ෆෙඩරල් බිල්ලා වාදය | දිනමිණ

ෆෙඩරල් බිල්ලා වාදය

වසන්ත ප්‍රිය රාමනායක

මේ වන විට මේ රටේ දේශපාලනඥයන් දෙකට බෙදී එකිනෙකාට පහර ගසමින් සිටින්නේ බලය උදෙසා අදාළ ප්‍රශ්නය යටපත් කරමිනි. පවතින 1978 ව්‍යවස්ථාව ද මේ වන විට වසර 40ක් පැරැණිය. එය 19 වතාවක් ‘අණ්ඩ’ දැමූවකි. මේ නිසා අලුත් ව්‍යවස්ථාවක අවශ්‍යතාවක් තිබේ. එය එසේ නොවේ යැයි කිසිවෙක් ප්‍රකාශ කරන්නේ ද නැත. මේ සියල්ල සමඟින් වසර 70කට පසු ඇතිවී තිබෙන සුවිශේෂී සාධනීය කරුණක් තිබේ. එනම් උතුරේ ප්‍රධාන ද්‍රවිඩ දේශපාලන සන්ධානය නව ව්‍යවස්ථා ක්‍රියාදාමයට සම්බන්ධ වී සිටීමයි. 1972 හා 1978 එවැන්නක් දක්නට ලැබුණි. මෙය යුද ජයග්‍රහණය සමගින් උදාවූ සාමය තුළ ඇතිවූ නව ප්‍රවණතාවයකි. වර්තමාන පාර්ලිමේන්තුව ලැබූ ජයග්‍රහණයකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු ජනතාව හා ආණ්ඩුව අතර සිදුවන සම්මුතියකි. මේ ආකාරයේ විවිධ අර්ථකථන ද රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සතුය. යම් රටක ජීවත්වන සියලුම ජනතාවට එරට රාජ්‍ය පාලනයට සහභාගි විය නොහැකිය. ඒ සඳහා ඔවුහු තම ඡන්දයෙන් මන්ත්‍රීවරුන් මෙන්ම ඔවුන් නියෝජනය කරන පක්ෂ හා කණ්ඩායම් පත් කරගනිති. එම කණ්ඩායම් අදාළ රාජ්‍යය පාලනය කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවය. ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත එය යි.

එසේ නොමැති මැතිවරණවලින් තොර ආඥාදායක පාලන තන්ත්‍ර ද සමහර විට දක්නට ලැබේ. ඒවා හමුදා ආණ්ඩු, ඒකාධිපති ආණ්ඩු ලෙසින් ද හැඳින් වේ. මේ ආණ්ඩුවලට වුවද රට පාලනය උදෙසා යම් ව්‍යවස්ථාමය ලියවිල්ලක් සකස් කර ගනියි. සමහරවිට පැවැති ව්‍යවස්ථාව අත්හිටුවා ඒ ආකාරයෙන් නව ව්‍යවස්ථා සකස් කරගන්නා ආකාර ද දක්නට ලැබේ. විප්ලව හරහා සිදු කරනු ලබන ආණ්ඩු පෙරළි හරහා ද මෙවන් ව්‍යවස්ථා සැකසේ. මේ සියල්ලට පෙරාතුව වැඩවසම් යුගයේ හා රජු දෙවියන් ලෙස සැලකූ සමයේ ද එම රජවරු විසින් රටවල් පාලනය කිරීම සඳහා ව්‍යවස්ථාමය සම්ප්‍රදායන් ඇතිකරගෙන තිබූ බව ඉතිහාසය පිරික්සා, කෙනකුට සොයාගත හැකිය. ‘මනුධර්මය’ එවන් සම්ප්‍රදායකි.

ඩොනමෝර් දායාද

යටත්විජිත යුගයෙන් පසු නිදහස් ශ්‍රී ලංකාව උදෙසා එවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසෙන්නේ සෝල්බරි කොමිසම හරහාය. ඊට පෙර ඩොනමෝර් කොමිසම මගින්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ශ්‍රී ලංකාවට ‍යෝජනා කර තිබූ අතර 1931 රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමය හා සර්වජන ඡන්ද අයිතිය පුළුල් ලෙස අපට ලැබෙන්නේ ඩොනමෝර් ආණ්ඩුක්‍රමය මගිනි.

