ශක්තිමත් විය යුතු උදර්පණ නීතිය | දිනමිණ

ශක්තිමත් විය යුතු උදර්පණ නීතිය

තුන්වන ලෝකයේ දේශපාලනඥයෝ, ජනතා මුදල් අසීමාන්තිකව සොරකම් කර ස්විස් බැංකුව වැනි ජාත්‍යන්තර බැංකුවල තැන්පත් කරති. එසේම යම් රටක මුදල් වෙනත් රටවලට සාවද්‍ය ලෙස රැගෙන යන දේශපාලනඥයෝ්ද සිටිති. මෙම මුදල් මෙන්ම එම දේශපාලනඥයන්ද සොයාගැනීම ඉතා දුෂ්කර කටයුත්තකි. එම නිසා ඔවුනට නීතියේ රැහැනින් ගැලවීමට නොහැකි තරමට ප්‍රබල ලෙස ජාත්‍යන්තර නීති හා ගිවිසුම් සකස් කර, රටවල් උදර්පණ ගිවිසුම්වලට එළඹීම යුගයේ අවශ්‍යතාවයක් වී ඇත.

ශ්‍රී ලංකාවේ මෑත භාගයේදී “උදර්පණය” සම්බන්ධයෙන් බෙහෙවින් කථාබහට ලක්විය. ශ්‍රී ලංකාවේ බලහත්කාරී අතුරුදහන් කරවීමෙන් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීමේ පනත සම්බන්ධයෙන් මතු වූ මෑත කාලීන විවාදවලදී ද උදර්පණය ඉස්මතු වූ අතර, මහබැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධව අධිකරණයට අවශ්‍යව සිටින අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධව මෙන්ම අධිකරණයට අවශ්‍යව සිටි උදයංග වීරතුංග, ජාලිය වික්‍රමසූරිය යන අය මෙරටට ගෙන්වාගැනීමේදී ද “උදර්පණය” සම්බන්ධව වෙන කවරදාකටත් වඩා සමාජයේ කතාබහක් ඇති විය.

උදර්පණය යනු යම් පුද්ගලයෙක් එක් රටකින් තවත් රටකට බාරදීමයි. යම් අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණ බලයක් ඇති රටක්. එම අපරාධය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින හෝ වැරදිකරුව සිටින පුද්ගලයකු එම අපරාධයට නඩු පැවරීම සඳහා හෝ දඬුවම් කිරීම සඳහා තම රටට බාරදෙන්නැයි දෙවැනි රටකින්, ඉල්ලා සිටින අවස්ථාවකදී උදර්පණ නීතිය වැදගත් වේ. ලෝකයේ බොහෝ රටවල බරපතළ අපරාධවලට සම්බන්ධ වූවන් තමා ජීවත්වන රටින් නඩු වැටේය යන බියෙන්, වෙනත් රටකට පළාගොස් ජීවත්වන අවස්ථා ඇත.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ ජීවත් වේ. ජාලිය වික්‍රමසූරිය, උදයංග වීරතුංග යන අයවලුන්ද නඩු විභාග කටයුතු සඳහා මෙරටට ගෙන්වාගත යුත්තේ උදර්පණ නීතිය යටතේ ය.

ශ්‍රී ලංකාවේ උදර්පණ නීතිය බලාත්මක වන්නේ, 1977 ඇතිකරගත් උදර්පණ නීතිය යටතේ ය. උදර්පණය සම්බන්ධ ඉන්පසු සම්මතකරගත් ඕනෑම නීතියක් 1977 උදර්පණ නීති‍යත් සමඟ අනුගාමිකව කියවිය යුතුය. 1977 උදර්පණ නීතියෙන් පසුව ඇතිකරගත් මේ උදර්පණය පිළිබඳ කාරණය, අන්තර්ගතවන එක් පැහැදිලි නිදර්ශනයක් වන්නේ, 1994 දී ඇතිකරගත් වධහිංසා පනතේ 7 වන වගන්ති‍යයි. බලහත්කාරී අතුරුදහන් කරවීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීමේ පනතේ, 8 වගන්තිය වූ කලි ඉහත සඳහන් වධහිංසා පනතේ 7(2) වගන්තියේ අනුරුවකි. ඒ වගන්ති දෙකේ වචන පවා එක සමාන ය. ඒ නිසා බලහත්කාරී අතුරුදහන් කිරීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීමේ පනත මඟින්, දැනට ශ්‍රී ලංකාවේ පවතින උදර්පණය පිළිබඳ නීතිය, මොන ආකාරයකින්වත් වෙනස් කෙරෙන්නේ නැත. එයින් කෙරෙනු ඇත්තේ, මේ කාරණය සම්බන්ධයෙන් ඊට පෙර පැවැති නීති, උදාහරණයක් වශයෙන් වධහිංසා පනත වැනි නීතියක් තවත් බලගැන්වීම පමණි.

