සංවර්ධනය සඳහා බාධාව දේශපාලනයයි | දිනමිණ

සංවර්ධනය සඳහා බාධාව දේශපාලනයයි

බුද්ධිකා බ්‍රාහ්මණ‍ගේ

දකුණු ආසියාව සංවර්ධනය සඳහා ඇති විශාලතම බාධාව දේශපාලන අස්ථාවර බවත් , ශ්‍රී ලංකාවටද එම තත්ත්වය බලපා ඇති බවත් ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ආචාර්ය මාර්ටින් රාමා ප්‍රකාශ කළේ ය.

ඒ මහතා ඒ බව ප්‍රකාශ කළේ 21 දා කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති දකුණු ආසියානු ආර්ථික විද්‍යාඥයින්ගේ සමුළුව අමතමිණි.

ශ්‍රී ලංකාවේ රුපියල අවප්‍රමාණය වීම මෙන්ම ආර්ථික වර්ධන වේගය මන්දගාමී වීම පිළිබඳවද අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ විදෙස් ආයෝජන දුර්වල මට්ටමක පැවතීම මීට බලපා ඇති මූලිකම ගැටලුව බවයි. රටක් වශයෙන් මෙම තත්ත්වයෙන් මිදීමට කලාපීය සහයෝගීතාව මෙන්ම දැනට සැලසුම් කරමින් පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම් උපයෝගී කරගත හැකි බව පෙන්වා දුන් ආචාර්ය මාර්ටින් රාමා

මෙරට ශ්‍රම වෙළෙඳ පොළෙහි පවතින සත්‍යතාව ඒ සඳහා උපයෝගි කරගත හැකි බවද වැඩි දුරටත් සඳහන් කළහ.

ශ්‍රී ලංකාවේ ස්ත්‍රි ශ්‍රම දායකත්වය වඩාත් ඉහළ මට්ටමක තිබීම පිළිබඳව අගය කළ යුතු බව සඳහන් කළ ආචාර්ය මාර්ටින් රාමා කලාපයේ රටවල් අතරින් එය කැපී පෙනෙන මට්ටමක ශ්‍රී ලංකාව ඉහළින් සිටින බවද සඳහන් කළහ.

මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාද සමුළුව අමතමින් දේශනයක් පැවැත් වූ අතර දැනට පවතින ආර්ථික දුෂ්කරතාවන් මඟ හරවා ගැනීම සුවිශේෂ ආර්ථික ගැටලු විසඳා ගැනීමට කලාපීය සහයෝගීතාව මෙන්ම ජාතික ප්‍රතිපත්තීන්ද වැදගත් වන බව පෙන්වා දුන්නේ ය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතාගේ මූලිකත්වයෙන් සංවිධාන කෙරුණු මෙම සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වූයේ සිව්වන වරටයි. “2004 වසරේ බීජයක් ලෙස රෝපණය කළ මෙම කලාපීය සහයෝගීතාව ස්ථාවර ගසක් ලෙසට වැඩෙමින් පැවතීම මහත් සතුටක් බව” ඒ මහතා සිය දේශනයේදී සඳහන් කළේ ය.

මෙම සමුළුව සඳහා නේපාලය, භූතානය, ඉන්දියාව, ඇෆ්ගනිස්තානය ආදී සාක් රටවල් නියෝජනය කරමින් විශ්වවිද්‍යාල විද්‍යාර්ථින් මෙන්ම ආචාර්යවරුද සහභාගි වී සිටියහ.


නව අදහස දක්වන්න