පරිකල්පනය මුවහත් වෙන්නේ සතතාභ්‍යාසයෙන් | දිනමිණ


 

පරිකල්පනය මුවහත් වෙන්නේ සතතාභ්‍යාසයෙන්

කත්‍යානා අමරසිංහ

නිළි වැස්ස, වණ්ණදාසි වැනි නවකතා රචනා කළ කත්‍යානා අමරසිංහ ගේ නවතම කෘතිය, 'ධරණි' ය. මේ එම කෘතිය පිළිබඳ ඇය සමඟ කළ කතාබහකි.

‘ධරණි’ මනෝවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් ඉදිරිපත් කෙරෙන නවකතාවක්. එය ලිවීම ඔබට අභියෝගයක් වුණාද?

‘ධරණි’ නවකතාව දිග හැරෙන්නේ වරින් වර ෆැන්ටසිමය ලෝකයකට යමින් එමින් ජීවත් වන තරුණියක් වටායි. ඇය මනෝ ව්‍යාධියකින් පෙළෙන බව, සම්මත බටහිර විද්‍යාව තීරණය කරනවා. එහෙත්, නවකතාව පුරාම ඇය ප්‍රශ්න කරන්නේ යථා ලෝකය සහ මායා ලෝකය අතර බෙදුම් රේඛාව තිබෙන්නේ කොතැනද යන පිළිබඳයි. මේ චරිතය මම නවකතාවට ගේන්නෙ, සංකේතාත්මක අර්ථයකින්. කුඩා කාලයේ ඉඳන් මේ දක්වා මම දැකලා තියෙන, සමාජය වෙනස් කරන්න සිහින මවපු, ඒ සිහින මිය ගිය මිනිසුන්, ඇයගෙන් සංකේතවත් කරනවා. මා වටා සිටි යහපත් ප්‍රාර්ථනා සහිත මිනිසුන් බොහෝ දෙනෙක්, තමන්ගේ සිහින බිඳ වැටීම නිසා කම්පාවට, ඉච්ඡාභංගත්වයට පත් වෙන හැටි මම දැකලා තියෙනවා. මේ තත්ත්වය, දකුණෙදි වගේම, උතුරෙදිත් මම අත්විඳපු දෙයක්. මම හිතන්නේ ඒ කම්පාව පෙරළා මා කම්පනයට පත් කළා කියලයි. ඒ හරහා තමයි මේ නවකතාවෙ චරිත මැවෙන්නෙ. ඒ එක් එක් චරිතයක්, තවත් චරිත සමඟ ඇති කර ගන්නා සංකීර්ණ මනෝභාව හරහා මේ නවකතාව ගෙතුණා. සිහින දකින්නියගේ භූමිකාව ගොඩනැගීමේ දී, ඒක මනෝවිද්‍යාත්මක දාෂ්ටි කෝණයකින් ලියැවුණා. ඒ එකක්වත්, හිතා මතා කළ දේ නෙමෙයි. මේ වියමන විසින් ඉල්ලා සිටි නිසා, ඒ විදිහට ලියැවුණා වෙන්න පුළුවන්.

නවකතාව කියන්නේ පර්යේෂණයක්ද? පරිකල්පනයක්ද? පර්යේෂණයකින් තොරව නවකතාවක් ලිවිය හැකිද?

