වතු කම්කරු ප්‍රශ්නය හොඳින් ම කතා කරන Refuge | දිනමිණ


 

වතු කම්කරු ප්‍රශ්නය හොඳින් ම කතා කරන Refuge

බොබී.ජී.බොතේජු

නවකතා, කෙටිකතා රැසක පරිවර්තකයකු වන බොබී ජී. බොතේජු, මෑතකදී කියවූ වඩාත් සිත්ගත් කෘතිය පිළිබඳ අදහස් දක්වන්නේ මෙසේ ය.

ඔබ මෑතකදී කියවූ කෘතිය මොකක්ද?

පොතේ නම Refuge. කතුවරයා ගෝපාල් ගාන්ධි. එතුමා අපේ රටේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු සහකාර මහ කොමසාරිස්වරයා. එකල සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම යටතේ ඉන්දියානු වතු කම්කරුවන් පිරිසකට නැවතත් ඉන්දියාවට යන්න සිදු වුණා. ඒ අයගෙන් කොටසක් මෙහි ඉතිරි වුණා. මේ කෘතිය තුළ කතා කර තිබෙන්නේ, මේ වතු කම්කරුවන් පිළිබඳ ප්‍රශ්නයයි. මම මේ පොත සිංහලටත් පරිවර්තනය කර අවසන්.

කෘතියෙහි ඔබ දකින විශේෂත්වය?

මේ කෘතියෙන් කතා කරන්නේ, අපේ රටේ ප්‍රශ්නයක් ගැනනෙ. ඉන්දියානු ජාතිකයකුගේ, නැතිනම් විදේශිකයකුගේ ඇසින් අපේ රටේ ප්‍රශ්නයක් දැකලා, ඒ පිළිබඳයි ලියලා තියෙන්නේ. අපේ රටේ ප්‍රශ්න ගැන, අපේ රටේ මිනිස්සු කවුරුත් කතා කරන්නෙ නෑනෙ. හැබැයි විදේශිකයෙක් මේ ගැන, අහක ඉඳලා ලියනවා. කතුවරයා මහනුවර සිටිද්දි, හැමදාම උදේට දළදා මාලිගාවට යන බෞද්ධයො මුණ ගැසෙනවාලු. ඒ වගේ ම, තමන්ගේ ප්‍රශ්න අරගෙන, වතු කම්කරුවො බොහෝ දෙනෙක් මෙතුමා ළඟට පැමිණෙනවලු . මේ මිනිසුන්ගේ ප්‍රශ්න, ජීවිත දිහා බැලුවහම, මේ මහා ඛේදවාචකයක් නේද කියලා කතුවරයාට හිතිලා තියෙනවා. පොත්වලට ගන්න ඕනෙ, මේ වගේ ප්‍රශ්න. ඒත්, ශ්‍රී ලාංකිකයො එහෙම කරන්නෙ නෑ. මට මේ පොතේ තිබෙන විශේෂත්වය වුණෙත් ඒකම තමයි.

රොබට් නොක්ස් ලියූ, පොත ගැන අදටත් කතා කරනවා. ඒවා විදේශිකයන්ගෙ නිරීක්ෂණ. මට තියෙන ප්‍රශ්නය, අපේ රටේ මිනිසුන්ට ඒවා නිරීක්ෂණය වෙන්නෙ නැද්ද කියන එකයි. නිරීක්ෂණය වුණත්, තේරුම් ගන්න තියෙන නොහැකියාවද කියලත් හිතෙනවා.

වතුකරය ගැන හොඳ පොත්, නවකතා ලියැවිලාම නෑ. තවමත් අපි කේ. ජයතිලකයන්ගෙන්, සේකරයන්ගෙන් ඔබ්බට ගිහින් නෑ. සෑම වසරකම සම්මාන දිනූ පොත් තියෙනවා. ඒත් ඒ වසරෙන් පසුව ඒවා ගැන කවුද කතා කරන්නෙ?හොඳ පොතක් නම් දිගටම කතා කරනවා. මහජනතාව අතර පවතිනවා.

හොඳ පොතක් කාලීන වැදගත්කමකින් යුක්ත විය යුතුයි. මට පෙනෙනආකාරයට, අද එවැනි නිර්මාණවල විශාල දරිද්‍රතාවක් තියෙනවා. පාඨකයාට ඒ පොතෙන් ගන්න යමක් නැතිනම්, ඒ පොතෙන් ඇති පලක් නෑ. පාඨකයාගේ මනසට යමක් දිය යුතුයි. මේ කෘතිය හරහා ඒ කාර්ය නිතැතින් ඉටු වෙනවා.

