පින් සිත් රවටන යාචක ජාවාරම | දිනමිණ

පින් සිත් රවටන යාචක ජාවාරම

විජයානි එදිරිසිංහ

යම් යාචකයකු තමන්ගේ ස්ව කැමැත්තෙන්ම සිඟමන්වල යෙදෙන්නට තීරණය කළහොත් ඔහුට තදින්ම දැඩි හිංසාවන්ට ගොදුරුවීමට සිදු වෙයි. ඇතැම් අයට බරපතළ ලෙස පහර දෙයි. තවත් අයට පහර දී දුරඈත පළාතකට ගෙන ගොස් අතහැර දමයි. කෙසේවත් මේ ව්‍යාපාරිකයාට ගොදුරු වු යාචකයකුට නම් එම ව්‍යාපාරයෙන් ඉවත්විම කෙසේවත් පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ.

යාචකයකු හෙවත් ඉල්ලාගෙන කන කවුරුන් හෝ පුද්ගලයකු දුටු විට ඇති වන්නේ අනුකම්පාවකි. ඒ සැනින්ම තම අතේ සුළු මුදලක් තිබුණත් තවත් අවශ්‍යතා කොයිතරම් තිබුණත් ඉන් කීයක් හෝදීමට පෙළඹෙන්නේ අවංක සිතින්මය. සත්‍ය වශයෙන්ම නැති බැරිකම නිසාම සිඟමන් යදින අසරණයන් සිටින බව කිය යුතුමය. වයෝවෘද්ධ වයසේදී දරුවන් විසින් තම මවුපියන් අතහැර මහමඟට ඇද දමා තිබියදී ජීවත්වීමට නොහැකිව ඉතාමත් අසරණව මහමඟට බැස කවුරුන් හෝ දෙන කීයෙන් හෝ ජීවත් වී තම ජිවිතය පමණක් රැක ගන්නා ඉතාමත් අසරණ තත්ත්වයට පත් දහස් සංඛ්‍යාත වැඩිහිටියන් අද මහමඟ සිටින බව රහසක් නොවේ.

ඒ අතර ඒ ආකාරයෙන්ම අත පය නොසොල්වා කිසිදු මහන්සියක් නොමැතිව කුමක් හෝ නොහැකියාවක් පෙන්වා කීයක් හෝ ඉල්ලා සිටින පිරිසක්ද වෙති. තවත් ආකාරයකින් දරුවන් තුන්හතර දෙනකු සමඟ සිඟමන් යදින සැමියා අතහැර දමා ගොස් සිටින කාන්තාවන්ද ඉතාමත් අසරණව සිඟමන් යැදීම සුලබ දර්ශනයක්ද වෙයි. සත්‍ය වශයෙන්ම කිසිදු හව්හරණක් නොමැතිව මෙසේ සිඟමන් යදින පිරිස කවුද යන්න හඳුනා ගැනීම මහජනතාවට හැකියාව ඇත. මේ පිරිස අතර ඉතාමත් ලස්සනට හැඳපැළැඳ කිරි දානයක් දෙන බව පවසමින් මුදල් කඩා ගන්නා පිරිසක්ද වන අතර තවත් පිරිසක් රෝහල්ගතව සිටින බව පවසා බෙහෙත් ලබා ගැනීමට නොහැකිව මුදල් සොයමින් සිටින බව පෙන්වා සිටින අයද සිටී. අත පය වැසි යන තරම් තුවාල පටිවලින් වෙළාගෙන අපහසුවෙන් ඇවිදින බව පෙන්වා කිසිදු තුවාලයක් නොමැතිව කපටි සිතින් මුදල් ගසා කන පුද්ගලයන්ද ගර්භනිව සිටියදි සැමියා අතහැර ගිය බව පවසා ව්‍යාජ ගැබක් හදාගෙන සිඟමන් යදින කාන්තාවන්ද කිරිබොන දරුවා අතහැර දමා වෙනත් සැමියකු සමඟ දරුවන්ගේ මව ගිය බව පවසා එක් දරුවකු කර පින්නාගෙන තවත් දරුවකු අතින් අල්ලාගෙන සිඟමන් යදින පුද්ගලයන්ද සිය බිරියගේ හෝ සැමියාගේ හෝ එසේත් නොමැතිනම් පියා බව පවසා පියාගේ හෝ අතින් අල්ලාගෙන සිඟමන් යදින පිරිසක්ද මේ ආදි වශයෙන් සිඟමනේ යෙදෙමින් මුදල් ගසා කන ස්වයං කණ්ඩායම් ලෙස කටයුතු කරන පිරිසක්ද බහුලව සමාජයේ සිටින බව ඔබ අප සෑම සියලු කෙනකුම දන්නා කරුණකි.

