දකුණු පළාත් සභාවේ සහෝදරත්වයේ දෑත් | දිනමිණ

දකුණු පළාත් සභාවේ සහෝදරත්වයේ දෑත්

ඉමදුව සමුහ ලංකින්ද නානායක්කාර

උතුර සහ දකුණ අතර සංහිඳියාවේ පාලම ගොඩනඟන අපූරු ගමනක් පසුගිය දා දකුණු පළාත් සභා පක්ෂ විපක්ෂ (එජනිස/ එජාප) මන්ත්‍රීවරුන් විසින් සංවිධානය කර තිබිණි. පසුගිය දා උතුරේ සිදු වූ ජලගැල්මෙන් හානි වූ පාසල් දරුවන් හා එසේ හානි වු ගම්මානයක් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ හා ඉගෙනුම් උපකරණ ලබාදීම මෙම ගමනේ අරමුණ විය.

ස්වාභාවික විපත්වලට ජාති ආගම් කුල මළ භේදයක් නැත. ස්වාභාවික විපත් නිසා දකුණේ මෙන්ම උතුරේ ද ජනතාවගේ ඇඳිවත පමණක් ඉතිරි වූ අවස්ථා ඇත. උතුරේ ගංවතුර මෙන්ම දකුණේ ගංවතුර ද බොර පාටය. එයට සිත් පිත් නැත. එවන් අවස්ථාවකට උතුරේ ජනතාවට මුහුණ දෙන්නට සිදුවූයේ පසුගිය මාසයේය. සාමාන්‍යයෙන් දකුණේ ජනතාවට මෙන් උතුරේ ජනතාවට ජලගැල්ම හුරු නැත. ඔවුන්ට මෙය අමුතු අත්දැකීමක් විය. මෙවැනි ජලගැල්මක් උතුරට පැමිණියේ වසර 40කට පමණ පසුව බව ඔවුහු පවසති.

දකුණු පළාත් සභාවේ එජනිස මන්ත්‍රී සංසදයේ දී දකුණූ පළාත් සභා මන්ත්‍රීවරුන් වන ක්‍රිෂාන්ත පුෂ්පකුමාරගේ හා වීරසුමන වීරසිංහගේ යෝජනා ස්ථිරත්වයෙන් මෙම කර්තව්‍යය ආරම්භ විය. එය හිතවත්කම ලෙස නම් වූ අතර ඒ සඳහා එජාප මන්ත්‍රීවරුන්ගේ සහ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ ද සහාය ලැබිණි. මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් මේ සඳහා ආධාර එකතු කිරීම ඇරඹු අතර පසුව පාසල්, හා රාජ්‍ය ආයතනවලින් ද මෙම සහෝදරත්වයේ දෑත් දිගු කිරීමට ආධාර ලැබෙන්නට විය. ඒ අනුව දකුණු පළාත් සභාව නියෝජනය කරන සෑම රාජ්‍ය නිලධාරියෙක්ම මේ සඳහා සිය දිනක වැටුප පරිත්‍යාග කරන්නේ තමාට යහමින් මුදල් ඇති නිසා නොව දකුණේ සහෝදරත්වයේ දෑත් උතුරට දිගු කිරීම සඳහාය. ඒ අනුව රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමකින් යුතු අත්‍යවශ්‍ය භාණ්ඩ, පාසල් උපකරණ, පාසල් බෑග්, සපත්තු, තීන්ත වර්ග ඇතුළු අත්‍යවශ්‍ය උපකරණ ලැයිස්තුව අනුව සැකසිණ. මෙම ලැයිස්තු සකස් කිරීමේ දී ශ්‍රී ලංකා යුද හමුදාවේ කිලිනොච්චිය බල සේනාධිපති කර්නල් නජීව එදිරිසිංහ මහතාගේ උපදෙස් මත කෙරුණු අතර ආධාර උපකාර ලැබිය යුතු ස්ථාන වලටම ඒවා ලබාදීමට සුදානම් කෙරිණි.

ඒ අනුව ආධාර ලොරි සමඟින් දකුණු පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් දකුණේ මාධ්‍ය කණ්ඩායමක් ද සමඟින් ගමන් ආරම්භ කරන්නේ පසුගිය 17 වෙනිදාය. අදාළ සියලු කටයුතු 18දින යාපනය කිළිනොච්චිය භාරතීපුරම් ප්‍රදේශයේ දී සිදුවිය.