ඔබ මේ කෘතියට කැමැති ඇයි?

මේ වතු කම්කරුවන්ගෙ ප්‍රශ්නය එදා පටන්ම අදටත් තියෙනවානෙ. මේ දේ මොන තරම් බරපතළ ප්‍රශ්නයක්ද කියලා, ඒ මඟින් අපට හිතාගන්න පුළුවන්. එවැනි සර්වකාලීන වැදගත්කමකින් යුත් මාතෘකා තමයි පොත්වලට වස්තු බීජය විය යුත්තේ. මේ කෘතිය මම බොහොම කැමැත්තෙන් කියවන්න හේතු වුණෙත් එයයි. මේ කෘතිය, කාලීන වැදගත්කමක් සහිත එකක්. ඒක සර්වකාලීන වෙන්නෙ, මේ ප්‍රශ්නය ගැන ගැඹුරින් කතා කළ වෙනත් පොතක් නොමැති නිසයි.

ඒ වගේම මෙහි, සමාජ විද්‍යාත්මක වටිනාකමක් තියෙනවා. ඒ කාලයේ තිබුණු වතු සමාජය පිළිබඳ අපේ රටේ අනෙක් පළාත්වල මිනිසුන්ට අවබෝධයක් නෑනෙ. ඔවුන් වත්තටම සීමා වෙලා. ඔවුන්ගේ ලෝකය වත්ත . රාජ්‍ය නොවන සංවිධානත් මේ වත්තට සම්බන්ධ වෙනවා. ඔවුන් බලන්නෙත් පුළුවන් තරම් වාසි ලබාගන්නයි. මේ පොත තුළ රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකලාපය කතාබහ කරනවා. මේ කෘතියට මම කැමැති, මේ වගේ හේතු කාරණා බොහොමයක් ම නිසයි.

පොතෙහි දකින වැදගත්කම?

වතු කම්කරුවන් මුහුණ දෙන ගැටලු, වතු හිමියන් ගත කරන සුඛෝපභෝගී ජීවිත වැනි කරුණු, මෙයට ඇතුළත්. මා දන්නා තරමට, මෙතුවක් කලක් මේ ක්ෂේත්‍රය පිළිබඳ පොත් පත් ලියැවිලා තියෙන්නෙ ඉතාමත් සුළු ප්‍රමාණයක්. වතු කම්කරු ප්‍රශ්නය පිළිබඳ ගැඹුරින් කතා කරන ලද පොත, මේ කෘතියයි.කතුවරයා මේ ගැටලුව හොඳින් අධ්‍යයනය කරලා, තමන්ගේ අත්දැකීම්වලින් තමයි ලියලා තියෙන්නෙ.

'මෙය වාර්තාවත් නොවේ, මට අවශ්‍ය මේක නිර්මාණාත්මක ලියවිල්ලක් ලෙස ඉදිරිපත් කරන්න' කියලා ඔහු කියනවා. ඒ අනුවයි ඔහු ලියන්නෙ. මං අපේ රටේ පරිවර්තනය කරන පොත් යම් ප්‍රමාණයකට කියවලා තිබෙනවා. මට තිබෙන ප්‍රශ්නය, අපේ අයට පරිවර්තනය කරන්න හොඳ පොත් ලැබෙන්නේ නැද්ද කියන එකයි. හොඳ පොත් තිබුණත්, ඇතැම් විට ඒවායේ පිටු 15ක්, 20ක් කියවාගෙන යද්දි, කියැවීම එපා වෙනවා. ඒකට හේතුව, ඔවුන් ඒවා පරිවර්තනය කර තිබෙන්නේ, ශබ්ද කෝෂයක් බලාගෙන, ඉංග්‍රීසි වචනයට අදාළ සිංහල වචනය එහෙම්මම ලියලා මිසක්, නිවැරැදිව වාක්‍යයක් ගළපන්නේ නැතිවයි. පරිවර්තනය කාර්යයට, නිරන්තර අභ්‍යාස අවශ්‍යයි.

ඔබ මේ කෘතියෙහි වඩාත් සිත්ගත් අවස්ථාව මොකක්ද?

