පහේ ශිෂ්‍යත්වය සහ සමබර පුරවැසියන් | දිනමිණ


 

පහේ ශිෂ්‍යත්වය සහ සමබර පුරවැසියන්

ආචාර්ය සමුද්‍රා සෙනරත් කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යාපන මනෝවිද්‍යා සහ උපදේශන මනෝවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

අධ්‍යාපනයේ මූලික පරමාර්ථය වන්නේ සමබර පෞරුෂයකින් යුතු පුද්ගලයකු සමාජයට දායාද කිරීම වුවත් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මේ වනවිට එම අරමුණ අභිබවා යමින් දැඩි තරගකාරී මුහුණුවක් ගෙන තිබේ. මේ නිසාම දරුවන්ට සිදුවන බලපෑම සම්බන්ධයෙන් ද සමාජයේ විවිධ අංශවල දැඩි කතාබහට ලක්ව තිබේ. මෙම ලිපිය කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යාපන මනෝවිද්‍යා සහ උපදේශන මනෝවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාර්ය ආචාර්ය සමුද්‍රා සෙනරත් මහත්මිය “පහ වසර ශිෂ්‍යත්ව විභාගය සහ සමබර පුරවැසියන්” මැයෙන් සකස් කරන ලද විශේෂාංග ලිපියකි. ආචාර්ය සමුද්‍රා සෙනරත් මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධ සමාලෝචන කමිටුවේ ද සාමාජිකාවකි.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිඳුන්ගේ නිදහස් අධ්‍යාපන පනතේ ප්‍රතිඵලයකි. අඩු ආදායම්ලාභී පවුල්වල, අධ්‍යාපන දක්ෂතා ඇති දරුවන්ට, අධ්‍යාපනය කර ගෙන යෑම සඳහා ආණ්ඩුවෙන් මූල්‍යමය ආධාරයක් ලබා දීම මේ විභාගයේ එක් අරමුණක් විය. අනෙක් අරමුණ වූයේ ඒ දරුවන්ට මධ්‍ය මහා විද්‍යාලවල අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සලසා දීම ය. එම අවස්ථාව අද මධ්‍ය මහා විද්‍යාල වෙනුවට ජනප්‍රිය පාසල් වෙත මාරු වී ඇත‍. කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන පනතේ ප්‍රතිඵලයක් වන මේ සංකල්පය ඉතා වටිනා එකක් වූ අතර, අද දක්වා එම විභාගය පැවැත්වීම ද සතුටට කරුණකි. එහෙත් වර්තමානය වෙන විට මෙකී අරමුණු අභිබවා යමින් ශිෂ්‍යත්ව විභාගය දැඩි තරගකාරී මුහුණුවරක් ගෙන ඇති බව පෙනෙන්නට ඇත. සමස්ත දරු පරපුර ම මේ තරගයට අවතීර්ණ කර ඇති අතර, ගම්බද මවුපියන්ට වඩා නාගරික ප්‍රදේශවල ජීවත්වන මවුපියන් වැඩි වශයෙන් සිය දරුවන් මේ විභාගයට උනන්දු කරමින් සිටින බව පෙනී යයි. ශිෂ්‍යත්ව විභාගය යනු “මවුවරුන්ගේ විභාගය” යනුවෙන් සමාජය හඳුන්වන තරමට මේ විභාගය දැඩි තරගකාරී ස්වභාවයක් ගෙන ඇත.

දරුවකු ලෝකය හඳුනාගැනීමේ මූලික කටයුතුවලට අවතීර්ණ වන සමයේ සිටම එනම් පෙර පාසල් වයසේ සිටම මෙකී විභාගයට සිය දරුවන් උනන්දු කරවීමට සමහර මවුපියෝ වෙහෙසෙති. තවත් අයුරකින් පවසතොත් ළදරු පාසලේ සිටම ඇතැම් මවුපියන් සිතන්නේ සිය දරුවා ශිෂ්‍යත්ව කඩුල්ලෙන් පන්නවා ගන්නා ආකාරය පිළිබඳ ය. එබැවින් ඇඳීමට, කැපීමට, මැටි ඇනීමට, නිර්මාණ කිරීමට, ගැයීමට, නැටීමට යනාදී දරුවාගේ “හසුරු” කුසලතා දියුණු කිරීමට ඇති කාලය, අකුරු ලියවීමට සහ කියවීමට හුරු කිරීමට ඇතැම් මවුපියෝ උත්සාහ දරති. මවුපියන්ගේ මේ උත්සාහයට රුකුල් දෙන ඇතැම් පෙර පාසල් ද කරන්නේ දරුවන්ගේ “ හසුරු” කුසලතා වර්ධනයට ඉඩ නොදී මවුපියන්ගේ අවශ්‍යතාවලට මුල්තැන දීම ය. අධ්‍යාපනයේ දැඩි තරගකාරීත්වය මේ තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී ඇත.

