කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය බැබලවූ විදුහල්පති හාමුදුරුවෝ | දිනමිණ

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය බැබලවූ විදුහල්පති හාමුදුරුවෝ

2002 වසරේ ඔක්තෝබර් මාසයේ දි කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයීය ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ වූයේ එහි නායකත්වයට ප්‍රථම වරට බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් පත්වීමෙනි. ඒ අබේසේකරගම ගුණරතන නාහිමිපාණන් වහන්සේය.

අද අභිනව සංඝ නායක පදවියකින් පිදුම් ලබන අතිපූජ්‍ය අබේසේකරගම ගුණරතන නාහිමියෝ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ උන්නතිය වෙනුවෙන් දුන් නායකත්වය බෙහෙවින් අගය කළ යුතුය. විද්‍යාලයේ කෙරෙන සාම්ප්‍රදායික කටයුතු ඒ ආකාරයෙන් ම පවත්වාගෙන යමින් වාර්ෂිකව නිවාසාන්තර ක්‍රීඩා උත්සවය, ආදී කර්තෘ දින ගුණ සැමරුම්, ක්‍රිකට් තරගය, වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය හා ශිෂ්‍ය නායක දිනය, වාණිජ දිනය, විද්‍යා දිනය, පරිසර දිනය ආදී විශේෂ දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම ද සිදු කරන ලදී.

උන්වහන්සේ විදුහලට පැමිණෙන විට විද්‍යාලයේ විනය කඩවීම් කීපයක් දක්නට ලැබුණි. විශේෂයෙන් පිරිමි දරුවන් පමණක් සිටින පාසලක් වූ ආනන්ද ශාස්ත්‍රාලයේ පාසල පැවැත්වෙන කාල සීමාව තුළ සිසුන් පාසල් පරිශ්‍රයෙන් බැහැරවීම උග්‍ර ප්‍රශ්නයක් වී තිබුණි. 3000ක පමණ සිසු පිරිසක් ප්‍රාථමික අංශයේ සිට උසස් පෙළ විද්‍යා, කලා, වාණිජ, අංශවලින් ඉගෙනුම ලැබූ පාසල තුළ සිසුන් රඳවා ගැනීමත්, ඵලදායී වැඩවල නිරත කරවීමටත් විදුහලේ නියමුවාණන් ලෙස උන්වහන්සේට උපක්‍රමශීලී නායකත්වයක් දැරීමට සිදුවිය.

පාසලේ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩල, සිසුන් මවුපියන්, ආදි සිසුන්, සුබ පතන්නන් හා අවට ප්‍රජාව හසුරුවා ගනිමින් තමා බලාපොරොත්තු වූ ඉලක්කය වෙත පාසල ගෙන ඒමට නායක හිමියන් සමත් වී ඇති බව උන්වහන්සේ පාසලින් නික්ම යාමත් සමඟ පැහැදිලිව දර්ශනය විය.

මුලින් ම තමා සමඟ අධ්‍යයන කාර්ය මණ්ඩලය (එනම් ගුරු භවතුන්) එක් අරමුණක පිහිටුවා ගැනීමට උන් වහන්සේ විවිධ උපක්‍රම භාවිතා කළ බව මතකයට නැගේ. තම මග පෙන්වීම යටතේ වඩාත් කැපවීමෙන් කටයුතු කරන ගුරු භවතුන්ට ප්‍රසාද සහතික පිරිනැමීමත්, ඒවාට වටිනාකමක් ඇතුළත් කිරීමත්, ගුරුවරුන් උසස්වීම් සඳහා නිර්දේශ කිරීමත්, ඇගයීම් සඳහා අදාළ අංශ වෙත යොමු කිරීමත් ආදිය ගුරු භවතුන් තමන් වහන්සේගේ ඉලක්කය වෙත යාමට පොළඹවා ගැනීමට හේතු විය.

අධ්‍යාපන කොට්ඨාස, කලාප, පළාත් දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ නිලධාරීන්ගේ නොමඳ සහාය ලබා ගනිමින් ගුරු පුරප්පාඩු ඇති නොවීමටත්, විදුහලේ ගැටලු අවම කර ගැනීමටත් උන්වහන්සේ සමත් වූහ. ආදි ශිෂ්‍ය සංගමයේත් පාසල් සංවර්ධන සමිතියේ අනුග්‍රහය ලබාගනිමින් ජාතික අධ්‍යාපන ආයතනයේ සහයෝගයෙන් ගුරු සංවර්ධන වැඩසටහන් කීපයක්ම දියත් කළ අතර එමගින් ගුරු මණ්ඩලය වඩාත් තෘප්තිමත්, කාර්යක්ෂම පිරිසක් බවට පත්කර ගැනීමට උන්වහන්සේ උනන්දු වූහ.

වැඩකිරීම තුළින් තමා ලත් අත්දැකීම් හා විදුහල්පති කළමනාකරණ පුහුණුවීම්වලින් ලත් දැනුම උපයෝගී කරගෙන උන්වහන්සේ නායකයකු ලෙස අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය අතර විවිධ වගකීම් බෙදා හැර තිබුණි. බලය ද විමධ්‍යගත කොට තිබුණේ තමා අත සුක්කානම රඳවා ගත් නාවිකයකු මෙනි. සියලුදෙනාම සතුටින් පාසලට ඒමත්, සතුටින් පාසල තුළ රැඳී සිටීමත්, වැඩ කිරීමත්, සතුටින් පාසලින් නික්ම යාමත් උන්වහන්සේට අවශ්‍ය විය.

