ජාතික අරමුණක අවශ්‍යතාව | දිනමිණ


 

ජාතික අරමුණක අවශ්‍යතාව

ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

වර්තමාන ලංකාවේ දේශපාලන පක්ෂ සියල්ලම පාහේ අර්බුදයකට මුහුණපා ඇති ආකාරයක් පෙනෙන්නට තිබේ. ජනතා විශ්වාසය නැවත පිරියම් කළ නොහැකි තරමට ම පළුදුවී තිබීම මීට හේතුවයි. පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය හා අරමුදල් විගණනය කරන ක්‍රමවේද පෙනෙන්නට නැත. ලංකාවේ ඇතැම් පක්ෂ රටේ පොදු වස්තුව කොල්ලකෑමට, අයථා උපයා ගැනීම් කරගැනීමට යොදා ගන්නා දූෂිත ස්ථාන බවට පත්වී ඇත. ඇද දමා ඇති අරාජික තත්ත්වයෙන් ගොඩගැනීමට නම් රටේ දේශපාලනය ශක්තිමත් විය යුතු ය. රටේ පවත්නා අර්බුදය විසඳා ගැනීමට හැකි වන්නේ දේශපාලන මුහුණුවරකින් බව ද පැහැදිලි ය. එහිදී ආර්ථික සාධක විෂයෙහි අවධානය යොමු කළ යුතුය. රටේ ආර්ථික ස්ථාවරත්වය රඳා පවතින්නේ දේශපාලන ස්ථාවරත්වය මතය. ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි අපනයන ආදායම, සංචාරක ව්‍යාපාරය හරහා ලැබෙන ආදායම සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට එවන මුදල් බලපාන්නේය.

ලෝකයේ දියුණු ධනේෂ්වර රාජ්‍යය සිය ප්‍රාග්ධනය ආයෝජනය කිරීමේදී ශ්‍රම සූක්ෂම ක්ෂේත්‍ර කෙරෙහි දැඩි අවධානයක් යොමු කරයි. එහිදී සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට දැඩි අවාසිසහගත තත්ත්වයන්ට මුහුණදීමට සිදුවී ඇත. ආර්ථිකය විවෘත කර පමණින් ම අපේක්ෂිත අරමුණු සාර්ථක කරගත නොහැකි ය. ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් නිදහස් වුව ද ආර්ථික වශයෙන් හරි නිදහසක් ලබා නැත. මේ සඳහා විකල්ප සෙවීමේදී ලංකාවේ දේශපාලන නායකයන්ට මෙන්ම දේශපාලන පක්ෂවලට ද රට පිළිබඳව නිවැරදි දැක්මක් තිබිය යුතුය. විවිධ යෝජනා ඉදිරිපත් කළ පමණින් ජනතාව ඒ පීඩනයෙන් මිදෙන්නේ නැත.

පසුගිය වසර කිහිපය පුරා පැවැති දේශපාලන අස්ථාවරත්වය රටේ සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම බලපෑවේ ය. රටේ ආර්ථික වර්ධනය ශීඝ්‍රයෙන් පහළ ගියේ ය. රට ආර්ථිකය අර්බුදයකට ඇද දැමූ රාජ්‍ය ආර්ථික සේවය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමත්, මූල්‍ය ප්‍රතිපත්ති හා සම්බන්ධ ගැටලු පැන නැඟීමත් ප්‍රධාන වේ. පවත්නා රජයේ හෝ රාජ්‍ය යාන්ත්‍රණයේ විනිවිදභාවයක් තිබිය යුතුය. ශ්‍රී ලංකාවේ විශාල ආර්ථික පරිහානියක් පසුගිය කාලය තුළ දකින්නට ලැබුණු නිසා නිෂ්පාදන අංශ අඩාල විය.