එදා ශ්‍රී ලංකාවේ උඩරට වෙනම ෆෙඩරල් ක්‍රමයේ ප්‍රාන්තයක් ලෙසින් පාලනය විය යුතු බව මේ ඩොනමෝර් කොමිසමට යෝජනා කරන්නේ උඩරට සමහර ප්‍රභූහු බව අද බොහෝ දෙනා අමතක කරති. මීට අමතරව අපේ රටේ සිංහල බෞද්ධ ජනතාව අතර කීර්තියක් දිනාගත් දේශපාලනඥයකු මෙන්ම 1956 සමාජ පෙරළියේ නිර්මාතෘවරයකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා ද මේ රටට ෆෙඩරල් ක්‍රමයක් යෝජනා කළ නායකයෙකි. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. තරම් ෆෙඩරල් ව්‍යවස්ථාවක් සෘජුව යෝජනා කළ දේශපාලනඥයෙක් නොමැති තරම්ය.

එහෙත් ඩොනමෝර් කොමිසම උඩරට සිංහල බෞද්ධ නායකයනගේ හෝ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක හිටපු අගමැතිවරයාගේ යෝජනා පිළිගත්තේ නැත. එසේ පිළිගෙන ශ්‍රී ලංකාවට ෆෙඩරල් ව්‍යවස්ථාවක් ප්‍රදානය කළේ ද නැත. අවශ්‍ය නම් එදා පැවැති යටත්විජිත පාලනය තුළ ශ්‍රී ලංකාවට එවැන්නක් යෝජනා කර ක්‍රියාත්මක කිරීමේ පසුබිමක් සුදු ජාතික පාලනයට තිබුණි. එහෙත් සුද්දෝ ෆෙඩරල් ඉල්ලූ සිංහලයන් වෙනුවෙන් ඒ වැඩේ කිරීමට ගියේ නැත. එයට ප්‍රධාන හේතු දෙකක් බලපෑ බව පෙනේ. එක් හේතුවක් එදා දෙමළ නායකයන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ගෙන් ෆෙඩරල් නොඉල්ලීමටත්, වෙනම කණ්ඩායමක් ලෙසින් ගනුදෙනු නොකිරීමටත් කල්පනා කිරීමය. දෙවැන්න ඒ සියල්ලන් ඩී. එස්. සේනානායකයන් විසින් ජාතික සංගමය වටා ඒකරාශී කර ශ්‍රී ලංකා ජාතික සංගමය ලෙසින් රටට ස්වෛරීත්වය ප්‍රදානය කිරීමට ඉල්ලා සිටීමය. එම ජාතික සංගමය තුළ දෙමළ නායකයන් හා ඔවුන්ගේ සංවිධාන මෙන්ම එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකයන් නායකත්වය දැරූ සිංහල මහා සභාව හා මුස්ලිම් නායකයන්ගේ සංවිධාන ද ගොනුවී තිබුණි. එදා ඩී. එස්. නොසිටින්නට සමහර විට අර උඩරට සමහර නායකයන්ගේ ෆෙඩරල් යෝජනාව ක්‍රියාත්මක වීමට ඉඩ තිබුණි.

1928 සුද්දන් සමග සටන් වැද හිරබත් කන ඩී. එස්. එක්දහස් නවසිය තිස්-හතළිස් ගණන්වල ඔවුන් හා සමීපව කටයුතු කිරීම නිසා ඔවුහු ඩී. එස්. ඇතුළු ජාතික සංගමය වටා ගොනුවී සිටි පිරිස සිය මිතුරන් සේ සැලකූහ. ඩී. එස්. ශ්‍රී ලංකාවට නිදහස ලබාගැනීම සඳහා මෙන්ම එම මිත්‍රත්වය ෆෙඩරල් නොවන පාලනයක් හා ව්‍යවස්ථාවක් මෙරට තුළ නිර්මාණය කර ගැනීම සඳහා පාවිච්චි කළ බව පෙනේ. ශ්‍රී ලංකාවට නිදහස මෙන්ම ෆෙඩරල් නොවන පාලන ක්‍රමයක් අපට ලැබෙන්නේ මෙවන් පසුබිමකය. ඊට ඩී.එස්. සේනානායකයන්ගේ දායකත්වය කැපී පෙනේ. එදා දෙමළ නොවන සමහර සිංහල නායකකාරකාදීන්ගේ ක්‍රියා නිසා ෆෙඩරල් පාලන ක්‍රමයක් ලබාදීමට ඩොනමෝර් හෝ සෝල්බරි කොමිසම් සැරසුණා නම් ඊට එරෙහි වීමට මහ සඟරුවනට වුවද ලෙහෙසි පහසු කාර්යයක් වන්නේ නැත. ඒ නිසා ජාතියේ මුරදේවතාවුන් වුවද ෆෙඩරල්වලට යට වීමට ඉඩ තිබුණි. මේ ඉතිහාසය අද බොහෝ අය අමතක කරති. සමහරු එය කරනු ලබන්නේ දේශපාලනිකව හිතාමතාය.

