යසීර්ට හොරෙන් අලුත් කුමන්ත්‍රණයක් ! | දිනමිණ

යසීර්ට හොරෙන් අලුත් කුමන්ත්‍රණයක් !

ඇමරිකන් හස්ල් 62

ඇමරෝසෝ සමඟ වෙයින්බර්ග් යළිත් වැඩට බැස්සෝය. ටයිටේනියම් සමාගමේ කොටස්කරුවන්ගේ හමුවක් කැඳවන ලෙසට එරිචෙට්ටිට උපදෙස් ලැබුණේ වෙයින්බර්ග්ගෙනි. හමුව පැවැත්වුණේ කෙනඩි ගුවන්තොටුපළේ හොලිඩේ ඉන් හෝටලයේදීය. සෙනෙටර් විලියම් පවා ඊට සහභාගි විය.

එය අගෝස්තු මාසයට ආවේණික උණුසුම් කාලගුණයෙන් යුතු පැහැබර දිනයක් විය. වෙයින්බර්ග් ඇමරොසෝ සමඟ ඇට්ලන්ටා නුවරට ආවේ, තවත් අලුත් කැසිනෝ අවන්හල් හිමියකු ගැන සාකච්ඡා කරන්නට පැමිණෙන ලෙස ඇට්ලන්ටා එෆ්.බී.අයි. කාර්යාලයේ නිලධාරියකු කළ ඉල්ලීමක් නිසාය. බියුරෝ නිලධාරියාගේ නිවෙසට ගිය වෙයින්බර්ග් සහ ඇමරොසෝ පුදුම කරමින් එහි සිටියේ ඩෙල් ටෆෝගේ සගයන් වූ එඩ් ප්ලාසා හා රොබට් වෙයර්ය. වෙයින්බර්ග්ට හිතුණේම පොළොව පලාගෙන යන්නට ඇත්නම් මැනවයි කියාය. බොරු සතුටු සාමිචී, ආගිය තොරතුරු ගැන කතාබහ මූනිච්චාවටවත් කෙරුණේ නැත. ඩෙල් ටෆෝගේ හෙංචයියන් දෙදෙනා සිටියේ දුම්මල වරම අතට ගෙනයි. කෝපයට හේතුව වෙයින්බර්ග් විසින් ඊට මසකට පමණ ඉහතදී මැරියට් අවන්හලේදී යසීර් සමඟ පැවති සාකච්ඡාවේදී කියන්නට සෙනෙටර් විලියම්ස්ට පුරුදු කළ පෙරහුරු කතාවයි. එහි පටිගත කෙරුණු හඬපටයට සවන්දී සිටි ටෆෝගේ සගයන් දෙදෙනාගෙන් එල්ල වූ දොස්බස්වලින් කන් පිරී යද්දී වෙයින්බර්ග්ද කරබාගෙන සිටියේ නැත. චෝදනාව වෙයින්බර්ග් සෙනෙටර්ගේ කටට වචනදී ඔහු වරදට පොළඹවාගෙන ඇති බවයි. ඇබ්ස්කැම් මෙහෙයුමෙන් කොටුකර ගත් දූෂිතයන් පසුකලකදී අධිකරණය හමුවට පැමිණ වූ විටදීත් ප්ලාසා හා ඩෙල් ටෆෝ විත්තිය වෙනුවෙන් ඉදිරිපත් කළේ මෙම තර්කයයි.