මෙම ගමන සඳහා දකුණු පළාත් සභා එජනිස මන්ත්‍රීවරුන් වන බද්දේගම සමිත හිමි, වීරසුමන වීරසිංහ, ක්‍රිෂාන්ත පුෂ්පකුමාර, බින්දු වීරසිංහ, ඉසුරු දොඩංගොඩ, චානක මාදුගොඩ, එම්.කේ කසුන්, අජිත් රාජපක්ෂ, දුල්ෂාන් පද්මසිරි, කේ.වී.පී. ආනන්ද යන අය ද එජපයේ අශෝක ධනවංශ, ටී.වී.කේ. ගාමිණී, සුනිල් සේනානායක යන අය සහභාගී වූහ.

තෛපොංගල් දිනය නිම වී දින දෙකකට පසුව තමන්ගේ දුක සැප බලන්නට පැමිණෙන දකුණේ නෑදෑයින් පිළිගැනීමට උතුරේ විපතට පත් පිරිස් සිටියේ නොඉවසිලිමත්වය. ආධාර ලබා දීමේ පළමු නවාතැන වූයේ කිළිනොච්චිය කනකාමපිළිකෙකුලම් රජයේ දෙමළ පාසලයි. හින්දු චාරිත්‍ර අනුව දකුණේ නෑදෑයින් පිළිගත් එම පාසලේ දරුදැරියන් චාම් ගාම්භීර උත්සවයක් එහි සංවිධානය කර තිබිණි. පසුගිය ජල ගැල්ම නිසා එම පාසල සම්පුර්ණයෙන්ම යට වී තිබිණි. එම පාසලේ 1 වසරේ සිට 11 වසර දක්වා දරුවන් සඳහා පාසල් බෑග්, සපත්තු, පාසල් උපකරණ ඇතුළු ආහාර පාන ද ලබා දීම දකුණේ මන්ත්‍රීවරුන් අතින් සිදුවිය. තම දරුවන්ට මේ තෑගි රැගෙන ආ අපූරු මිනිසුන් දැක ගැනීමට දරුවන්ගේ මවුපියෝ ද එම අවස්ථාට සහභාගි වූහ. දකුණේ මිනිසුන් තමන්ට කරදරයක් වු විට සැතපුම් ගණනක් දුර සිට පැමිණීම ගැන ඔවුන්ට ඇත්තේ සතුටකි. ඒ සතුට වචන වලට පෙරලන්නට ඔවුන්ට පුළුවන්කම තිබුණ ද එය තේරුම් ගැනීමට දකුණෙන් පැමිණි මන්ත්‍රීවරුන්ට උපකාරයට පැමිණියේ ශ්‍රී ලංකා යුද හමුදාවේ කාන්තා නිලධාරීන් කිහිප දෙනෙකි.

කිළිනොච්චිය කනකාමපිලිකෙකුලම් රජයේ දෙමළ පාසලේ විදුහල්පති නල්ලතම්බි සිවසේසර් මහතා විසින් තම පාසලට කළ මේ උපකාරය සම්බන්ධයෙන් ස්තූති කළේය.

මෙහිදී උත්සව සභාව ඇමතූ බද්දේගම සමිත හිමියෝ - "ඔබ ජලගැල්මට හසුවෙලා ඉන්නවා දැක්කම අපිට එවෙලේ උදව්කරන්න එන්න හිතුණා. 2017 දකුණේ ජලගැල්මේ දී උතුරේ ජනතාව දකුණට උදව් කළා. අපි එක රටක ජීවත්වෙන මිනිසුන්. අපි අපිට උදව් කරගනිමින් එකම පවුලක අය වගේ ජීවත් විය යුතුයි. ඔබ සියලු දෙනා අපේ රටේ දරු පරපුරයි. අනවශ්‍ය යුද්ධයක් නිසා කාලයක් අපිට වෙන් වී සිටින්නට සිදුවුණා. අද එහෙම තත්වයක් නෑ. අද අපි එකිනෙකාට උදව් කරගනිමින් ජීවත්වෙනවා. මේක තමයි සංහිඳියාව, මේක තමයි මනුස්සකම."

කිලිනොච්චිය කනකාමපිලිකෙකුලම් රජයේ දෙමළ පාසලේ දරුවන් සතුටු කඳුළු වගුරද්දී එම ස්ථානයෙන් සමුගත් දකුණේ මන්ත්‍රී කණ්ඩායම උත්තාය ලක්ෂ්මී ළදරු පාසලට පැමිණියහ. එම ළදරු පාසලේ දරුවන්ට පාසල් බෑග්, පාසල් උපකරණ ඇතුළු අධ්‍යාපන උපකරණ ලබා දුන් මන්ත්‍රී කණ්ඩායම නැවත කිළිනොච්චිය කරුණානිලයම් ළමා නිවාසයට පැමිණියේ එහි දරුවන් හට දකුණේ උණුවන හදවත් සහිත මිනිසුන්ගේ ප්‍රාර්ථනය දැයේ සියලු දරුවන්ගේ අනාගතය ආලෝකවත් කිරීම බව පැවසීමටය.