ශිෂ්‍ය නායක සංචිතය ප්‍රතිසංවිධානය කොට ශිෂ්‍ය නායකයින්ට නායකත්ව ගුණාංග ප්‍රගුණ කර ගැනීමට වඩ වඩා අවස්ථා සලසා දීමට උන්වහන්සේ විවිධ ව්‍යාපෘති වලට ගුරුවරුන් මෙහෙය වූහ. එමඟින් පාසලේ සාමාන්‍ය ක්‍රියාවලියට ශිෂ්‍ය නායක සහාය ලබා ගැනීමට උන්වහන්සේ සමත් වූ හ.

ක්‍රිකට්, ජිම්නාස්ටික්, වොලිබෝල් වැනි ක්‍රීඩාවලට දිරි දීමත්, ශිෂ්‍ය භට, බාල දක්ෂ, පරිසර නියමු ආදී විෂය බාහිර ක්‍රියාකාරකම්වලට සිසුන් යොමු කිරීමත් මඟින් පන්ති කාමර ඉගෙනුමට අමතරව විවිධ ඉගෙනුම් අත්දැකීම් ලබාැනීමටත් පරිසර ගැටලු අවමකර ගැනීමටත්, පරිසරය පිරිසිදුව හා අලංකාරව පවත්වා ගැනීමටත් නාහිමියෝ සමත් වූහ. ශිෂ්‍ය සුබසාධන කටයුතු කිහිපයක් ද ආරම්භ කර පවත්වා ගෙනයන ලදී. සාන්ත ජෝන් ගලන්රථ සේවාව සඳහා ප්‍රථමාධාර කාමරයක් සකස් කිරීම, උපදේශනය අවශ්‍ය සිසුන් සඳහා ශිෂ්‍ය මාර්ගෝපදේශකයකු හා ඒ සඳහා වෙන් වූ ස්ථානයක් ලබාදීම, අඩු ආදායම්ලාභී සිසුන් සඳහා පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහය ලබා දීමට කටයුතු කිරීම ඉන් කිහිපයකි.

ගත වු දිගු ඉතිහාසය තුළ මහා ප්‍රාඥයින්, වියතුන්, දේශපාලනඥයින් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්තයින් ත්‍රිවිධ හමුදා හා පොලිසියේ උසස් නිලධාරීන් හා යහපත් පුරවැසියන් රැසක් ජාතියට දායාද කර ඇති අනඳ සතර සල් විදුහල් මාතාවගේ කීර්තිය පැතිරවීමට උන්වහන්සේ විවිධ මාධ්‍ය භාවිත කළ අතර ඉන් කීප දෙනෙකු හඳුනාගෙන පාසල වෙත ඒ අයගේ නෙත් සිත් යොමුකරවා ගැනීමට ද උපක්‍රමශීලීවූහ. වරක් තම විදුහලින් බිහි වූ දේශපාලනඥයන් සියලු දෙනාම එකම වේදිකාවකට කැඳවා විදුහලට ඔවුන් ආකර්ෂණය කර ගැනීමට නාහිමියෝ දක්ෂ වූහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, නාගරික මන්ත්‍රී වරුන් මෙන්ම විදුහලේ ආදි ශිෂ්‍යයින් වන දේශපාලන ප්‍රභූවරුන් එසේ එක් වේදිකාවකට එක් වූයේ ඉතිහාසයේ පළමු වතාවටය. ඒ සියලු දෙනාම පක්ෂ පාට භේද වලින් තොරව උන්වහන්සේට විදුහලේ කීර්තිමත් ආදි සිසුන් පමණක්ම විය.

2002 වර්ෂයේ දී අධ්‍යාපන අමාත්‍යාංශය ඉංග්‍රීසි මාධ්‍ය පන්ති හඳුන්වා දීමත් සමඟම ආනන්ද ශාස්ත්‍රාලයේ ද වෙනම ඉංග්‍රීසි මාධ්‍ය අංශයක් ආරම්භ කිරීමට විදුහල්පති ස්වාමීන් වහන්සේ පියවර ගත් අතර, පරිගණක පහසුකම් සහිත පුස්තකාලයක් ද අරඹමින් ප්‍රාථමික අංශය හා ද්විතීයික අංශ සඳහා වෙන වෙනම පුස්තකාල පවත්වා ගැනීමට කටයුතු ඇරඹීය.

දිවයිනේ පාසල් පද්ධතිය පුරා ශීඝ්‍රයෙන් පැතිර යන ප්‍රචණ්ඩත්වයෙන් විදුහලේ දරුවන් මුදවා ගැනීම සඳහා සාරධර්ම වැඩසටහන් හා ආගමික කටයුතු පිළිබඳ ව්‍යාපෘති කීපයක්ම ආසන්නතම පොලිස් ස්ථානය, ප්‍රජා පොලිස් ඒකකය වැනි ආයතනවල සහායෙන් දියත් කළ අතර දරුවන් ප්‍රචණ්ඩත්වයෙන් හා දුරාචාර වලින් මුදවා ගැනීමටත්, ස්වයං විනයක් සිසුන් තුළ ජනිත කරවීමටත් එම ව්‍යාපෘති ඉවහල් විය. මල්වතු මහා විහාරයෙන් අභිනවයෙන් පිදුම් ලබන හම්බන්තොට මාගම් පත්තුව අැතුළු ගාලු මාතර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවියත් සමඟ උපරිම සේවයක් කොට දහස් ගණනකගේ සිත් සනසාලන, දහස් ගණනකගේ ජීවිත ඒකාලෝක කරන පහන් ටැඹක් මෙන් බැබලේවායි ආශිර්වාද කරමි.

විමලා කුමාරි රණසිංහ
හිටපු නි. විදුහල්පති
ආනන්ද ශ්‍රාස්ත්‍රාලය,
විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂිකා

නව අදහස දක්වන්න