නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ වාර්තාව පදනම් කර ගනිමින් ජාතිවාදය ඇවිස්සීමට විපක්ෂය දරන උත්සාහය හෙළා දකින බව එක්සත් වාමාංශික පෙරමුණ පවසයි.
මෙම වාර්තාව පදනම් කර ගෙන අසත්‍ය ප්‍රචාර ගෙනයමින් ජාතිවාදය ඇවිස්සීමට විපක්ෂය උත්සාහ කිරීම පිළිගත නොහැකි දෙයක් බවත් දේශපාලන විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පිරිසක් එක්ව මෙම වාර්තාව පිළියෙළ කර ඇති බවත් එක්සත් වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් ලාල් විජේනායක මහතා පැවැසුවේය.
රාජගිරියේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (22) ප්‍රකාශ කළේය.
ඒ මහතා මෙසේද පැවැසුවේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන්ම පත් කළ විද්වත් මණ්ඩලය විසින් වාර්තාව සකස් කර තිබෙනවා. මෙහෙයුම් කාරක සභාවට එම වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා. දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා මහත්වරු යනාදි ලෙස හැම පක්ෂයක්ම නියෝජනය වන පරිදි මෙම සභාව ක්‍රියාත්මක වෙනවා. විද්වත් මණ්ඩලය ඉදිරිපත් කර තිබෙන වාර්තාව විශාල කුමන්ත්‍රණයක් කියමින් ජාතිවාදය අවුස්සමින් ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ කරනවා. එමඟින් වත්මන් ආණ්ඩුවට පහර දීමට උත්සාහ කරනවා. මේ වාර්තාව සාකච්ඡාව සඳහා ඉදිරිපත් කළ දෙයක්. එහි ඉදිරිපත් කර තිබෙන කරුණු කාරණා පිළිගැනීමටත් පුළුවන්. ප්‍රතික්ෂේප කිරීමටත් පුළුවන්. ව්‍යවස්ථා සභාවට වාර්තාව ඉදිරිපත් කර එහි සාකච්ඡාවෙන් පසුව පනත් කෙටුම්පතක් සකස් කළ යුතුයි. මෙම වාර්තාවේ තිබෙන විධිවිධාන සාකච්ඡා කළ යුතුයි. එහි ඇති මූලික අයිතිවාසිකම්, සමානාත්මතාව යනාදි කරුණු සාකච්ඡා කළ යුතුයි.
එක්සත් වාමාංශික පෙරමුණේ ජාතික සංවිධායක ජයම්පති වික්‍රමරත්න මහතා
මේ රටේ මූලික නීතිය ව්‍යවස්ථාව. රටේ මූලික නීතිය ශක්තිමත් නැත්නම් රට බරපතල අර්බුදයකට පත් විය හැකියි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතාවට අවශ්‍ය නැති බවට පසුගිය කාලයේ ප්‍රචාරයක් ගෙන ගියා. පසුගිය දින 50 තුළ සිදු වූ දේශපාලන අර්බුදයක් පැවැතුණා. ආණ්ඩුව ජයග්‍රහණය කරවීමට උරදුන් ජනතාවට ලබාදුන් පොරොන්දු අමතක නොකළ යුතුයි. ජනතාවට ඉල්ලා සිටින දේ ලබාදීමට ආණ්ඩුව පියවර ගත යුතුයි. ජනතාවගේ අභිලාෂයන් ඉටු කරදීමට පියවර ගත යුතුයි. නව ව්‍යවස්ථාවක් ජනතාව ඉල්ලා සිටියා. එසේ නම් එම ව්‍යවස්ථාව ජනතාවට ලබාදිය යුතුයි. අලුතින් ඉදිරිපත් කර තිබෙන ව්‍යවස්ථා වාර්තාව සාකච්ඡා කළ යුතුයි. ප්‍රචණ්ඩතාවට නොගොස් විරෝධතාවන්ට බාධා කළ යුතුයි. ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරමින් නව ව්‍යවස්ථාවක් ජනතාවට ලබාදීමට පියවර ගත යුතුයි.
එක්සත් වාමාංශික පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කීර්ති කාරියවසම් මහතා- වසර 2019 මැතිවරණ වසරක්. පළාත්සභාවල කාලය දැන් අවසන්. ඒ නිසා පළාත් සභා මැතිවරණයක් පැවැත්විය යුතුයි. ඒ වගේම මේ වසර අවසන් වන විට ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි. පොහොට්ටුව පක්ෂය නියෝජනය කරන පුද්ගලයන් අලුත් ව්‍යවස්ථා වාර්තාව පදනම් කර ගෙන ජාතිවාදය ඇවිස්සීමට කටයුතු කරනවා.
රාජපක්ෂ මහත්වරු බලයට පත් වීමට උත්සාහ කරන්නේ ඔවුන්ට තිබෙන වංචා දූෂණ නඩු ඉවත් කර ගැනීමටයි. මේ ගැන ජනතාව තේරුම් ගත යුතුයි. ජාතිවාදය ඉස්මත් කරලා තමන්ට බලය ලබා ගත හැකියි කියලා ඔවුන් සිතනවා. ප්රජාතන්ත්රවාදය, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ පියවර ගෙන තිබෙනවා. ජනමතය උරගා බැලීමට නම් ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි. ගෙයින් ගෙට ගොස් හෝ ජනතාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ වාර්තාව ගැන පැහැදිලි කර දිය යුතුයි. පසුගිය දින කිහිපයේ සිදු වූ දේශපාලන පෙරළිය නිසා ගම්පෙරළිය, සිංහරාජ ව්‍යපෘතිය යනාදි ව්‍යාපෘති රැසක් අතරමඟ නතර වුණා. ඒ කෙසේ වෙතත් ඉදිරි කාලයේදි මේ වර්ෂය සඳහා අයවැයක් ඉදිරිපත් කිරීමට නියමිතයි. එම අයවැය ජනතා සහන රැසක් ලබාදෙන අයවැයක් විය යුතු බවට මම යෝජනා කරනවා.
ඡායාරූපය - කැලුම් ලියනගේ
නව අදහස දක්වන්න