ළමා නිවාසයේ ඩැනියෙල් මුර්ති පියතුමා පැවසූයේ දකුණේ සුන්දර හදවත් ඇති මිනිසුන් සිටින බව මෙම දින කිහිපය තුළ උතුරේ ජනතාවට වැඩි වශයෙන් දැනුණු බවයි.

ඉන් අනතුරුව මන්ත්‍රී කණ්ඩායමට තිබුණේ කිලිනොච්චිය කේ - 22 ග්‍රාමසේවා වසමේ රත්නපුරම් ගම්මානයේ ජලගැල්මෙන් විපතට පත්වු පිරිස් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමයි. ශ්‍රී ලංකා යුද අහමුදාවේ 571 වන සේනාංකයේ කිළිනොච්චිය බල සේනාධිපති කර්නල් නජීව එදිරිසිංහ මහතා ඇතුළු නිලධාරීන් මෙම ගමන අපූරුවට සංවිධානය කර තිබිණි. රන්නපුරම් ගම්මානයේ ග්‍රාම නිලධාරිනිය වන උදය ෂෙවර්මා නිල්ෂ්කා මහත්මිය ද මේ සඳහා ලබා දුන් සහාය සම්බන්ධයෙන් මන්ත්‍රී කණ්ඩයමේ ස්තූතිය ඇයට හිමි විය. මෙහි දී විපතට පත් පවුල් 107ක් සදහා ආධාර ලබා දීම සිදුවිය.

මෙහිදී සිය සතුට ප්‍රකාශ කළ රත්නපුරම් ගම්මානයේ ජෝන් සිවකුමාර් මහතා - "අද මේ පැමිණි සියලු මන්ත්‍රීවරුන්ට බොහෝම ස්තූතියි. මාසෙකට ඉස්සෙල්ලා අපි හිටියේ ලොකු අමාරු තත්වයක. හමුදාව එදා අපිට උදව් කළා. අද මේ මන්ත්‍රීවරුන් මෙහි පැමිණීම නිසාම අපේ සමහර පිරිස් ඉන්න වැරදි මත දුරුවෙලා තියනවා. මේ ලබාදුන් සියලු දේට අපේ ගම්මානය වෙනුවෙන් මම ස්තූති කරනවා."

පළාත් සභා මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා - "ස්වාභාවික විපත්වලට ජාති ආගම් කුල භේදයක් නෑ. අපි එකම රටක මිනිස්සු. සාමාන්‍යයෙන් ශ්‍රීලාංකිකයන් කියන්නේ කරදරයක දී මුලින්ම ඉදිරිපත් වෙන ජාතියක්. අද අපි ඒ යුතුකම සඳහා ඔබේ ප්‍රදේශයට පැමිණියා. එයින් ඔබ සතුටු වෙනවා නම් ඒක තමයි දකුණේ ජනතාවගේ සතුට".

අනතුරුව කිළිනොච්චිය ලුම්බිණි විහාරයට සහ 573 යුද හමුදා සේනාංකය වෙත ද තීන්ත ලබා දීමට මන්ත්‍රීවරු කටයුතු කළහ.

ස්වාභාවික විපතක දී වුණ මේ ආරම්භය දිගින් දිගටම පවත්වා ගෙන යන්නේ නම් ඉදිරි කිසිම දිනක රට යුද්ධයකට තල්ලු නොවනු ඇත. දකුණේ මෙන්ම උතුරේ ද කිසිම කෙනෙකුට යුද්ධයක් අවශ්‍ය නැත. දකුණෙන් උතුරට මෙන්ම උතුරෙන් දකුණට ද පිරිස් යා යුතුය. මේ සැබැඳියාව දිගින් දිගටම සිදුවේ නම් අනාගත ලංකාවේ හෙට දවස අඳුරු නොවනු ඇත.

අඳුරු ඉතිහාසයක සිට පැහැපත් අනාගතයක් දකින්නට වර්තමානයේ දකුණු පළාත් සභා මන්ත්‍රී කණ්ඩායම සිදුකරන ලද මේ කර්තව්‍යය ආරම්භයක් වෙමින් උතුරෙන් දකුණට මෙන්ම දකුණෙන් උතුරට සහෝදරත්වයේ දෑත් දිගු වන්නේ නම් උතුරු කොනේ සෙල්ලම්මාට හා නඩරාජා ට මෙන්ම දකුණු කොනේ සුමනසිරි ට හා සෙනෙහෙලතා ලාට අපුරුවට සිනහ වන්නට හැකි වනු ඇත.

නව අදහස දක්වන්න