“හසුරු” කුසලතා සංවර්ධනය නොකිරීම දරුවා සමබර පුද්ගලයකු ලෙස වැඩීමට ඇති මූලික අවස්ථාවක් මඟ හැර යෑමකි. එනම්, මේ ක්‍රියාකාරකම් හරහා වර්ධනය වන්නේ දරුවාගේ මානසික, සමාජීය සහ බුද්ධිමය හැකියාව ය. සමබර පෞරුෂයකින් යුතු පුද්ගලයකු බිහිවීමට නම් දරුවා මානසික, සමාජීය සහ බුද්ධිමය වශයෙන් වයසට අදාළ ලෙස සංවර්ධනය විය යුතු ය. ඒ සඳහා පූර්ව ළමා කාලයේ සිදුවිය යුතු මේ ක්‍රියාකාරකම් අනිවාර්යෙන් සිදුවිය යුතු ය. “හසුරු” කුසලතා දියුණු නොකිරීමට කටයුතු කිරීමෙන් දරුවාගේ සිතීමේ ශක්තිය, ගැටලු විසඳීමේ ශක්තිය, තර්ක කිරීමේ හැකියාව, නිර්මාණ කිරීමේ හැකියාව යනාදී හැකියා දියුණු නොවන බව කිව යුතු ය. තත්ත්වය මෙසේ වුවත් පහ වසර ශිෂ්‍යත්වය මඟින් ජනප්‍රිය පාසලක් ලබා ගැනීම අරමුණු කර ගන්නා බොහෝ මවුපියන්ට සිය දරුවන්ගේ මානසික, සමාජීය සහ බුද්ධිමය සංවර්ධනය ගැන සිතන්නට අවකාශයක් නැත. ඇතැම් විට මවුපියන් මේ තත්ත්වයට පත්ව ඇත්තේ වයස අනුව දරුවන් ගොඩ නගා ගත යුතු ආකාරය පිළිබඳ දැනුවත් නැති නිසා ය. දරුවන්ගේ මානසික සංවර්ධනය (ප්‍රජානන සංවර්ධනය) පිළිබඳ දන්නා ඇතැම් මවුපියන් ද දැඩි අධ්‍යාපනය තරගය නිසාම මේ කරුණු අමතක කර කටයුතු කරන වගක් දක්නට ඇත. ඇතැම් මවුපියන් පෙර පාසල් දරුවන්ගේ මානසික සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් කටයුතු කරන අයුරු පෙනෙන්නට ඇතත් බොහෝ මවුපියන් හා පෙර පාසල් කටයුතු කරනුයේ ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගෙන ය. මෙය දරුවන්ගේ පැත්තෙන් ඉතා කනගාටුදායක තත්ත්වයක් බව කිව යුතු ය.

පෙර පාසල්වලින් පසුව පාසල් කාලයේ දී මේ තත්ත්වය තවත් දැඩි වන බවක් දක්නට ලැබෙයි. අධ්‍යාපන මනෝවිද්‍යා අධ්‍යයනාංශයේ පශ්චාත් උපාධි අධ්‍යාපන විද්‍යාර්ථීන් කරනු ලබන ඇතැම් පර්යේෂණවලින් මේ බව මනා ලෙස තහවුරු වී ඇත. එක්තරා පර්යේෂණයකින් හෙළිවූයේ එක් පාසලක ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට පාසල ආරම්භ වනුයේ පාන්දර හයට වන අතර, අවසන් වනුයේ සවස හතරට ය. නැවත සවස හයේ සිට එම දරුවන්ට උගන්වන අතර, එය අවසන් වන්නේ රාත්‍රී නවයට ය. බොහෝ පාසල් ශිෂ්‍යත්වය වෙනුවෙන් අනුගමනය කරන්නේ මෙවැනි පිළිවෙතක් ය. අවුරුදු දහයක වයසේ සිටින දරුවන්ට මේ අධ්‍යාපනය ඔරොත්තු දෙන්නේද යන්න ගැන ශ්‍රී ලංකා සමාජය නැවත නැවත සිතිය යුතු කාලය ආරම්භ වී ඇත. අමෙරිකානු සමාජය ළමා ශ්‍රමය සූරා කන බව දුටු විට, අධ්‍යාපනය සහ දේශපාලන දාර්ශනිකයකු වූ ජින් ජැක් රූසෝ කියා සිටියේ ළමයා යනු කුඩා වැඩිහිටියකු නොවන බව ය. ළමයා යනු ළමයෙක් බව ඔහු අවධාරණය කළේය. ඒ මතයට ගරු කරමින් අමෙරිකාව සිය වැරදි නිවැරදි කරගනිමින් දරුවන්ට හිමි ස්ථානය ලබා දීමට කටයුතු කළේය. කීර්තිමත් මනෝවිද්‍යාඥයකු වූ ජීන් පියාජේ දරුවන් සම්බන්ධයෙන් වසර හතළිහක් පුරා සිදුකළ පර්යේෂණ අනුව කියා සිටියේ, දරුවන්ගේ බුද්ධිය වැඩෙන්නේ වයස අනුව බව ය. එසේ නම් ශිෂ්‍යත්වය විභාගය හරහා අප කරනුයේ මල් උඩින් බරැති ගල් තැබීමක් නොවේද?