සාක්ෂිකරුවන්ගේ කටට වචන දෙන්නේ නැතිව අපරාධ නඩුවක් ගොනු කරන්නට බැරි යැයි වෙයින්බර්ග් කියූ බව අධිකරණය හමුවේ ප්ලාසා කියා සිටියේය. බියුරෝ නිලධාරියාගේ නිවෙසේදී මෙන්ම අධිකරණයේදීත් වෙයින්බර්ග් හා ඇමරොසෝ පිට පිටම ප්ලාසාගේ චෝදනා ප්‍රතික්ෂේප කළහ. ඊළඟට ප්ලාසාට ඕනෑ වුණේ නිව් ජර්සිවල කෙරෙන අනෙකුත් ඇබ්ස්කැම් මෙහෙයුම් ගැන දැන ගැනීමටය. වෙයින්බර්ග් හා ඇමරොසෝගේ මතක ක්ෂණිකව අවුල් වී පැටලිලි සහගත තත්වයට පත්වුණේ, ප්ලාසාගේ ඇවිලෙන කෝපයට තවත් පිදුරු දමමිණි. දිගින් දිගටම කරන පෙළඹවීම් තවදුරටත් දරාගැනීමට නොහැකි වෙද්දී වෙයින්බර්ග් හා ඇමරොසෝ නිවෙසින් එළියට පැනගත්හ.

වෙයින්බර්ග් සිටියේ කේන්තිය නිසාවෙන් දත් කූරූගාමිනි. එකී අනපේක්ෂිත සිද්ධියෙන් පසු ඔහු සහ ඇමරොසෝ ලෝන්ග් අයිලන්ඩ් වෙත ගොස් ජෝන් ගුඩ් හමුවී සිදුවූ සියල්ල විස්තර කළත් ඉන් පවා වෙයින්බර්ග්ගේ කෝපය පහව ගියේ නැත.

“අනේ හැබෑට මොන කාලකණ්ණි නරුමයෝ දෙන්නෙක්ද ඒ ? සෙනෙටර්ගේ ජාමේ බේරන්න ආපු විදියේ අද්වකාත්ලා දෙන්නෙක්ද කොහෙද. ඒ තකතීරුවෝ හැදුවේ මාවයි ටෝනිවයි කොටුකරලා වැඩේ දෙන්න. නිව් ජර්සි නගරෙ යකාට ගිහින් තියෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. නගරෙම වළපල්ලට යවන්න මුන් දෙන්නා වගේ දහයක් හිටියොත් ඇති. හොඳ එකා කවුද, නරක එකා කවුද කියලා තෝරාගන්න මේ යෝධයන්ට බැහැ. මෙච්චර මේ හොරු අල්ලන්න නැහෙන අපිවත් එයාල ගණන් ගන්නේ හොරු ගාණට. “ වෙයින්බර්ග් හිතේ වේදනාවට කෑ මොර දුන්නේය.

නමුත් ගුඩ්ට කරන්නට හැකි දෙයක් තිබුණේ නැත. සෙනෙටර්ගේ නමද ඇබ්ස්කැම් මෙහෙයුමට ඈඳීම නිසා ඇමරිකානු නීති දෙපාර්තමේන්තුවද ගිනිගෙන තිබුණු නමුත් ඒ ඩෙල් ටෆෝගේ කෝපයට වඩා සපුරා වෙනස් හේතුවක් නිසාය. සෙනෙටර් විලියම් වූකලී ඇමරිකානු සෙනේට් මණ්ඩලයේ සිටි ප්‍රමුඛ පෙළේ ඩිමොක්‍රටික් පාක්ෂික සාමාජිකයකු පමණක් නොව, එළැඹෙන ජනපතිවරණයේදී ජනපති ජිමී කාටර්ට සහාය දක්වන ප්‍රබල අනුග්‍රහකයකු වූ ටෙඩ් කෙනඩිගේද ගජ මිතුරෙකි. මේ නිසා ජනපති කාටර්ගේ ජනපතිවරණ සටනට සෙනේටර්ගේද උදව් ලැබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. ජනපතිට සම්බන්ධ අයකු නිසා සෙනෙටර්ට විරුද්ධව විභාග කෙරෙන හැම සිද්ධියකම රහස්‍යභාවය උපරිමයෙන් ආරක්ෂා කළ යුතු බවට කෙළින් නොවුණත් වක්‍රාකාරයෙන් ඉහළ පුටුවලින් නියෝග ලැබී තිබිණි.