ඩී. එස්. එදා සෝල්බරි කොමිසම හමුවට ගොස් කීවේ කුමක්ද? අපට අපේ ප්‍රශ්න ටික විසඳා ගැනීම සඳහා මන්ත්‍රී මණ්ඩලයක් සහිත පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් ලබාදෙන ලෙසයි. ඔහු යෝජනා කළ ආණ්ඩුක්‍රම ආකෘතිය වැටෙන්නේ වෙස්ට්මිනිස්ටර් ක්‍රමයටය. සුද්දෝ ඊට අනුකූලතාවයක් දැක්වූහ. ඊට හේතුව අනියමින් මේ ඉල්ලන ක්‍රමය තම මව් රටේ පවතින ක්‍රමයම වන නිසා විය හැකිය.

ඩී. එස්. එදා යෝජනා කළ මෙන්ම විසඳීමට තිබෙනවාය කියූ අපේ ප්‍රශ්න මොනවාද? ප්‍රධානම ප්‍රශ්නය ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනගා ගැනීමය. ඊට අවැසි සමාජ බලවේග වන සිංහල, දෙමළ හා මුස්ලිම් සංවිධාන සියල්ලම ශ්‍රී ලාංකීය නිදහස උදෙසා ජාතික සංගමය තුළ ගොනුවී සිටියේය. මේ නිසා ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනගා ගැනීමේ පහසුව මෙන්ම ඊට නායකත්වය දීමට සුදුසුම සංවිධානය ලෙස ජාතික සංගමය සුදුසුකම් ලබා තිබුණි.

ජාතිය ගොඩනැඟීම

එහෙත් නිදහස ලබා වසර 71 තිස්සේ අප නොකළේම මේ ‘ශ්‍රී ලාංකීය ජාතිය’ ගොඩනැගීම බව පෙනේ. ඊට මේ රටේ දේශපාලනය කළ අය මෙන්ම දේශපාලන පක්ෂ ද වගකිව යුතුය. යම් විදියකට එක්සත් ජාතික පක්ෂය ගොඩනැගෙන්නේ ද මෙම අරමුණින් බව පෙනේ. එහි ඩී.එස්. මෙන්ම එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකයන් ද ඩී. ඒ. රාජපක්ෂ වැනි රුහුණේ සිංහල බෞද්ධ නායකයන් ද මුස්ලිම් හා දෙමළ නායක කාරකාදීහු ද වූහ. පසුකලෙක නිර්මාණය වූ දේශපාලන, බෙදුම්වාදී හා අවස්ථාවාදී ප්‍රවණතා නිසා මේ සියල්ල සුන්නද්ධූලි වූ බව පෙනේ.

සෝල්බරි ව්‍යවස්ථාවෙන් පසු අපේ ම ව්‍යවස්ථාවක් ගොඩනගා ගතයුතුය යන කතිකාවත පැවතිය ද ඒ වෙනුවට නිර්මාණය වූයේ ශ්‍රී ලාංකීය ව්‍යවස්ථාව නොවේ. 1972 සමගි පෙරමුණු ව්‍යවස්ථාවකි. 1978 එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවකි. එහෙත් ලෝකයේ ඕනෑ තරම් මීට ගැලපෙන උදාහරණ තිබේ. ද. අප්‍රිකාව හොඳම නිදසුනකි. වසර ගණනාවක් වර්ණභේදවාදී අරගලයක් නිසා ඇතිවූ සිවිල් යුද්ධයෙන් පසු ඔවුහු ගොඩනැගුවේ නෙල්සන් මැන්ඩෙලා නායකත්වය දුන් දකුණු අප්‍රිකානු කොංග්‍රසයේ ව්‍යවස්ථාව නොවේ. දකුණු අප්‍රිකාවේ ව්‍යවස්ථාවයි. එහෙත් 1972 දී හා 1978 දී සිදුවුණේ අපේ රටේ සුළුජාතීන් වාටියට තල්ලු කර ඔවුනට පාලනයට හවුල් වීමට නොහැකි වන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නිර්මාණය වීමය. ඒ ආකාරයේ ව්‍යවස්ථා මගින් ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගුණේ නැත. ඒ වෙනුවට උතුරේ හා දකුණේ දරුණු කැරලි දෙකක් නිර්මාණය විය. උතුරේ කැරැල්ල බෙදුම්වාදී කැරැල්ලකි. එය හමුදා බලයෙන් මැඩපැවැත්වීමෙන් පසු ඊට හේතුවූ ප්‍රශ්නය ඉතිරි වී තිබේ.