නවකතාකරුවෙක් කියන්නේ, එක්තරා අන්දමක සමාජ ගවේෂකයෙක්. වගකීම් සහගත නිර්මාණකරණයේ යෙදෙන හැම නවකතාකරුවකුම සමාජ පර්යේෂකයෙක්. නවකතාවක්, නිකම්ම ලියන්න බෑ. ඒ සමාජ ගවේෂණය, අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඊට අමතරව නවකතාවේ විශ්වසනීයත්වය ගොඩනැගීම සඳහා යම් යම් කාරණා ගැන විශේෂයෙන් හොයලා බලන්න වෙනවා වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට, ‘ධරණි’ නවකතාවෙ චරිත ගොඩනැංවීමේදි, මනෝ ව්‍යාධියක් විදිහට ෆැන්ටසිමය ලෝකයක සැරිසරන එක්තරා විශේෂිත මනෝ ව්‍යාධිමය තත්ත්වයක් ගැන මට බොහෝ තොරතුරු හොයන්න සිදු වුණා. තවමත් පර්යේෂණ මට්ටමේ තිබෙන ඒ මනෝ ව්‍යාධිමය තත්ත්වය පිළිබඳ පර්යේෂණ කරන විදෙස් පර්යේෂකයන් සමඟ සම්බන්ධ වෙමින් පවා විස්තර හෙව්වා. ඒ අතර දකුණේ සහ උතුරේ සමාජ දේශපාලන තත්ත්ව ගැන ලියැවුණු පතපොත සහ ලිපිලේඛන බොහොමයක්ම කියවන්න සිදු වුණා. විවිධ පුද්ගලයන් සමඟ සාකච්ඡා පවත්වමින්, ඇතැම් විස්තර එකතු කළා. ඒත් මේ ඔක්කොම මට, පසුබිම් තොරතුරු පමණයි. ඉන් පස්සෙ මම ඒ අත්දැකීම් ලබා ගැනීමේ දී, මට ලැබුණු කම්පාව, සහකම්පනය ඇසුරෙන් ප්‍රබන්ධ නවකතාවක් ගොඩනැගුවා. එයට උදවු වුණේ, මගේ පරිකල්පනයයි. මමත් එක්තරා ෆැන්ටසියක ජීවත් වෙමින් තමයි මේ නවකතාව ගොතන්නෙ. මම නවකතාකරණයට තවම ආධුනිකයෙක්. ඒත්, මට තේරෙන හැටියට නවකතාවක් කියන්නෙ හැබෑ ජීවිතයේ අහන දකින දේ, ඒ විදිහටම වාර්තා කිරීම නෙමෙයි. සැබෑ චරිත, නම් ගම් වෙනස් කරලා, නවකතාවට ඔබ්බන එකත් නෙමෙයි. නවකතාකරණයේ දී මා නිතර උනන්දු කරපු, ඒ වගේම මම, තරුණ අවධියේ සිටම කියවපු ප්‍රවීණ ලේඛිකාවන් දෙපළක් වන සුමිත්‍රා රාහුබද්ධ සහ සුනේත්‍රා රාජකරුණානායකගෙනුත්, ජීවන අත්දැකීම් ඇසුරෙන් පරිකල්පනය හරහා නවකතාවක් ගොඩනගන්නෙ කොහොමද කියන එක ගැන වරින් වර උපදෙස් අරන් තියෙනවා. තවම මට ඔවුන්ට ළං වෙන්නවත් බැරි වුණාට, මම නිර්මාණකරණය ඇතුළෙ ඒ පරිකල්පනය හැසිරවීම කියන එක අත්හදා බලමින් සිටිනවා. මම තවමත්, ප්‍රබන්ධ නවකතාකරණය ගවේෂණය කරමින් සිටිනවා.

සමීප අත්දැකීම් සහ සරල භාෂාව, පාඨකයාට යම්කිසි කෘතියක් සමීප කිරීමට හේතු වෙනවා කියලා ඔබ විශ්වාස කරනවද?

මේ කාරණා දෙකම වෙන් වෙන්වයි විග්‍රහ කරන්න වෙන්නෙ. සමීප අත්දැකීම් තියෙන තරමට නවකතාව ගොඩනැංවීම පහසුයි. හැබැයි, කෘතියට අවංකව එය කළ යුතුයි. නවකතාකරුවා ලියන සමහර දේ, පාඨකයන්ගේ හිතට සමීප වෙන්න, මේ කියන සමීප අත්දැකීම්, කෘතියට අවංක වෙමින් ලිවීම බලපානවා විය හැකියි. සරල භාෂාව කියන එක හැම කෘතියටම එක වගේ අදාළ වෙන්නෙ නෑ. මගේ අත්දැකීමේ හැටියට, කෘතියෙන් කෘතියට භාෂා විලාශ වෙනස්. සිත්ගන්නා සුළු, සුගම, අවුල් වියවුල් නැති භාෂා විලාශයක් පාඨකයාට සමීප වෙනවා. කෘතියක්, කිහිප වතාවක් ම සංස්කරණය කිරීම හරහා, භාෂාව පොහොසත් වන බව මම අත්දැකීමෙන් ම දන්නවා. මම නිර්මාණශීලී ලේඛනය ඉගෙන ගත්තේ, පුවත්පත්වල විශේෂාංග ලිපි ලිවීමෙනුයි. මගේ ජ්‍යෙෂ්ඨයන් මට කිව්වෙ, කිහිප වතාවක් සංස්කරණය කරමින්, නැවත නැවත ලිවීමෙන්, නිරවුල්, සිත් ගන්නා විශේෂාංග ලිපියක් ලියන්න පුළුවන් බවයි. නිර්මාණශීලී ලේඛනය කියන්නේ, ලියන ලේඛකයට විතරක් තේරෙන අපබ්‍රංශ ලිපි නෙමෙයි කියන එකත් මං ඉගෙන ගත්තේ, පුවත්පත් කලාවෙන්. ඒ කාරණා නවකතාකරණයටත් අදාළයි.

