කර වල පොළිය ගෙවන්න තිබෙනවා.

ඒ නිසා ආණ්ඩුවේ කිසිම සහනයක් දෙන්න බැහැ. මේ වසරේ ණය ගෙවාගන්න පුළුවන්කමක් නැහැ. ගම්පෙරළියට සතයක්වත් දෙන්න බැහැ. සමෘද්ධිය ගෙවන්න බැහැ. අද කිරි පිටි මිල වැඩි කරන්නේ නැහැ කියලා කිරි පිටි සමාගම් වරායෙන් කිරි පිටි නිදහස් කරගන්නේ නැහැ. ආණ්ඩුවට මේවාට මුහුණ දෙන්න වෙනවා. අද කලාපයේ අඩුම ආර්ථික වර්ධන වේගයක් තියෙන රට බවට අපේ රට පත්වෙලා. සියයට 3යි අපේ වර්ධන වේගය. ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකාවට පොරොන්දු වෙලා තිබෙනවා ආර්ථික ප්‍රතිසංස්කරණ කරනවා කියලා. ඒ ප්‍රතිසංස්කරණ කරනවා නම් ආණ්ඩුවට ජනතාවට සහන දෙන්න බැහැ.

මේවට හේතු වෙලා තිබෙන්නේ ආණ්ඩුව ආයෝජන වර්ධනය කර නොගැනීමයි. එදා පෝට් සිටියට බැනපු ආණ්ඩුව අද පිටු ගණන් දැන්වීම් දාලා පෝට් සිටිය වර්ණනා කරනවා. මේක දැන් කල් පැනපු ආණ්ඩුවක්. මේකට අලුත් විසඳුම් දෙන්න බැහැ. මැතිවරණයකට ගිහින් ජනතාවට බලය දිය යුතුයි අලුත් ආණ්ඩුවක් තෝරා ගැනීමය. මේ ආණ්ඩුව මැතිවරණවලට බයයි. ජනාධිපතිවරණය ගැන තීන්දුවක් ගන්නේ ජනාධිපතිවරයා විසිනි. ඒ නිසා වහාම පළාත් සභා මැතිවරණය තියන්න. නමුත් පළාත් සභා මැතිවරණය තියන්න මේ අය බයයි. මම දැක්කා දිගම්බරන් කියලා තියෙනවා සුමන්තිරන්ට ඕනේ විදියට ආණ්ඩු කරන්නේ නැහැ කියලා. ඒකෙන් පැහැදිලි වෙන්නේ සුමන්තිරන්ට ඕනේ විදියට ආණ්ඩුව යන බවයි.

අපේ පක්ෂයෙත් හිටපු නායිකාවක් මේ දවස්වල එකතු වෙන්න එපා කියනවා. මහජනතාව ප්‍රතික්ෂේප කරා කියවා. නමුත් අවසානයට තියපු පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව ප්‍රතික්ෂේප කළේ අපිව නෙමෙයි. මේවා ජාත්‍යන්තරයේ සල්ලි හෝ වෙනත් වුවමනා මත කෙරෙන දේවල්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. එම්. චන්ද්‍රසේන, පියල් නිශාන්ත මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

නව අදහස දක්වන්න