එහෙත් මේ සිඟමන් ව්‍යාපාරය හරහා මහා පරිමාණ ලෙස මුදල් ගසා කෑමේ ජාවාරම් සිදුවන බව බොහෝ පිරිසක් නොදන්නා කරුණකි. මේ ව්‍යාපාරය හරහා සුපිරි ජීවිත ගත කරන පුද්ගලයන්ද ඔවුන්ගේ දරුවන් සුපිරි ජීවිත ගත කරමින් සුපිරි පාසල්වල පවා අධ්‍යාපනය හදාරමින් සිටින බවද හෙළි කර ගෙන ඇත.

ඒ අතර එම මුදල්වලින් කැසිනෝ රාත්‍රි සමාජ ශාලා. සුපිරි ගණිකා නිවාසවල ගත කරමින් දෙස් විදෙස් සංචාරවල පවා යෙදෙන කොළඹ ඉහළ පෙළේ හෝටල්වලින් සුපිරි ආහාර භුක්ති විදින පිරිසක් සිටින බව යාචකයන්ට අනුකම්පා කර මුදල් දෙන පිරිස නොදන්නා කරුණක් විය හැකිය.

එහෙත් එය සත්‍යයකි. මේ බව අප හොඳින්ම සොයා ගෙන ඇත. එය සිදුවන්නේ ව්‍යාපාරයක් ලෙසය. අද සමාජයේ දක්නට ඇති ප්‍රසිද්ධ ව්‍යාපාරයක් වන්නේ ශ්‍රම බළකා ව්‍යාපාරයයි. එහිදීද සිදුවන්නේ යම් පුද්ගලයකු යම් ආයතනයක සේවයට යොදවා එම පුද්ගලයා සිය මහන්සියෙන් උපයන වැටුපෙන් අදාළ ශ්‍රම බළකාය මෙහෙයවන ව්‍යාපාරිකයා විසින් තබාගෙන සුළු මුදලක් ශ්‍රමිකයාට ගෙවිමේ ක්‍රමවේදයයි. එහිදී සුපිරි ජිවිතය ගෙවන්නේ එම ශ්‍රම බළකාය මෙහෙයවන ව්‍යාපාරිකයා විසින්ය. මෙවැනි ව්‍යාපාරිකයන් දහස් ගණනක් මේ වන විට මේ රටේ සිටිති. තරුණ ජිවිත දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් මේ ශ්‍රම බළකා ව්‍යාපාරය හෙවත් මෑන් පවර්වලට සම්බන්ධ වි සොච්චම් වැටුපක් ලබා ගනිමින් බොහෝ විට සිය අධ්‍යාපනය පවා අතරමඟ කඩාකප්පල් කර ගනිති.

මැන් පවර් රටේ ලියාපදිංචි ව්‍යාපාරයකි. සිඟමන් යදින යාචකයන් හරහා ලියාපදිංචි නොවු කූට ව්‍යාපාර පවත්වාගෙන යන සුපිරි ධනවතුන් සැලකිය යුතු පිරිසක් කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල පදිංචිව සිටිති. වැඩි පිරිසක් කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල සිට මේ ව්‍යාපාර පවත්වාගෙන යන අතර කොළඹින් පිටස්තර රටේ වෙනත් ප්‍රදේශවල මෙවැනි ව්‍යාපාර කරගෙන යන්නේ ඉතාමත් සුළු පිරිසකි.