වර්තමානයේ ඇති වී තිබෙන විභාග කේන්ද්‍ර කර ගත් අධ්‍යාපන රටාව නිසා දරුවන්ට සෙල්ලම් කිරීමට සහ විවේකීව සිටීමට ද කාලය අහිමි වී ඇත. අධ්‍යාපන මනෝ විද්‍යාඥයන් පවසන්නේ දරුවන්ගේ බුද්ධිය වැඩීමට නම් සෙල්ලම් කිරීමට දරුවාට ඉඩ දීම අත්‍යාවශ්‍ය කරුණක් බව ය. නව යොවුන් වියේදී දරුවන් බුද්ධිමත් ලෙස කටයුතු කරන්නේ නම්, ළමා කාලයේදී ඔවුන් සුන්දර ළමා කාලයකට උරුමකම් කියා ඇති බව අමුතුවෙන් කිය යුතු නොවේ. එබැවින් ළමා කාලයේදී දරුවන්ට සෙල්ලම් කිරීමට ඉඩ දීමෙන් දරුවන්ගේ බුද්ධි වර්ධනය සිදුවන බව වැඩිහිටියන් අවබෝධ කරගෙන සිටීම ඉතා වැදගත් ය. එහෙත් අවාසනාවන්ත තත්ත්වය වන්නේ විභාග නිසා සුන්දර ළමා ලෝකය දරුවන්ට අහිමි කිරීමට බොහෝ වැඩිහිටියන් කටයුතු කිරීම ය. ඇතැම් විට සෙමින් මනස වැඩෙන එනම් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පවා ශිෂ්‍යත්ව අමතර පන්තිවලට සහභාගී කරවමින් විභාගයට වාඩි කරවීමට ද ඇතැම් මවුපියන් කටයුතු කරනු දක්නට ලැබේ. එය ඉතා ඛේදනීය තත්ත්වයක් වන්නේ එවැනි දරුවන්ට එකී විභාගය මහත් පීඩාකාරී වන බැවිනි.

ප්‍රාථමික දරුවන්ට පැය භාගයත් විනාඩි හතළිහත් අතර කාල පරිච්ඡේදයක් ඇතුළත ඉගැන්විය යුත්තේ එක විෂයක් පමණි. ඊට හේතුව වන්නේ දරුවන්ට ඇත්තේ කෙටි කාලීන මතක ශක්තියක් බැවිනි. එබැවින් මනෝ විද්‍යානුකූල ක්‍රම ශිල්පයක් ලෙස, පාසලේදී දරුවන්ට ඉගෙනීමේ පහසුව සහ විෂය කරුණු මතකයේ රඳවා ගැනීමේ පහසුව තකා විෂයන් මාරුකරමින් කෙටි කාල පරිච්ඡේදවල විෂය දැනුම ලබා දෙයි. තත්ත්වය මෙසේ තිබියදී ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගනිමින් මේ තරම් පීඩනයකට වයස අවුරුදු දහය හා එයින් පහළ දරුවන් යොමු කරවීම කෙතරම් උචිත දැයි වැඩිහිටියන් ලෙස අප සිතා බැලිය යුතු කාලය එළැඹ ඇත. රුසියානු ජාතික මනෝ විද්‍යාඥයකු වූ ලෙව් විගොට්ස්කි පවසන්නේ දරුවා ඉහළට ඔසවා තැබිය යුත්තේ ඔහුගේ සමාජ පරිසරයෙන් බව ය. එකී කාර්යය සඳහා දරුවාගේ මවුපියන්ට කළ හැකි කාර්යභාරය ඉමහත් ය. එහෙත් එය කළ යුත්තේ දරුවාගේ වයසට ගැළපෙන පරිදි ය. දරුවාට ඉණිමඟ දිගේ ක්‍රමයෙන් ඉහළට යෑමට මවුපියන් උපකාර කළ යුතු ය. එසේ නොමැතිව මවුපියන් ඉණිමඟ උඩට නැඟ දරුවා උඩට ඇදගැනීමට යෑමෙන් දරුවාට සිදුවන්නේ අනර්ථයකි. අපේ මවුපියන්, වැඩිහිටියන් දරුවන්ට කරමින් සිටින්නේ මින් කුමන ක්‍රියාවලිය ද යන්න ගැන අප කල්පනා කර බැලිය යුතුය.

