රවි, බුධ, ශනි සංයෝගයේ බලපෑම | දිනමිණ

රවි, බුධ, ශනි සංයෝගයේ බලපෑම

2019 ජනවාරි 21 වෙනි සඳු දින බුධ ශනි හිමි මකර රාශි ගතවීමත් සමඟ සම ග්‍රහ බලයෙන් යුතුව තැන්පත් වෙමින් 2019 පෙබරවාරි 26 වෙනි දිනතෙක් එම රාශියේ ගෝචර ගමනින් ගමන් කරයි. එවිට 2019-02-14 තෙක් බුධ මකර රාශියේ සිටින්නේ රවි සමඟය. රවි සමඟ එකතු වන බුධ, බුධආදිත්‍ය යෝගය සාදයි. බුධ යනු ග්‍රහ ලොව සුරතලාය. ශනි යනු වයස්ගත මහල්ලායි. රවි යනු ග්‍රහ ලොව රජතුමාය. මේ තිදෙනාගේම සංයෝගය එකට එකතු වූ කල ගති තුනකි. තිදෙනා ගමන් කරන්නේ මාර්ග තුනකය.

මේ තත්ත්වය ලග්න 12න්ම උපන්නන්ට බලපාන අයුරු වෙන වෙනම ගෙන බැලීමේදී මෙසේ පෙන්වා දිය හැකිය.

මේෂ ලග්න හිමියන්ගේ මෙම පිහිටීම 10වැන්නේ ගෝචරවී ඇත. එහිදී මකරයට රවි සතුරු වුවද බුධ සමග එක්වීම නිසා තරමකින් හෝ වෙනදාට වඩා හිස ඔසවා ගෙන රැකියා කටයුතුවල නිරත විය හැක. එහෙත් රැකියාව ආශ්‍රිතව සතුරු කරදර එල්ල විය හැක. ගමනාගමන පහසුකම් දුෂ්කර වේ. මේ නිසා යාන වාහන ඇති මේෂ ලග්න හිමියන් පවා තම වාහන ප්‍රවේශම් කර ගනිමින් ඉවසීමෙන් රිය පදවන්න. විවේකය අඩුවේ. ක්ෂණික කෝපය පාලනය කර ගැනීමට උත්සාහ නොගතහොත් ගැටලු දුර දිග යාමට ඉඩ ඇත.

වෘෂභ ලග්න හිමියන්ගේ පුණ්‍යස්ථානය වූ 09 වැන්නට මෙම යෝගය ගෝචර වීම නිසා ඔබට අන් අයට වඩා තරමක ගැලවීමක් ඇත. එහෙත් 08 වැන්නේ වන ශනි අෂ්ඨම ඒරාෂ්ඨකයද නිසා ඔබ ගතකරන්නේ අපල කාලයක් බව මතක තබා ගත යුතුය. කෙසේ වෙතත් රාජ්‍ය අංශයේ කටයුතු කරන අයට නොසිතූ පෙර පිනක් මතු වන කාල පරිච්ඡේදයකි. ඉල්ලීම් දිනා ගැනීමට තනතුරු ලබා ගැනීමට ඉල්ලුම් කිරීමට සුබදායකය.

මිථුන ලග්න හිමියන්ට බුධ යනු තම ලග්නාධිපතිය. ලග්නාධිපති සතුරුවූ රවි සමග පාපස්ථානය හා මාරකස්ථානය ගතවීම නිසා එය එතරම් යහපත් පිහිටීමක් නොවනු ඇත. මේ නිසා ඔබ ඉතාම ප්‍රවේශම් විය යුතුය. සොර සතුරු කරදර අලාභහානි ඇතිවිය හැක. එමෙන්ම හදිසි අනතුරුවලට ලක්වීමට සිදුවියහැකි නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන්න. හදිසියට කලබලයට වැඩ නොකළ යුතුය. මුදල්, රන් භාණ්ඩ ප්‍රවේශම් කර ගැනීම යෝග්‍ය වේ.