අත්දැකීම් සහ පරිකල්පනය නවකතාවකට ගෙන එනකොට, ඔබ මුහුණ දුන්නෙ මොන වගේ අභියෝගවලටද?

මම මුලින් කිව්ව විදිහට, අත්දැකීම් කියන ඒවා ඒ ආකාරයෙන්ම නිර්මාණකරණයට ඔබ්බවන්න බෑ. මං තේරුම් අරන් තියෙන හැටියට, අත්දැකීම් ඒ විදිහට ම නවකතාවක් තුළට ගොනු කරන එක නෙමෙයි ප්‍රබන්ධකරණය තියන්නෙ. මාවම ගත්තොත්, මම අත්දැකීම් හරහා ගන්නේ, කෘතිය විශ්වසනීයව ගොඩනගන්න අවශ්‍ය කරන පසුබිම් තොරතුරු සහ ඒ අත්දැකීම්වලින් මට ලැබුණු කම්පාව විතරයි. ඒ කම්පනය හරහා තමයි මගේ පරිකල්පනය ක්‍රියාත්මක වෙන්නෙ. ඒ කම්පාව කළමනාකරණය කර ගනිමින් නවකතාව ගොඩනැංවීම, මට දැනිලා තියෙන ලොකු ම අභියෝගයයි. උදාහරණයක් විදිහට, සමහර අත්දැකීම් නිසා, අපි අතිශයින් හැඟීම්බර වෙන්න පුළුවන්. ඒත් ඒ හැඟීම්බර බව කළමනාකරණය කර ගත්තෙ නැත්නම්, අපට ඇතැම් චරිත සමබරව ගොඩනගන්න බැරි වෙනවා. 'ධරණි' නවකතාව ඇතුළෙදි මම ඒ අභියෝගයට විශේෂයෙන් මුහුණ දුන්නා කියන්න පුළුවන්. නවකතාව ප්‍රකාශයට පත් වෙන්න කලින්, ඒක කියවපු මිතුරෙක්, එහි එක් තැනක් ඉතා ම තදින් තමන්ට දැනුණු බව මට කිව්වා. ඒ වගේම, නවකතාව ප්‍රකාශයට පත් වුණාට පස්සේ, ඒක කියවපු දෙතුන් දෙනෙක්ම මට කිව්වේ, තමන්ට විශේෂයෙන් දැනුණු තැන් තිබුණු බවයි. නැවත සිතා බලද් දී, මම ඒ හැම එකක්ම ලියා තිබෙන්නේ, අත්දැකීම් හරහා ලැබුණු මගේ හැඟීම්, අතිශයින් ම පාලනය කර ගනිමිනුයි. මං හිතන්නෙ, පරිකල්පනයේ දී ඒ කළමනාකරණය අභ්‍යාසයක් බවට පත් වෙනවා. ඒක මුවහත් කර ගන්න ලැබෙන්නෙ, දිගින් දිගටම නිර්මාණකරණයේ යෙදීමෙනුයි.

ඔබේ මීට කලින් පළ කළ 'නිලි වැස්ස' සහ 'වණ්ණදාසි' නවකතා දෙකත්, මේ නවකතාවත් එකිනෙකට වෙනස් රීතීන්ගෙන් ලියැවුණු බවක් තමයි පෙනෙන්නෙ. නවකතාකරුවා කෘතියෙන් කෘතියට වෙනස් අත්හදා බැලීම්වලට යා යුතු බව ඔබ විශ්වාස කරනවද?

ඒ ගැන කියන්න තරම් මං හිතන්නෙ නවකතාකරණයේ අත්දැකීම් මට තවම නෑ. ඒත් මගේ පළමු නවකතා දෙක ම, එකිනෙකට වෙනස් ආකෘතිවලින් ලියැවුණු ඒවා. තුන්වැන්න වන 'ධරණී' ඒ දෙකටම වඩා වෙනස් විදිහට ලියැවුණා. මං හිතන්නෙ, මා නොදැනුවත්වම කෘතිය විසින් ඉල්ලා සිටින ආකෘති සහ රීතිවලට යටත් වුණා. වෙනස් අත්හදා බැලීම් හරහා, ලේඛකයන් නිර්මාණකරණයේ දී පෝෂණය වෙනවා කියලා මං විශ්වාස කරනවා.

ඔබේ නවකතාව ඇතුළෙ ප්‍රධාන කතාවට අමතරව, තවත් අතුරු කතා රැසක් තිබෙනවා. ඔබ ඕනෑකමින් එය පාඨකයන්ට වුවමනා විදිහට හිතා ගන්න ඉතිරි කළ බවක් පේන්නෙ. ඒක ඔබ හිතා මතා කළ දෙයක්ද?