පනත් දෙකේ වෙනස

බලහත්කාරී අතුරුදහන් කැරවීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීමේ පනත තුළ අඩංගු “උදර්පණය’ හා වධහිංසා පනත් තුළ අඩංගු උදර්පණය තවදුරටත් මෙසේ පැහැදිලි කළ හැකියි.

මේ දෙක වෙනස් බව පෙන්වීමට, අතුරුදහන් කරවීම් පිළිබඳ පනතට විරුද්ධ පිරිස් උත්සාහ කරති. වධහිංසා පනත යටතේ, සඳහන් උදර්පණය බලපාන්නේ, ශ්‍රී ලාංකිකයන් නොවන අයවලුන්ට පමණකැයි ඔවුහු කියති. එසේම, බලහත්කාරී අතුරුදහන් කැරවීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීමේ පනත තුළ සඳහන් උදර්පණය යටතේ, ශ්‍රී ලාංකිකයන් ද විදේශවලට භාරදීමට සිදුවෙතැයි ඔවුහු කියති. නමුත් වධහිංසා පනත අනුව, මේ මතය සාවද්‍ය වේ. එම පනතේ 7(1) වගන්තිය අනුව, වධහිංසා පනත යටතේ ගැනෙන වරදකට, පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අවස්ථාවක එම පුද්ගලයාට නඩු පැවරීම සඳහා හෝ එම පුද්ගලයාව උදර්පණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ගෙන ඇති පියවර හෝ යෝජිත පියවර ගැන එම වරද පිළිබඳ අධිකරණ බලය ඇති වෙනත් ඕනෑම රටකින් කරනු ලබන ඉල්ලීමකදී ලංකාවේ විදේශ ඇමැතිවරයා විසින් එවැනි ඕනෑම රටක බලාධිකාරීන්ට දන්වා සිටිය යුතුය.

විදේශයකදී ‘වධහිංසාව’ නමැති වරද සිදුකර ඔහු එම රටට භාරදෙන්නැයි ශ්‍රී ලාංකිකයකු එම රට මඟින් ඉල්ලා සිටියහොත් අදාළ පුද්ගලයා අදාළ රටට භාරදීමට හෝ ශ්‍රී ලංකාවේදී ඔහුට විරුද්ධව නඩු පැවරීමට ශ්‍රී ලංකාව බැඳී සිටී. එසේම වධහිංසාව සම්බන්ධයෙන් මෙරට දී අත්අඩංගුවට ගත් විදේශිකයන්ටත් ‘වධහිංසා’ පනත එලෙසම බලපානු ලැබේ.

“උදර්පණ නීතිය” යටතේ වෙන රටක සිටින ඕනෑම අයකු මේ රටට එවීමට වෙනත් රටකින් ඉල්ලා සිටින්නට හැකියාවක් නැත. මේ රට තුළ කිසිඳු අපරාධමය වරදක් කර නැති එහෙත් පිටරටකට ජීවත්වන පුද්ගලයකු මේ රටට එවන්නට මේ “උදර්පණ” නීතියෙන් ඉල්ලා සිටීමට ද ප්‍රතිපාදන නොමැත. නමුත් ශ්‍රී ලංකාවේදී යම් අපරාධයක් සිදුකොට එයින් ගැලවී සිටීමට යමකු පිටරටක ගොස් සිටී නම් ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වීමට හෙවත් “උදර්පණය” කිරීමට ඉල්ලා සිටිය හැකි ය. එසේම වෙනත් රටක පුද්ගලයෙක් අපරාධයක් කර මෙරටේ සිටී නම් එම රටින් ඉල්ලීමක් කළහොත් ඔහු ඒ රටට භාරදීමට මේ යටතේ හැකිය. කෙසේ වුව මෙසේ රටවල් දෙකක් අතර පුද්ගලයන් උදර්පණය කිරීමට හැකිවන්නේ එම රටවල් දෙක අතර උදර්පණය සම්බන්ධයෙන් ගිවිසුමක් තිබේ නම් පමණි. උදර්පණය කරන්න කියලා ඉල්ලා සිටීමට හැක්කේ ද එම පුද්ගලයා කරන ලදැයි කියන වරද ඉල්ලා සිටින රටේ ද වරදක් වන අවස්ථාවකදී පමණි.