කඹ ඇදීම

මේ වන විට මේ රටේ දේශපාලනඥයන් දෙකට බෙදී එකිනෙකාට පහර ගසමින් සිටින්නේ බලය උදෙසා අදාළ ප්‍රශ්නය යටපත් කරමිනි. පවතින 1978 ව්‍යවස්ථාව ද මේ වන විට වසර 40ක් පැරණිය. එය 19 වතාවක් ‘අණ්ඩ’ දැමූවකි. මේ නිසා අලුත් ව්‍යවස්ථාවක අවශ්‍යතාවක් තිබේ. එය එසේ නොවේ යැයි කිසිවෙක් ප්‍රකාශ කරන්නේ ද නැත.

මේ සියල්ල සමගින් වසර 70කට පසු ඇතිවී තිබෙන සුවිශේෂී සාධනීය කරුණක් තිබේ. එනම් උතුරේ ප්‍රධාන ද්‍රවිඩ දේශපාලන සන්ධානය නව ව්‍යවස්ථා ක්‍රියාදාමයට සම්බන්ධ වී සිටීමයි. 1972 හා 1978 එවැන්නක් දක්නට ලැබුණි. මෙය යුද ජයග්‍රහණය සමගින් උදාවූ සාමය තුළ ඇතිවූ නව ප්‍රවණතාවයකි. වර්තමාන පාර්ලිමේන්තුව ලැබූ ජයග්‍රහණයකි.

දැන් කෙටුම්පතක් නොවූ යෝජනා කීපයකට ෆෙඩරල් බිල්ලෙක් මවාපාමින් මේ අවස්ථාව පැහැර හරිනවාද, මින් ප්‍රයෝජනය ගන්නවාද යන කාරණය අප හමුවේ ඇත. පැහැර හරින්නේ නම් තවදුරටත් උතුරේ පක්ෂ මෙම ක්‍රියාදාමය තුළ රඳවා ගැනීමට නොහැකි වනු ඇත. ඉන් අදහස් වන්නේ අනාගතයේ දී උතුරේ ජනතාවගේ මතවාදයන් හමුදාමය බලයෙන් යටපත් කිරීමට සූදානමක් පවතින්නේ ද යන්නයි. එය රටකට දීර්ඝ කාලීනව යහපත් නොවනු ඇත.

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය තුළ වුවද බුද්ධාගමට හිමි තැන හා රටේ ඒකීයභාවයේ වෙනසක් නොවන බව බැලූ බැල්මට වුවද පෙනේ. කෙටුම්පතක් සම්පාදනය වී පාර්ලිමේන්තු විවාදයක දී මේ ඕනෑම කාරණයක් හා වචන හරඹ තෝරා බේරා සංශෝධනය කිරීමේ ඉඩකඩක් තිබේ. කිසිම දේශපාලන පක්ෂයක් ජනතාව පොදුවේ විරුද්ධ වන කාරණා උපයෝගී කර ගනිමින් මැතිවරණ ක්‍රියාදාමයක් අභියස සිය දිවි හානිකර ගැනීමට යන්නේ නැත.

පසුගිය ජනාධිපතිවරණයේ දී උතුරේ ජනතාවගේ ඉහළම ප්‍රතිචාරය හිමිවූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටය. මෙතෙක් සිංහල බෞද්ධ නායකයකු නොලද ඉහළ ඡන්ද ප්‍රතිශතයක් උතුරින් එතුමාට හිමිවිය. මෙහිදී එතුමාගේ මැදිහත්වීම නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ දී සාධනීය ප්‍රවේශයක් වනු ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනගා ගැනීමේ කාර්යයේ දී එම මැදිහත් වීමට තවමත් ඉහළ වටිනාකමක් තිබෙන බව අමුතුවෙන් කිවයුතු නැත.


නව අදහස දක්වන්න