කටක ලග්න හිමියන්ගේ 07 වෙනි රාශියේ බුධ ගමන් කිරීම නිසා 03 හා 12 අධිපති 07 හි ගෝචර ගමන් ඇරඹීම නිසා ඔබට බුධ 06හි සිටියාට වඩා යම් තරමකින් යහපත් වේ. නමුත් බාලයන් සමග කරන හවුල් කටයුතුවලදී දුරදිග සිතා බලා නොවරදිනා තීරණ ගත යුතුවේ. රවිද එහි සතුරු වීම නිසා හවුල් කටයුතු හා හවුල් කරුවන් සමඟ ගනුදෙනු කිරීමේදී තමාගේ වචන ප්‍රවේශම් කර ගැනීම වැදගත්ය.

සිංහ ලග්න හිමියන්ගේ 06 වැන්නේ තම ලග්නාධිපති සමග සංයෝග වූ බුධගේ පිහිටීම නිසා ඔබටද එතරම්ම සුබ නොවන කාල සීමාවකි. ඉගෙන ගන්නා ළමුන්ට බොහෝ කරදර බාධක ඇතිවන ශාරීරික මෙන්ම මානසික පීඩා ඇතිවන දින කීපයකි. වැටීම්, තුවාලවීම් වැනි හදිසි අනතුරුවලටත් සතුරු කරදර වලටත් ලක්වීමට සිදුවේ. ක්ෂණික කෝප වීම් නිසා ගැටීම් දුරදිග ගොස් නීතිමය කරදරවලට පවා ලක්වීමට සිදුවිය හැක. හොඳින් හෝ නරකින් ප්‍රසිද්ධියටද පත්වීමට ඉඩ ඇත.

කන්‍යා ලග්න හිමියන්ගේ බුධ ග්‍රහයා ලග්නාධිපති වන අතර එම බුධ 05 වැන්නේ ත්‍රිකෝණගත බලයෙන් යුතුව තැන්පත් වෙමින් ලග්නයට දෘෂ්ටි වැටීම නිසා එහි සිටින රවි සමග සංයෝග වෙමින් බුධ ආදිත්‍ය යෝගයද යෙදී තිබීම නිසා ඔබට එතරම්ම අපල දායක නොවේ. පසුගිය දින කීපයේ පැවැති බොහෝ කරදර බාධක සමථයකට පත්වෙමින් හිතට යම්කිසි සහනදායක කාල පරිච්ඡේදයක් දක්නට ලැබේ.

තුලා ලග්නය හිමියන්ගේ 04 වැන්නේ බුධ තැන්පත් වන අතර තරමක සහනදායක පිළිතුරු ලැබුණ ද රවි සතුරුව හෘදස්ථානයේ තැන්පත්වීම නිසා හිත රිදෙන සිදුවීම්වලට ලක්වීමට සිදුවේ. කෙතරම් අනුන්ට හොඳක් කළද හොඳ අසන්නට නොලැබේ. මේ නිසාම බොහෝ අයගෙන් ඈත්ව සිටීමට ඔබම තීරණය කර පසෙකට වී සිටී. රටේ ප්‍රධානීන්ට පවා මේ තත්ත්වයට මුහුණ දීමට සිදුවේ. තුලා ලග්න හිමියන් කීප දෙනෙකුට හෝ පදිංචිය මාරු කිරීමට සිදුවේ.

වෘශ්චික ලග්නයේ 03 වන රාශියේ ලැගුම් ගන්නා බුධ එහි සිටින රවි සමඟ සංයෝගවෙමින් ඔබට අන් අය අතර කැපී පෙනීමක් ලබා ගැනීමට හැකියාව ගෙන දෙන අතර වෙනදාට වඩා රට ජාතිය ආගම පිළිබඳ සිතා කටයුතු කරයි. ඉගෙන ගන්නා අයට වරදක් නැත. නැවුම් දේ ඉගෙනීමේ හැකියාව ලැබේ. එමෙන්ම සහජ කුසතා දියුණු කර ගැනීමට හැකිවන දින කීපයකි. ලේඛණ ක්ෂේත්‍රයේ අයට සුබය.