සමහර විට ඔව්. මේ නවකතාව ගෙතෙන්නේ, ප්‍රධාන චරිතය සහ ඒ චරිතය හා සම්බන්ධ වන තවත් චරිත කිහිපයක් හරහා කතාව ගලා යන විදිහටයි. මම හැම චරිතයක්ම එක්තරා ප්‍රමාණයකට ගොඩනංවනවා. ඉන් පසුව එය, පාඨකයන්ට හිතන්න ඉතිරි කර නවත්වනවා. මම විශේෂයෙන් වර්ධනය කළේ, එක් චරිතයක් විතරයි. ඒ, රාජිනීගේ චරිතය. රාජිනීගේ චරිතයත්, මෙහි කතා නායිකාව වන දුලන්‍යාගේ චරිතයත් අතර ඇතිවන සංකීර්ණ මනෝමය සබඳතාව ගොඩනංවන්නට, නවකතාවෙන් වැඩි කොටසක් වැය වෙනවා. ඒ හරහා තමයි ඉතිරි අතුරු කතා එන්නෙ. විශේෂයෙන් ම මෙහි ත්‍රිකෝණ ප්‍රේම කතා කිහිපයක් දිග හැරෙනවා. එහි දී, මනුෂ්‍ය සිතුවිලිවල සංකීර්ණතා විග්‍රහ කිරීමට මිසක්, කතාන්දර ගෙතීමට මට අවශ්‍ය වුණේ නෑ. හැබැයි ඒ සියල්ලම එකට ගත්තහම, පාඨකයාට කතා රසයක් ගෙන දෙන විදිහට නිර්මාණය හැසිරවීමට, පුළුවන් තරම් උත්සාහ ගත්තා. ඒ‍ දේ සාර්ථකද? නැද්ද? කියන එක, පාඨකයා තමයි තීරණය කරන්න ඕනෙ.

බොහෝ පිරිසක් පොත් කියවන බව, සමාජ ජාලා මාධ්‍ය මඟින් පවා පෙනෙනවා. සමාජයේ සාහිත්‍යමය රසවින්දනය දියුණු වෙලාද?

ඒක හරියට කියන්න අමාරුයි. පොත් පත් කියවීම කියන්නෙ, නිකං උඩින් කියවගෙන යන එක නෙමෙයි. විය යුත්තේ, තමන් කියවන කෘතිය රසාස්වාදනය කරමින්, එය බුද්ධිමය කතිකාවකට ලක් කිරීමයි. බොහෝ ප්‍රමාණවලින් පොත් මිල දී ගත්තට, පොත් කියවනවා කියලා කිව්වට, ඒ පොත්වලින් උකහා ගන්නෙ මොනවද කියලා දන්නෙ නැත්නම්, ඒක ප්‍රශ්නයක්. සමහර වෙලාවට පොත් පත් කියවනවා කියලා කියන අය, යම් යම් සමාජ කාරණා කෙරෙහි පළ කරන පසුගාමී, නොගැඹුරු අදහස් දිහා බලනකොට, ඇත්තටම ඔවුන් පොත් කියවනවද කියලත් සැකයක් ඇති වෙනවා. මගේ අදහසේ හැටියට නම්, පොත් කියැවීම හරහා, චින්තන පරාසයේ පුළුල් වීමක් විය යුතුයි. ඒක එහෙම නොවෙනවා නම්, ප්‍රමාණාත්මකව පොත් කියවන අය වැඩි වුණා කියලා, සමාජයට වෙන යහපතක් නෑ. ඒත් මම අලූත් පරම්පරාව ගැන අගතිගාමී විදිහට හිතන්න කැමැති නෑ. බරපතළ සහ වගකීම්සහගත විදිහට පොත් කියවන තරුණ තරුණියන්, සමාජ මාධ්‍ය හරහාත්, ඉන් පිටතදිත් මට හමුවෙලා තියෙනවා. ඔවුන් සමඟ යම් සංවාදවල යෙදිලා තියෙනවා. ඔවුන් සමහර දෙනා, සමාජ මාධ්‍යවල නිතර ගැවසෙන අය නෙමෙයි. සමාජ මාධ්‍යවල දී හමු නොවන, නිහඬ, දැවැන්ත පාඨක පිරිසකුත් අපට ඉන්න බව අමතක කරන්න හොඳ නෑ.

සංවාදය ක්‍රිසන්ති විතාරණ

නව අදහස දක්වන්න