අද වන විට ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික අපනයන භෝගවලට ලෝක වෙළෙඳ පොළේ ඉලක්ක මිලක් ලැබෙන්නේ නැත. ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් තේ, රබර්, පොල් වැනි සාම්ප්‍රදායික අපනයන භෝග නිෂ්පාදනය ඉහළ නැංවීමට, වී නිෂ්පාදනය ඉහළ දැමීම වැනි කරුණු කෙරෙහි පමණක් අවධානය යොමු කර ඇත. වී නිෂ්පාදනය පිළිබඳව සාකච්ඡා කිරීමේ දී මෙහි නිෂ්පාදන පිරිවැය කලාපයේ සෙසු රටවලට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතී. ඒ සඳහා විකල්පයන් අප විසින් සකසා ගත යුතු ය. දේශීය ආර්ථිකය ශක්තිමත් කරනතුරු මේ ප්‍රශ්නය විසඳීම අසීරු කාර්යයකි.

පක්ෂ දේශපාලනයට සහ පෞද්ගලික මට්ටමේ අරමුණු නොව මෙරට දේශපාලනඥයන්ට ජාතික මට්ටමේ අරමුණු තිබිය යුතු ය. මීට පෙර අවස්ථා ගණනාවකදීම විවිධ දේශපාලන නායකයින් රට සංවර්ධනය කිරීමට උත්සාහ ගත් අවස්ථා ද නැතුවාම නොවේ. නිදහසින් පසු බලයට පත්වූ සියලු ‍පාලකයන් විසින් වාණිජ හා සේවා පමණක් සපයන යටත්විජිත ධනවාදී අර්ථ ක්‍රමයක් අඛණ්ඩව පවත්වාගෙන ග‍ියේය. එමගින් ලංකාවට දේශපාලන නිදහස ලැබුණු නමුත් ආර්ථික නිදහස නම් ලැබුණේ නැත. ඇතැම් අවස්ථාවලදී පටු දේශපාලන අභිමතාර්ථ ඉස්මතු වීමත්, රට පිළිබඳ දේශපාලන නායකයන්ට නිවැරදි දැක්මක් නොතිබීමත් නිසා මේ අවස්ථා මගහැරී ගියේය. මෙහි අවසාන ප්‍රතිඵලය සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදයන්ට පෙනෙන තෙක් මානයක විසඳුම් නොමැති වීමයි.

රටේ පැවැති අර්බුදකාරී තත්ත්වය ප්‍රජාතාන්ත්‍රික ලෙස විසඳාගත් මොහොතක රටට විදේශීය විනිමය ගලාගෙන එන මාර්ග පැහැදිලි කරගත යුතුය. දේශපාලනික, සාමාජයීය හා ආර්ථික වශයෙන් වෙන්කර ගනිමින් ජාත්‍යන්තරය තුළ නම බැබළවීමට වගබලා ගත යුතුය. 2018 අය - වැයෙන් අපනයනය තුළින් ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක ආදායම රජයේ ඉලක්කය වී තිබේ. ධීවර, කෘෂිකර්ම, සුළු අපනයන භෝග හා කාබනික නිෂ්පාදනවලට ඉඩ ලබාදීම දැකගත හැකි වේ. නීලහරිත ආර්ථිකයක් ගොඩනගමින් ව්‍යවසායකත්වය වර්ධනය කරන හා අපනයන ආදායම ඉහළ නංවා ගැනීමට මැදි හා දිගුකාලීන ප්‍රතිපත්ති සහිත යෝජනා එහි පැවතීම විශේෂත්වයකි.

වත්මන් ආණ්ඩුව උසස් ආර්ථිකයක් බිහි කිරීම අරමුණු කරගෙන ඇත. අය වැය වෙනුවෙන් ඉදිරිපත් කළ නීලහරිත ආර්ථිකය කෙරෙහි පුළුල් අවධානයකට ලක්වී ඇත. ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය මෙන් විසිහය ගුණයක් පමණ විහිදී ඇති ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකා අයිතිය නිසි පරිදි මෙහෙයවීමට කටයුතු කිරීම දැකගත හැකිය. ව්‍යවසායකත්වය හා අපනයන දිරි ගැන්වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, තොරතුරු තාක්ෂණ අංශය කෙරෙහි අවධානය යොමු කිරීම, කෘෂි රක්ෂණය, වෘත්තීය පුහුණුව, ණය ආපසු ගෙවීම් කෙරෙහි අවධානය යොමු කරමින් ආර්ථිකය තවත් පියවරකින් ඉදිරියට ගෙන යාමට කටයුතු කිරීම පැහැදිලිය.