මනෝ විද්‍යාඥයන් දරුවන් සම්බන්ධයෙන් වූ මේ කරුණු කාරණා පැහැදිලි කර දී ඇත්තේ වසර ගණනාවක් කළ පර්යේෂණ අනුව ය. ඒ පර්යේෂණවල ප්‍රතිඵල කෙතරම් දුරට අප ප්‍රයෝජනයට ගෙන ඇත්ද යන්න ගැටලුවකි.

පහ වසර ශිෂ්‍යත්ව විභාගයට ඇති දැඩි තරගකාරී ස්වභාවය දරුවන්ගේ සමස්ත අධ්‍යාපනයට මෙන්ම ජීවිතයට ද බලපාන බව ඒ සම්බන්ධයෙන් කෙරීගෙන යන පර්යේෂණවලින් පැහැදිලි වේ. ඇතැම් විට විභාගයට මුහුණ දෙන දරුවන් විභාග ප්‍රශ්න පත්‍ර මතම වමනය දැමූ අවස්ථා ඇත. සමහර දරුවෝ විභාගය ලිවීම අත්හැර දැමූහ. වරෙක දරුවකු පවසා තිබුණේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින්නට පෙර සුනාමියක් පැමිණ තමා ගසාගෙන යනවා නම් හොඳ බව ය. තවත් දරුවකු පවසා තිබු‍ණේ කුරුල්ලකු වුණා නම් මීට වඩා හොඳ බවත්, තමන්ට නිදහසේ පියාසලන්නට හැකියාව තිබූ බවත් ය. මේ සියල්ල මඟින් පැහැදිලි වන්නේ දරුවන්ට ශිෂ්‍යත්වය නිසා ඇති වී තිබෙන පීඩනයයි. සිතේ සතුට අහිමි වෙන දරුවා එතැනින් නොනැවතී විවිධ මානසික ගැටලු නොහොත් මානසික රෝගවලට ලක්වූ අවස්ථා ද දක්නට ඇත.

මීට අමතරව දරුවා සමාජ සම්බන්ධතා පැවැත්වීම කෙරෙහි ද මේ විභාග තරගය හේතුවක් වී ඇත‍. ඇතැම්විට ගුරුවරුන් කිහිපදෙනකුගේ අමතර පංති මෙන්ම මව ද නිවෙසේ ඉගැන්වීමට කාලය ගන්නා බැවින් දරුවාට සමාජ සම්බන්ධතා පැවැත්වීමට කාලයක් නැත. මව ද ගුරුවරිය වීමෙන් දරුවාට මව ද අහිමි වූ තත්ත්වයක් උදා වී ඇත. මෙහිදී සිදුවන්නේ දරුවා වැඩිහිටි වූ පසුද සමාජ සම්බන්ධතාවලින් ඈත්වූ පුද්ගලයකු බවට පත්වීම ය. එමෙන්ම විභාගය පමණක් ඉලක්ක කර ගැනීම හේතු කොට ගෙන ඇතැම් විට දරුවන් ආත්මාර්ථකාමී වන බවක් ද දක්නට ඇත‍. එහිදී සමාජය පිළිබඳ පමණක් නොව ඇතැම් විට සිය සමීප ඥාතීන් සම්බන්ධයෙන් ද සංවේදී පුද්ගලයකු ලෙස වැඩෙන්නට ඇති හැකියාව ඔහු කෙරෙන් දුරස් වනු ඇත. ඇතැම් විට දැඩි තරගකාරී අධ්‍යාපනයට කොටුවූ දරුවා විභාග සමත් වුවද සමබර පුද්ගලයකු නොවනු ඇත‍. ශිෂ්‍යත්ව විභාගයෙන් ආරම්භ වෙන මේ විභාග තරගයේ පීඩනය උසස් පෙළ විභාගය තෙක්ම එක ලෙස දරුවා වෙත එල්ල වෙයි. එවිට දරුවා සිය ළමා කාලය සම්පූර්ණයෙන් ම පාහේ ගෙවන්නේ විභාගය නිසා ඇති වෙන පීඩාවෙනි. එය ඔහුගේ ඉදිරි පෞද්ගලික ජීවිතයට එනම් විවාහ ජීවිතයට මෙන්ම සමාජ ජීවිතයට ද එය අහිතකර ‍ලෙස බලපාන්නට පුළුවන.

