නිහඩ නිහතමානී ආදර්ශවත් ජී.එම්.ටී. මුදලාලි | දිනමිණ

නිහඩ නිහතමානී ආදර්ශවත් ජී.එම්.ටී. මුදලාලි

1937 දී ගාල්ල කතළුවේ උපත ලද ගාන්ධි පුංචිහේවාගේ කරුණාරත්න 1950 වන විට මහනුවර ගම්පොළට පැමිණ සාමාන්‍ය සේවකයෙකු ලෙස රැකියාව අරඹා ව්‍යාපාරික ලොව නිම් වළලු පුළුල් කළ ආදර්ශමත් චරිතයකි.පසුගියදා මිය යන විට අසූ දෙවැනි වියේ පසු වූ මෙරට දේශපාලනයේ තිරය පිටුපස සිටි නිහඩ චරිතයකි.

අවුරුදු දහතුන තරම් වයසේදී රැකියාවක් සොයා දකුණු ලකින් කන්ද උඩරටට පැමිණෙන ඔහුට ගම්පොළ ප්‍රදේශයේදී හමුවන්නේ දකුණේ සිට එහි පැමිණි ව්‍යපාරිකයකුය.ඒ ඒ වන විටත් ගම්පොළ මහනුවර ප්‍රදේශ වල නමක් දිනා සිටි සී.එම්.ගුණරත්න ඇන්ඩ් කොම්පැණිහි හිමිකරුය. ඔහු ඇතැමුන් හැඳින්වූයේ ගාල්ලේ මුදලාලි ලෙසය.ඔහුගේ තොග හා සිල්ලර ව්‍යාපාරයේ සේවකයකු ලෙසින් එක්වන ගාල්ලේ කතළුවේ කරුණාරත්න ඒ වන විටත් ළාබාල වියේ පසු විය.එහෙත් ටික කලක් යන්නට පෙර කාර්ය ශුර තරුණයකු වූ ඔහු ගාලු මුදලාලිගේ සිත් දිනා ගත්තේය.

මේ කාලය දකුණේ බොහෝ පිරිස් කන්ද උඩරටට පැමිණ විවිධ ව්‍යාපාර අරඹන කාලයයි.ඉන් වැඩි දෙනෙකුගේ ව්‍යාපාර නැඟෙමින් පැවති කාලයයි. ජව සම්පන්න තාරුණ්‍යයේ පසු වූ කරුණාරත්නටද තනිව ව්‍යාපාරයක් ඇරැඹීමට මේ කාලය සිත් දුනි. ඒ නිසාය ඔහු ටිකෙන් ටික මුදල් එකතු කළ මුදලින් ලොරි රථයක් මිලයට ගනු ලබන්නේ.පිටකොටුවේ සිට ගම්පොළ දක්වා එම ලොරියෙන් භාණ්ඩ ප්‍රවාහනය අරඹන ඔහු එයට ගම්පොළ මෝටර් ට්‍රාන්ස්පෝට් ලෙසින් නම් තැබීය.තවත් වැඩි කලක් ගත නොවීය.ඔහුගේ ව්‍යාපාරයට වාහන එකින් එක වැඩි විණි.මේ කාලයේ ඔහුගේ ව්‍යපාර කටයුතු තව තවත් සාර්ථක වුණු වකවානුවයි.එයට මූලික පදනම වූයේ ඔහුගේ විවාහයයි.දකුණට නෑදෑකම් කියන එහෙත් මහනුවර පදිංචිකාරියක වූ සීතා පෙරේරා සමඟ අතිනත ගැනීම තරුණ ව්‍යපාරිකයකු වූ කරුණාරත්නගේ ජීවිතය තවත් ආලෝකමත් කරන්න පදනමක් විය.