ඇමරෝසෝ සමඟ වෙයින්බර්ග් යළිත් වැඩට බැස්සේය. ටයිටේනියම් සමාගමේ කොටස්කරුවන්ගේ හමුවක් කැඳවන ලෙසට එරිචෙට්ටිට උපදෙස් ලැබුණේ වෙයින්බර්ග්ගෙනි. හමුව පැවැත්වුණේ කෙනඩි ගුවන්තොටුපළේ හොලිඩේ ඉන් හෝටලයේදීය.

සෙනෙටර් විලියම් පවා ඊට සහභාගි විය. ටයිටේනියම් සමාගම හොර පාරෙන් මිලදී ගන්නට එන මනඃකල්පිත අලුත් අරාබි කණ්ඩායම ගැන වෙයින්බර්ග් කළ පැණි බේරෙන කතාවේ කාගේත් වඩාත්ම සිත් ගත් කොටස වුණේ සමාගම වෙනුවෙන් කලින් එකඟ වුණාටත් වැඩි මිලක් ගෙවන්නට ඔවුන් කැමති බවට කළ විස්තරයයි.

“යසීර් දෙන ඩොලර් මිලියන සීයේ ලෝන් එක වෙනුවෙන් ඩොලර් මිලියන හැත්තෑවක් දෙන්න මෙයාලා පොරොන්දු කරවගෙනයි තියෙන්නේ. එතකොට ලාබේ ගෙඩිය පිටින්ම අපිට. හැබැයි අරාබි ටීම් එක මේකට කැමති වුණේ එක කොන්දේසියක් උඩ. එයාලා ඒක මිලට ගත්තයින් පස්සේ සෙනෙට්තුමාට එයාගේ කොටස් ටික එයාගේ අතට ගන්නම වෙනවා. සෙනේට්තුමා කොටසක් වෙනුවෙන් තඹ දොයිතුවක්වත් ගෙවන්න අවශ්‍ය නැහැ. හැබැයි කොටස්වල හිලව්වට ආණ්ඩුවෙන් කොන්ත්‍රාත් අරන් දෙන්න සිද්ධවෙනවා. ඒක සෙනේට්තුමාට සුළු දෙයක්.“

වෙයින්බර්ග් ඉන්පසුව කතාව කෙළින්ම එල්ල කෙරුණේ සෙනේටර්ටය. අලුත්ම තත්වය ගැන ඔහුට පොඩි හෝ සැකයක් තිබේ නම් එය දුරුකිරීම වෙයින්බර්ග්ගේ අරමුණ විය.

“පිටී (සෙනේටර් විලියම්ස්) මම ඔයත් එක්ක කවදත් කෙළින් කතා කරපු කෙනෙක්. මේ දැනුත් එහෙමයි. ඉදිරියටත් ඒකේ වෙනසක් නැහැ. ඔයාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. මේ වැඩේ කෙරෙන්න නම් ඔයාට කොටස් ටික අතට ගන්නම වෙනවා. ඒකේ හිලව්වට ආණ්ඩුව ලව්වා කොන්ත්‍රාත් අරන්දෙන වැඩේ ඔයාට භාරයි. එයාලා එහෙමයි බලාපොරොත්තු වෙන්නේ.“

ඉන්පසුව සෙනේට්වරයාට විසඳා ගැනීමට බදු ගෙවීම් සම්බන්ධ ගැටලු රාශියක් තිබිණි. ඒ සියල්ල අවසානයේ සියලු කොන්දේසිවලට එකඟව ටයිටේනියම් සමාගම අලුත් අරාබි කල්ලියට විකීණීමට අවසන් තීරණය දුන්නේද ඔහුය. ඔහුගේ එම තීරණය ඒකමතිකව සම්මත වූ බව අමුතුවෙන් කිව යුතු නැත. මෙම අලුත්ම මගඩිය පිළිබඳ සියලු තතු යසීර්ගෙන් රහසක්ව තබාගැනීමටත් කවුරුත් එකඟ වුණේ එවැන්නක් ගැන දැනගන්නට ලැබීමෙන් යසීර්ගෙන් ණය නොලැබී යාමේ අවදානමක් තිබූ නිසාය. ණය නොලැබී ගියොත් සමාගම අලෙවි කිරීමේ ගනුදෙනුවද එතැනින්ම අහෝසි වනු ඇත. එදා සාකච්ඡාව සාර්ථකව අවසන්වී පිටත්ව යාමට පෙර සෙනෙටර් විලියම්ස් යළිත් වෙයින්බර්ග් ඇමතුවේ වැදගත් කාරණයක් ගැන කියන්නටය.