ජන අභිමතාර්ථ අනුව සමාජ ව්‍යූහය වෙනස් කරන කාර්යයක නිරත වන වත්මන් ආණ්ඩුව ක්‍රමානුකූල සැලැස්මකට යා යුතුය. මේ වනවිට ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් ගණනාවක් සමඟ වෙළෙඳ හා ආයෝජන ගිවිසුම් අත්සන් කර ඇත. මේ ගිවිසුම්වලින් අවස්ථා උදාකර ගැනීමට මෙරට ව්‍යවසායකයන් කටයුතු කළ යුතු ය. රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට මෙන්ම රජයේ වියදම් පාලනය කර ගැනීමට ද ක්‍රමෝපායන් භාවිතා කළ යුතුය. ජනතාවට වගකීමට බැඳී සිටින රාජ්‍ය තන්ත්‍රය ක්‍රියාත්මක කරන නිලධාරීන් ඵලදායි ආර්ථික අභිමතාර්ථ ළඟා කර ගැනීමට උපරිම වශයෙන් කැපවී කටයුතු කිරීමට වගබලා ගත යුතුය. මානව හිතවාදී දේශයක් ගොඩනගමින් රටේ දේශපාලන, ආර්ථික ප්‍රවර්ධනය සමෘද්ධිමත් කිරීමට පියවර ගනිමින් තිරසර සංවර්ධන අමාත්‍යාංශයක් ස්ථාපිත කිරීම පැසසිය යුතු කරුණකි. ආසියානු කලාපය තුළ එවැනි අමාත්‍යාංශයක් පිහිටුවූ පළමු රට වන‍්නේ ශ්‍රී ලංකාව වීම විශේෂත්වයකි. ගෝලීය අභිමතාර්ථ ළඟා කර ගනිමින් ආර්ථික, සමාජයීය හා පාරිසරික යන අංශ කෙරෙහි අවධානය යොමු කරමින් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සියලුදෙනාගේම වගකීමකි.

රජය ගන්නා ඇතැම් උත්සාහයන් අගය කළ යුතුය. ඒ අතර අමතර බදු ඉවත් කරමින් ආයෝජනයට සුදුසු පසුබිමක් නිර්මාණය කිරීමටත්, ඉදිරි වසර කිහිපය තුළ විදේශ ඉපැයීම වැඩි කිරීමේ අරමුණින් තොරතුරු තාක්ෂණ අංශය කෙරෙහිද වැඩි අවධානයක් යොමු කර ඇත. ඒ යටතේ සුළු හා මධ්‍ය පරිමාණ තොරතුරු තාක්ෂණයට පිවිසෙන්නට සහාය දැක්වීමට ද කටයුතු කිරීම පැසසිය යුතු ය. 1978දී හඳුන්වා දුන් ආර්ථික ලිහිල්කරණ ප්‍රතිපත්ති පිළිබඳව ද අප අමතක නොකළ යුතුය. ලෝක ආර්ථිකය සමඟ ඉදිරියට යාමට නම් විදේශීය සමාගම්, විදේශීය රටවල් සමඟ ආර්ථික සහ වෙළෙඳ සබඳතා ශක්තිමත් කරගත යුතුය. වත්මන් ආණ්ඩුව මහජනතාවගේ බලාපොරොත්තු ඉටුකරන, සාමකාමී ආණ්ඩුවක් වේවා යන්න ජනතාවගේ පැතුමයි.

පමුදිනි සමරනායක

නව අදහස දක්වන්න