අධ්‍යාපනයේ මූලික අරමුණ වන්නේ සමබර පෞරුෂයකින් හෙබි පුද්ගලයකු සමාජයට දායාද කිරීම ය. විභාග පමණක් සමත් වූ පමණින් සමබර පුද්ගලයන් බිහිවන්නේ නැත. විභාග යනු මිනිසකුගේ එක් පැතිකඩක් පමණි. විභාග පමණක් සමත් වීම ඉලක්ක කර ගත් අධ්‍යාපන තරගයකට අවතීර්ණ වීම හරහා අප බිහි කරන්නේ යන්ත්‍ර වැනි මිනිසුන් මිස, සංවේදී, නිර්මාණශීලි, යහපත් සමාජ සම්බන්ධතා පැවැත්විය හැකි සමබර මිනිසුන් නොවේ. එබැවින් අප කටයුතු කළ යුත්තේ අපේ දරුවන් යන්ත්‍ර වැනි මිනිසුන් බවට පත් නොකිරීමට ය. එහිදී අධ්‍යාපනයේ පරමාර්ථ නොහොත් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව අරමුණු පිළිබඳ අප මීට වඩා ගැඹුරින් සිතා බැලිය යුතුය. මේ විභාගයේ මුහුණුවර වෙනස් කිරීම එනම් අධික තරගකාරීබව අවම කිරීම මඟින් දරුවන්ට සිදුවන මානසික පීඩනය අවම කරගත හැකිය. එහිදී ශිෂ්‍යත්ව විභාගයේ අරමුණ මැනවින් හඳුනාගෙන, එකී විභාගයට තම දරුවන් වාඩි කරවීමට කැමැති මවුපියන්ට පමණක් ඊට සිය දරුවන් සහභාගී කරවීමට හැකි වන පරිදි යම් සංශෝධන සිදුවන්නේ නම් එය වඩා යහපත් ය. එනම් මේ විභාගය සෑම දරුවකුට ම අනිවාර්ය විභාගයක් නොකළ යුතුය. කැමැති එමෙන්ම මේ විභාගයට පෙනී සිටිය යුතුයැයි තීරණය කරන දරුවන්ට පමණක් ඊට සහභාගී වීමට ඉඩ දිය යුතුය.

එවිට සමස්ත දරුවන් මේ පීඩනයෙන් ගලවා ගැනීමට එය යම් පිටිවහලක් වනු ඇත. එසේ නොවී දිගින් දිගටම මේ දැඩි තරගකාරී බවට දරුවන්ට මුහුණ දීමට සිදුවුවහොත් ඔවුන්ගේ සුන්දර ළමා කාලය අහිමි වීමේ ප්‍රතිවිපාක එකී දරුවන්ට පමණක් නොව සමස්ත සමාජයට ම විඳින්නට සිදුවනු ඇත.

එම නිසා මවුපියන්, වැඩිහිටියන් මෙන්ම අධ්‍යාපන බලධාරීන් මේ සම්බන්ධයෙන් බුද්ධිමත් සිතා බලා කටයුතු කළ යුතු කාලය එළැඹ ඇත. කෙසේ වුවද නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙස ඇති කළ මේ විභාගය තවදුරටත් පවත්වාගෙන යා යුතුය. එහිදී මූලිකත්වය දිය යුත්තේ එකී විභාගයේ අරමුණුවලට ය. එසේ නොවුණහොත් ශිෂ්‍යත්වය විභාගය ආරම්භ කිරීමේ අරමුණ විනාශ වී යෑමටත් සමබර පුරවැසියන් බිහි නොවීමටත් එය හේතුවක් වනු ඇත. එසේ නොවෙන තැනට වගබලා ගැනීම සමස්ත වැඩිහිටි පරපුරේ ම යුතුකමක් සහ වගකීමක් වේ.

නව අදහස දක්වන්න