“යසීර් හොඳ මිනිහා. එයා මට යාළුවෙක් වගෙ. මම එයා ගැන හරියට හිතනවා. එයාත් එක්ක සම්බන්ධය තියාගන්න මෙල්. මට හිතෙන්නේ අපි එයා මඟහරිනවා කියලා.“

“මටත් සමහර වෙලාවට එහෙම හිතෙනවා. ඒ නිසා ඔයා ඒ ගැන එච්චර වද වෙන්න එපා.“ අවස්ථාවේ හැටියට වෙයින්බර්ග් එහෙම කිව්වත් හිත යටින් ඔහුට දැනුණේ කියාගත නොහැකි පුදුමයකි.

“මම මිනිහාට කැමතියි. යසීර් හොඳ මිනිහා. “ සෙනේටර් විලියම්ස්ට හිත හදා ගැනීමටම බැරිසේය.

“මම දන්නවා ඔයා එයාට කැමතියි කියලා. අපි බලමු මොනවද කරන්න පුළුවන් කියලා.“ වෙයින්බර්ග් යළිත් සෙනෙට්වරයාව අස්වැසුවේය.

සෙනෙටර් විලියම්ස්ගේ සිත වෙනස් වීම ගැන වෙයින්බර්ග් සිටියේ අපමණ පුදුමයට පත්වය. දෙදෙනා තනිව සිටි විටක ඒ ගැන ඔහු ඇමරොසෝටත් කියා සිටියේය.

“ටෝනි මේ විලියම්ස් කියන හාදයා නම් මහා පුදුම කෙනෙක්! මිනිහාට යසීර්ව හම්බවෙලා තියෙන්නෙත් දෙපාරයි. ඒ දෙපාරම යසිර් හිටියේ වචනයක්වත් කියවන්නේ නැතුව ගල්ගැහිච්ච පඹයෙක් වගේ බුකවගෙන. ඒ වගේ තත්වයකදීත් සෙනෙටර්ට මිනිහා ගැන කැමැත්තක් ඇතිවුණා කියන්නේ මැකාතිට පණ ඇරලා කැමති ඇති. මිනිහාව හීනෙනුත් දකිනවා ඇති. “

මේ සියලු කාරණාවල අවසන් ප්‍රතිඵල සෙනෙටර් විලියම්ස්ට එරෙහිව නඩුවක් ගොනු කිරීමට අවශ්‍ය කාරණා සම්පූර්ණවීමය. නමුත් වොෂින්ටන් බලධාරීන් එලෙස සිතුවේ නැත. සෙනෙටර් අධිකරණය හමුවට ගෙන යන්නට නම් වඩාත් ශක්තිමත් පිළිගත හැකි සාක්ෂි අවශ්‍ය බවට ඔවුහු තර්ක කළහ. වෙයින්බර්ග්ගේ ඉවසීම ඉක්මවා ගියේය. වෙයින්බර්ග් කෝපයත් නොඉවසිල්ලත් පිටකළේ ජෝන් ගුඩ්ටය.

“ගුඩ් මේ මෝඩ රැළ විශ්වාස කරන්න මට බැහැ. සෙනේට්කාරයාව එල්ලන්න වුණත් දැන් අපි අතේ තියෙන සාක්ෂි ඇති. පීට්ස්බර්ග්වලදී එයාලා මාව හිරේ දාන්න හැදුවේ මීට වඩා කොච්චර අඩු සාක්ෂි ටිකකින්ද ? මට විරුද්ධව තිබ්බ සාක්ෂිත් එක්ක බලනකොට නඩුවක් නැතිව වුණත් සෙනේටර් ජීවිතාන්තෙටම හිරේ දාන්න පුළුවන්.“

හිතේ කේන්තියට එසේ කියුවද වෙයින්බර්ග් උත්සාහ කළේ, එරිචේට්ටි ලවා තවදුරටත් සෙනේටර් විලියම්ස්ට එරෙහිව සාක්ෂි රැස්කර ගැනීමටය.