ධනු ලග්නයේ 02 වැන්නේ තැන්පත් වන බුධ එහි සිටින රවි සමග සංයෝගවෙමින් කතා බහේ දක්ෂයකු මෙන්ම දිනන්නෙකු කරයි. ඔබ කෙසේවෙතත් අන් අයට යටත් නොවී ඔබේ මතය ජයග්‍රහණය කර ගැනීමට උත්සාහ දැරීම නිසා මේ දිනවල එම තත්ත්වය වඩාත් යහපත් වෙයි. නීති අංශවල අයට ජය ලැබේ. දේශකයන්ටද සුබදායක වේ.

මකර ලග්නය හිමියකු වන ඔබට පමණක්ම ලග්නයේ තැන්පත්වන බුධ මෙසේ ලග්නගත වීමෙන් 15වෙනිදින ලග්නයේ සතුරු වූ රවිට නව ශක්තියක් ලැබෙන බව පෙනේ. මේ නිසා එකවරම ඔබට පැමිණි පීඩාවකට විසඳුමද ලැබෙන බවක් පෙනේ. තවද ඔබගේ රැකියා, ව්‍යාපාර, අධ්‍යාපන මෙන්ම විවාහ කටයුතුද දියුනුවට පත්වන කාල වකවානුවකි. ලැබෙන්නට තිබී නොලැබුනු බොහෝ දේ නැවත ලබා ගැනීමට හැකිය. කැපී පෙනීම ප්‍රසිද්ධියට ද යහපත්ය.

කුම්භ ලග්න හිමි ලංකා කේන්ද්‍රයට මෙන්ම ඔබටද 12 වැන්න ගතවන බුධගෙන් ඔබට ඇති ප්‍රයෝජන තරමක් දුරට හීනවී යයි. ඉගෙන ගන්නා අයට බාධක වෙයි. සුළු හෝ සතුරු කරදර රෝග පීඩාවලට ලක්වීමට ඉඩ තිබේ. ස්නායු ආබාධ ඇති අය එම රෝග උත්සන්න වීමට ඉඩ ඇති නිසා නිසි ප්‍රතිකාර ලබා ගැනීම නුවණට හුරුය. එමෙන්ම ගති දෙකක ස්වභාවයක් පෙන්වන මෙම දින කීපය තුළ ඔබ විටෙක කාරුණිකද තවත් විටෙක සැරපරුෂ ද විය හැක.

මීන ලග්නය හිමි 10 සිටි බුධ ඔබේ හඳහනේ 11 වැන්නට ගමන් කරයි. රවි මාරුවෙන් 15 වෙනිදා සිට වැඩිම සුබඵල අත්වූයේ ඔබටය. 21 සිදුවූ බුධ මාරුවත් සමගම 11 කෝටියක් දෝෂ භංග කරමින් ගමන් ඇරඹූ රවිට බුධද එකතු වීමෙන් 11 වැන්නේ බුධ ආදිත්‍ය යෝගය සැදී එය තවත් වැඩි දියුණු වී ඇත. මේ නිසා ඔබට ඉතා සුබ දින කීපයකි. ලේඛණ කලාවේ අ යට වඩාත්ම යහපත් වේ. පොත් ලිවීමට ඉතා සුබය.

ජ්‍යොතීර්වේදිනී
සුරංජා සරෝජිනී පතිරන
(ජ්‍යොතීෂ විද්‍යා දර්ශනපති
භාරත භාෂ්කර ශිරෝමනි)

නව අදහස දක්වන්න