රතු නිවේදනය

ශ්‍රී ලංකාව උදර්පනය සඳහා ගිවිසුම් අත්සන් කර ඇති රටවල් ගණන ඉතාමත් සුළු ප්‍රමාණයකි. ශ්‍රී ලංකාව මේ වන විට, මැලේසියාව, ඉන්දියාව, පාකිස්ථානය, යුක්‍රේනය යන රටවල් සමඟ උදර්පණය සම්බන්ධව ගිවිසුම් අත්සන් කර ඇත. එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු ප්‍රබල සාමාජිකයකු වූ කුමරන් පද්මනාදන් මැලේසියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආවේ ද මේ උදර්පණ නීතිය යටතේ ය. ඒ වනවිට මැලේසියාව හා ශ්‍රී ලංකාව අතර “උදර්පණ” ගිවිසුම් අත්සන් කර තිබූ නිසාය.

ශ්‍රී ලංකාව උදර්පණය සම්බන්ධව ගිවිසුමක් අත්සන් කර නොමැති නම් එවැනි රටක සිටින සැකකරුවකු ගෙන එන්නේ කෙසේ ද යන්න ඊළඟට පැණ නඟින කරුණකි. අපේ රටේ ‍යම් පුද්ගලයෙක් අපරාධයක් කර වෙනත් රටක සැඟවී සිටීනම් ජාත්‍යන්තර පොලිසිය හරහා (interpole) රතු නිවේදනයක් කර ඔහු ගෙන්වා ගැනීමට හැකිය. ඒත් සිංගප්පූරුව ජාත්‍යන්තර පොලිසිය සමඟ කිසිඳු ගිවිසුමක එළඹී නොමැත. මේ අනුව එරට සිටින්නකු රතු නිවේදනයක් මඟින් ජාත්‍යන්තර පොලිසිය හරහා ගෙන්වා ගැනීමද අසීරු කරුණකි. ඉතාලි රජයට අයත්, ගුවන් යානයක් ශ්‍රී ලංකාවට පැහැරගෙන පැමිණි සේපාල ඒකනායක මහතා ඉතාලියට බාර නොදුන්නෙ ඇයිද යන ගැටලුවද මීට සමාන එකකි.

සේපාල ඒකනායක මහතා 1982 දී ඉතාලි ගුවන් සමාගමකට අයත් ගුවන් යානයක් පැහැරගෙන පැමිණියේ ය. ඉතාලි රජයෙන් සේපාල ඒකනායක මහතා තමන්ට භාරදෙන ලෙස ඉල්ලා සිටියත් ශ්‍රී ලංකාව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ශ්‍රී ලංකාව ඉතාලියත් සමඟ උදර්පණ ගිවිසුමක් ඒ වනවිට අත්සන් කර නොතිබූ බැවින් වුවද ඔහුට විරුද්ධව ශ්‍රී ලංකාවේ අධිකරණයේ නඩුවක් විභාග කෙරුණි.

උදර්පණය සම්බන්ධයෙන් පවතින නීති රීති වෙනස් විය යුතු බව පැහැදිලි සත්‍යයකි. වර්තමානයේ පවතින මෙම උදර්පණ නීතියේ දුර්වලතා බොහෝමයකි. විශේෂයෙන් මෙම උදර්පණ නීතිය හරහා වැරදිකරුවන් නීතියේ රැහැනට ලක්කරගැනීමට හැකිවන පරිදි උදර්පණ නීති වෙනස් කළ යුතුය.

විශේෂයෙන් තුන්වන ලෝකයේ දේශපාලනඥයින්, ජනතා මුදල් අසීමාන්තිකව සොරකම් කර ස්විස් බැංකුව වැනි ජාත්‍යන්තර බැංකුවල තැන්පත් කරති. එසේම යම් රටක මුදල් වෙනත් රටවලට සාවද්‍ය ලෙස රැගෙන යන දේශපාලනඥයන්ද සිටිති. මෙම මුදල් මෙන්ම එම දේශපාලනඥයන්ද සොයාගැනීම ඉතා දුෂ්කර කටයුත්තකි. එම නිසා ඔවුනට නීතියේ රැහැනින් ගැලවීමට නොහැකි තරමට ප්‍රබල ලෙස ජාත්‍යන්තර නීති හා ගිවිසුම් සකස් කර රටවල් උදර්පණ ගිවිසුම්වලට එළඹීම යුගයේ අවශ්‍යතාවයක් වී ඇත.

නිශානී හේරත් බන්නැහැක


නව අදහස දක්වන්න