කුඩා ලොරි රථයකින් ව්‍යාපාර ලෝකය ටිකෙන් ටික ගොඩ නැංවූ ඔහු වැඩි කල් නොගොස් කන්ද උඩරට දැවැන්තම ව්‍යාපාරිකයකු වුයේ ධෛර්යවන්තකම ජීවිතයේ මහා ශක්තිය කර ගනිමිනි.ගම්පොළ මොටර් ට්‍රාන්ස්පෝට් ලෙස ව්‍යාපාර ඇරැඹි තරුණ කරුණාරත්න ඉන්පසු බොහෝ දෙනෙකු හැඳින්වූයේ ජී.එම්.ටී. මුදලාලි ලෙසය. එය ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වූවා විය හැකිය.මේ වන විට ලොරි රථ ඇතුඵ වාහන රැසක හිමිකරුවෙකු වූ ජී.එම්.ටී. මුදලාලි අලුත් ව්‍යපාරයකට අත ගැසීය.ඒ උඩරට තේ කොළඹට ප්‍රවාහනය කිරීමය.සිය ව්‍යාපාර පුදුමාකාර අයුරින් දිනෙන් දින දියුණුව කරා ගෙන ගියද උපතින්ම ඔහු සතු වු නිරහන්කාරී බව කිසි ලෙසකින්වත් ඔහුගෙන් ගිලිහී නොගියේය.ඒ වන විට වාහන අසුවක පමණ හිමිකරුවෙකු වු ජී.එම්.ටී. මුදලාලි ව්‍යාපාර ලොව කඩඉම් රැසක් ජය ගෙන තිබුණි.මහුනවර ප්‍රමුඛ පෙළේ හෝටල් වන ජානකී,හා රිවඩේල් ඔහු ඇරැඹි හෝටල් ව්‍යාපාරයන්ය.

ඔහුගේ වැඩිමහල් දියණිය ජානකීය.ඇය විවාහ වනු ලබන්නේ 1982 දීය.ඒ මෙරට ප්‍රමුඛ ව්‍යපාරික පවුලක පුත්‍රයකු වන උපාලි ජයසිංහ මහතා සමඟය. එම විවාහය සඳහා මනමාල පාර්ශ්වයෙන් ආරාධනා ලැබූවන් අතර සිටි අමුත්තෙකු ජී.එම්. ටී. මුදලාලිට මෙහිදී හමුවිය. ඒ රණසිංහ ප්‍රේමදාස මහතාය. එවකට අග්‍රාමාත්‍යවරයා වූ ප්‍රේමදාස මහතා හා වැඩිකල් නොගොස් සමීප හිතවත්කමක් ඇති කර ගන්නා ඔහු ප්‍රේමදාස මහතාගේ සමීපතම මිතුරෙකුද විය.මිතුදමකට සීමා නොවුණු මේ හිතවත්කම නිසාම ප්‍රේමදාස මහතා ජී.එම්.ටි.මුදලාලිගේ මාර්ගෝපදේශකයාද වූයේය.ඒ නිසාම ඔහුගේ ජීවිතය අලුත් මාවතකට එක් කළේය.මේ වන විටත් ප්‍රේමදාස මහතා තවත් දේශීය ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුටම මාර්ගෝපදේශකයකු වෙමින් සිටීම නිසා ජී.එම්.ටී. මුදලාලිට එම අත්දැකීම් මහගු ප්‍රයෝජනයක් විය.

දිනෙන් දින ව්‍යාපාරික ලොව ජයගත් ඔහුට ප්‍රේමදාස මහතාගේ ඔවදන් මහත් ශක්තියක් විය.මහනුවරට පැමිණි හැමවිටද ඔහු සමඟ දළදා මැඳුරට යන්නට අගමැති ප්‍රේමදාස මහතා කිසිදා අමතක නොකළේය.එමෙන්ම රටපුරා ගිය ගමන් රැසකටද අගමැතිවරයා සමඟ ගිය ජී.එම්.ටී. මුදලාලි ඒ වන විට ප්‍රේමදාස මහතාටත් යූ.එන්.පී. යටත් නැතිවම බැරි චරිතයක් වූයේය.එම වකවානුවේ බී.සිරිසේන කුරේ වැනි ප්‍රේමදාස හිතවාදීන් පමණක් නොවේ ලලිත්,ගාමිණී වැනි පිරිස්ද ඔහුගේ හිතවතුන් විය.පහළම සිට ටිකෙන් ටික දියුණුව කරා යමින් මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ ඔහුට දේශබන්දු පළමු පන්තියේ සම්මානයක එවක පිරි නැමිණි.