මෙහි වෛද්‍යවරයෙක්ගේ චරිතයක් තිබෙනවා. මේ වෛද්‍යවරයා අවංකව ම රෝගීන්ට ප්‍රතිකාර කරන්න කැප වුණා. මේ කාලයේ වතුකරයේ කොළරා වසංගතයක් පැතිර ගියා. වෛද්‍යවරයා මහත් කැපවීමෙන් අරගල කරලා, උපදෙස් දීලා, මිනිසුන් ගෙන්වලා, ප්‍රතිකාර ලබා දීලා ඒක මර්දනය කරන්න උත්සාහ කළා. ඒ අතරේ ඇතුළෙ වැඩ කරන ලිපිකරුවෙක්, අර අහිංසක රෝගීන්ගෙන් පගාව ගත්තා. මේ දේ වෛද්‍යවරයාට හසු වුණාම, ඔහු අර ලිපිකරුවට ගහනවා. රණ්ඩු කරනවා.

ඒත් අවසානයේ වෙන්නේ, මේ වෛද්‍යවරයාට බරපතළ විදිහට ගැටලු ඇති වීමයි. වතු හිමියෙක් තවත් අය සමඟ පැමිණ වෛද්‍යවරයාට තර්ජනය කරනවා. තවත් අවස්ථාවක වෛද්‍යවරයාට එක්තරා බෙහෙත් වට්ටෝරුවක් හදන්න බ්‍රැන්ඩි අවශ්‍ය වෙනවා. මේ වෛද්‍යවරයා ළඟ සිටින කෙනකුට කියලා ඔහු, බ්‍රැන්ඩි බෝතල් 4ක් ගෙන්වා ගන්නවා. ඒත් පසුව, වෛද්‍යවරයා පගාව ගත්තා කියා වතු හිමියන් බොරු චෝදනා ඉදිරිපත් කරනවා. අවසානයේ වෛද්‍යවරයා මාරු කර යවනවා. මේ වගේ දේ අදටත් සිදු වෙනවා. අවංකව සේවය කරන බහුතරයකට, අවසානයේ ලැබෙන පිළිතුර නැතිනම් ප්‍රතිඵලය මෙයයි.

කෘතියෙහි තිබෙන සාහිත්‍යමය වශයෙන් වැදගත්කම කොයි වගේද?

මෙය ඉතාමත් නිර්මාණාත්මක කෘතියක් වශයෙන් වැදගත්. වාර්තාවක් විදිහට නෙමෙයි, නිර්මාණාත්මක නවකතාවක් විදිහටයි මෙය ලියලා තිබෙන්නෙ. ඊටත් වඩා, රමණීය ඉංග්‍රීසි බස් වහරක් භාවිත කර තිබීම, මෙහි තිබෙන වැදගත්ම ලක්ෂණයක්. සාමාන්‍යයෙන් අපේ රටේ පරිවර්තකයො වැඩි දෙනෙක් සරල ඉංග්‍රීසි භාෂාවනෙ භාවිත කරන්නෙ. ඒත්, මේ පොතේ ඉතාමත් ගාම්භීර ආකාරයට තමයි ඉංග්‍රීසි භාෂාව යොදාගෙන තිබෙන්නෙ. කතුවරයා ඔක්ස්ෆර්ඩ් සරසවියෙ උපාධිධාරියෙක්. ඔහුගෙ භාෂා ශෛලිය පිළිබඳ, අපට හිතාගන්න පුළුවන්නෙ. මේ කෘතිය සිංහලට පරිවර්තනය කිරීම, මට හරි ම දුෂ්කර කාර්යයක් වුණා. ඒකට හේතුව, ඒ වාක්‍යවල තිබෙන ස්වභාවය, ඒ විදිහටම ගන්න ඕන නිසයි. පළපුරුද්දක් නැති කෙතකුට, ඒ කතාවේ ස්වභාවය ම කතාවට ගන්න බෑ.

මේ කෘතිය පාඨකයන්ට වැදගත් වෙන්නේ කොහොමද?

පාඨකයන්ට කියවන්න හොඳ පොත් නැති එකනෙ අද ප්‍රශ්නෙ. අද බිහිවන බොළඳ, මල් පොත්වලට වඩා, මෙවැනි පොතක් ඉතාමත් ම වටිනවා.

යශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න