“ඇන්ජි, අර අලුත් අරාබිකාරයෝ දැන් තව එකක් කියනවා. එයාලා ඒක මිලට ගත්තාට පස්සේත් සෙනේටර් මැදිහත්වෙලා ආණ්ඩුවෙන් කොන්ත්‍රාත් අරගෙන දෙනවා කියලා පොරොන්දු පත්‍රයක් සෙනෙටර්ගෙන් ඕනෙලු. එයාලාට දැන් තියෙන්නේ හිතේ සැකේ. සෙනෙටර් ලව්වා මිනිහට තත්ත්වේ පැහැදිලි කරලා දෙන්න ඔයාට පුළුවන් නේද? මේ වගේ පොඩි දෙයක් හින්දා මේක ගහලා ගියොත් ආත්ම හතකට මෙහා මෙහෙම චාන්ස් එකක් ආයෙ වදින්නේ නැහැ.“

“හරි මෙල්, මම ෆුල් ට්‍රයි කරන්නම්. අපිට වගේම සෙනෙටර්ටත් සල්ලි ඕනේ.“

ඇබ්ස්කැම් මෙහෙයුම පුරා එරිචෙට්ටි ළඟින්ම ඇසුරු කළත් සූක්ෂ්ම, වංචනික අපරාධ කිරීමට ඔහුට හැකියාවක් ඇතැයි වෙයින්බර්ග් දැන සිටියේ නැත. ඊට ටික දිනකට පසුව එරිචෙට්ටි ඉල්ලා සිටි ලිපිය ලබාදෙමින් කළ විස්තර ඇසූ විට වෙයින්බර්ග්ගේ දෑස් පීරිසි දෙකක් මෙන් විසල් විය. නමුත් සිය පුදුමය වචනවලට නොපෙරළා සිටීමට තරම් හේ කපටි විය.

“මම ලියුම ගන්න සෙනෙටර්ගේ පස්සේ ගියේ නැහැ. මිනිහාට ඕක විස්තර කරන වෙලාවේ මට ලියුම් දහයක් හදාගන්න පුළුවන්. ඔය වගේ වැඩවලට කියාපු ප්‍රින්ටින් මෑන් කෙනෙක්ව මම දන්නවා. වෙනසක් හොයන්න බැරි විදියට ඕන හොර ලියුමක් හදන්න මිනිහාට පුළුවන්. සෙනෙටර්ගේ ලෙටර් හෙඩ් එක, සෙනෙටර්ගේ අත්සන ඔක්කොම හැදුවේ මිනිහා තමයි. වැඩේ කොහොමද? විලියම්ස්ටවත් මේකේ වෙනසක් පෙනේවි කියලා මම හිතන්නේ නැහැ.“

එරිචෙට්ටිගෙන් මෙවැනි හොර වැඩක් වෙයින්බර්ග් කොහෙත්ම අපේක්ෂා කළේ නැත. මෙතෙක් කල් කර ඇති දේවල්වලින් පසුව මෙවැනි දෙයක් වැරදි බව කීමට හැකියාවක් තිබුණේද නැත. එරිචෙට්ටිගේ දක්ෂකම ඇගයූ වෙයින්බර්ග් ලිපිය ගෙනගොස් ගුඩ්ට දුන්නේය.

“ පිස්සු හැදෙනවා ගුඩ්, බලාගෙන යනකොට නගරාධිපති කියන්නේ අපි හිතුවාටත් වඩා ගල් ආඳෙක්නේ!“

පරිවර්තනය රුක්ලන්ති පෙරේරා

හෙට - කිසිදා ඉටුනොවන තවත් පොරොන්දුවක්

නව අදහස දක්වන්න