ප්‍රේමදාස මහතා 1989 දී ජනපති ධූරයට පත්වීම ඔහුගේ දිවියේ සතුටුම දිනය විය. 89 ජනවාරි 02 දා ප්‍රේමදාස මහතා දළදා මාලිගාවේ පත්තිරිප්පුවේ දිවුරුම් දුන් දිනයේද ජී.එම්.ටී. මුදලාලි සිටියේ ඔහු සමීපයේමය.93 දී ජනපති ප්‍රේමදාස මහතාගේ ඝාතනය ඔහුගේ ජීවිතයේ දුක් මුසුම දිනය බැව් ඔහු මියෙන තුරාම කියා සිටියේය.අනතුරුව ජනපති තනතුරට පත් වූ ඩී.බී. විජේතුංග මහතා ඔහුගේ ඇවතුම් පැවතුම් වලට බොහොමත් සමාන විය. එනිසාම විජේතුංග මහතාද ජී.එම්.ටී.මුදලාලි සමීප මිතුරෙකු කර ගත්තේය.මේ කාලය වන විට ඔහු එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ආදරය දිනාගත් නිහඩ චරිතයක විය.මහනුවරට පැමිණි සෑම එක්සත් ජාතික පක්ෂයේ නායකයෙකුම ජී.එම් ටී. හමුවීමට අමතක නොකළේය.විජේතුංග මහතාගෙන් පසු ගාමිණී දිසානායක එජාප නායකයාට සමීපතම හිතවකකු වූයේ ගාමීණී දිසානායක යන නමට නොව එජාපයේ නායකයා නිසාවෙනි. මේ වන විට ඔහු හා එජාපය ගහට පොත්ත ලෙසින් පුදුමාකාර බැදීමක් අති කරගෙන සිටියේය.

රනිල් වික්‍රමසිංහ මහතා ඔහු දීර්ඝම කාලයක් ඇසුරු කළ එජාප නායකයාය.එජාපය පහළටම වැටෙන විටද එජාපයෙන් බොහෝ දෙනෙකු ඈත්වන විටද පක්ෂය සමඟ සිටි ඔහු ගත වූ දශක දෙක හමාර පුරාම රනිල් වික්‍රමසිංහ මහතාටත් පක්ෂයටත් සෙවණැල්ලක වූ නිහඩ චරිතයක් විය.මහනුවර දිස්ත්‍රික්කයේ ඔහු හා ඇසුරු නොකළ එජාපයේ දේශපාලනඥයෙකු නොමැති තරම්ය.සෑම මැතිවරණයකදීම එජාප දේශපාලන සටන අරඹන්නේ මහනුවරිනි. ඒ ශ්‍රි දළදා සමිදුන්ගේ ආශිර්වාදය ලබා ගනිමිනි.මේ නිසා ඒ සෑම මැතිවරණයකම පළමු වෙඩි මුරය තබන්නේද ඔහු සතු රිවඩේල් හෝටලයෙනි.මෙය ජී.එම්.ටී.මුදලාලි සතු හෝටලයක වුවද එය එය සිරිකොත ශාඛාවක ලෙස ඇතැමුන් හඳුන්වා දුනි.

එමෙන්ම 2010 දී සරත් ෆොන්සේකා මහතාත්,2014 දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණ සටනේ කන්ද උඩරට දේශපාලනික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේ ඔහුගේ රිවඩේල් හෝටලයේදීය.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඉටුකළ නිහඩ මෙහෙවර උදෙසා එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා අතින් පක්සයේ ජේ්‍යෂ්ඨ යාව ජීව සාමාජිකයන් වෙුනවෙන් පිරිනැමෙන විශිෂ්ටතම උපහාරයකින් ඔහු පිදුම් ලැබීය.

මෙතරම් එජාපයට ගහට පොත්ත මෙන් බැදි සිටියද ඔහු කිසිදා එහි ආණ්ඩුවකින් හෝ එජාපයෙන් වරප්‍රසාද බලාපොරොත්තු වූයේ හෝ ඉල්ලුවේ නැත.

මෙතරම් එක්සත් ජාතික පක්ෂය සමඟ සමීපව සිටියද ඒ කිසිවිටෙකත් එය සිය ව්‍යාපාරික ක්ෂේත්‍රයට බාධාවක් කර නොගත්තේය.

දේශපාලනඥයන්ට ,ව්‍යාපාරිකයන්ට පමණක් නොව බොහෝ පිරිස්වලට ආදර්ශමත් චරිතයකු වූ ජී.එම්.ටී.මුදලාලි මිය ගියද ඔහුගේ ප්‍රතිපත්ති කිසි කලෙක මිය නොයනු ඇත.

සරල, අව්‍යාජ ,සුන්දර මිනිසෙකු වූ ජී.එම්.ටී.මුදලාලි හෙවත් ජී.පී.එව්.කරුණාරත්න මහතාගේ මහතගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (23) සවස මහනුවර ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.

සටහන -ඉන්දික පොල්කොටුව ඡායාරූප- රුවන් මීගම්මන


නව අදහස දක්වන්න