යාචක ව්‍යාපාරයේ යෙදෙන බලවතුන් විසින් සිදුකරන්නේ කොළඹ හෝ ඒ අවට ප්‍රදේශවල ගැවසෙන සිඟමන් යදින පිරිස ඔවුන්ගේ ගෝලබාලයන් යොදා එක් රැස් කර ගනී.පසුව ඔවුන්ට කෑමබීම ලබා දී ඇතැම් පිරිසට ඉඳුම් හිටුම්ද ලබාදී සෑම දිනකම වාහනවලින් ගෙන ගොස් නගරයේ තැන් තැන්වලින් බස්සවා ගෙන යයි. මේ පිරිස අතර දැස් නොපෙනෙන විශාල පිරිසක් සිටිති. ගිනි අව්වේ වේළෙමින් වැස්ස අව්ව නොබලා වාහනයෙන් බැස්සවු තැන මිස වෙනත් තැනකට නොයමින් සිටින මේ යාචකයන් වෙනුවෙන් අනුකම්පා කර දෙන මුදල් එකතු කිරීමට වරින් වර එම ව්‍යාපාරිකයාගේ ගෝලයෝ ඔවුන් වෙත පැමිණෙති. දැස් නොපෙනෙන පිරිස පමණක් නොව තවත් නොහැකියාවලින් පෙළෙන පිරිස වයෝවෘද්ධ පිරිසද ඇතුළත්ව කුඩා ළමයින් තබාගෙන සිටින පිරිස ද ආදි වශයෙන් දිනකට යාචකයන් දෙසීයක් තුන්සියයක් සිඟමනේ යොදවන ව්‍යාපාරියෝද වෙති. දහවල් වන විට කවුරුන් හෝ බත් පාර්සලයක් ලබා දෙන ආකාරයකින් මේ යාචකයන් වෙත ඉහත ව්‍යාපාරිකයාගේ ගෝලයන් විසින් ඔවුන් විසින් යොදන ලද යාචකයන්ට ආහාර බෙදා ගෙනයයි.

වතුර බෝතලයක්ද ලැබෙන අවස්ථා ඇත. දැස් නොපෙනෙන පිරිසට මේ වතුර බෝතලය අනිවාර්යයෙන්ම ලැබෙයි. දිනපතා මේ ආකාරයෙන් යාචකයන් යොදා මුදල් උපයා ගෙන සුපිරි ජිවිත ගෙවන පිරිස යටතේ මේ ව්‍යාපාරයට සහාය දෙන තවත් ගෝලබාලයන් පිරිසක්ද වෙති. දවස අවසන් වන විට මේ යාචකයන්ට ලැබුණ අවසන් රුපියල දක්වා එකතු කර ගන්නා මේ ගෝලයෝ යාචකයන් නැවතත් එකතු කරගෙන ගොස් නවාතැන් ගන්නා ස්ථාන වෙතට බස්සවයි. මේ පිරිස අතරින් තම තමන්ගේ ලැගුම් ගන්නා ස්ථාන වෙත යන යාචකයන්ට රාත්‍රි ආහාරය සමඟ තවත් කීයක් හෝ ලැබෙයි. වැඩියෙන් මුදල් ඉපැයු යාචකයන්ට සන්තෝසම් වශයෙන් තවත් මුදලක්ද ඇතැම් විට කසිප්පු වැනි මත්ද්‍රව්‍යද ලබාදීම සිදු වෙයි. මේ ආකාරයෙන් කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල සිඟමන් ව්‍යාපාරය සුපිරි ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඒ හරහා මුදල් එකතු කර ගන්නා ධනවතුන් සැලකිය යුතු පිරිසක් සිටිති. මේ ව්‍යාපාරිකයන්ට දිනකට රුපියල් ලක්ෂ පහ හය ඉක්මවු මුදලක් ලැබෙන අවස්ථාද බොහෝය.මෙසේ මේ ආකාරයෙන් සිඟමන් ව්‍යාපාරය මෙහෙයවමින් මුදල් උපයන පිරිස අතර මුදල් පොලියට දෙන ව්‍යාපාරිකයන් සිටින බවටද තොරතුරු හෙළිදරව් වී ඇත.

මේ සිඟමන් ව්‍යාපාරයෙන් ඉවත් වී යම් යාචකයකු තමන්ගේ ස්ව කැමැත්තෙන්ම සිඟමන්වල යෙදෙන්නට තීරණය කළහොත් ඔහුට තදින්ම දැඩි හිංසාවන්ට ගොදුරුවීමට සිදු වෙයි. ඇතැම් අයට බරපතළ ලෙස පහර දෙයි. තවත් අයට පහර දී දුරඈත පළාතකට ගෙන ගොස් අතහැර දමයි. කෙසේවත් මේ ව්‍යාපාරිකයාට ගොදුරු වු යාචකයකුට නම් එම ව්‍යාපාරයෙන් ඉවත්විම කෙසේවත් පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ. මෙහිදි හෙළි වු තවත් කරුණක් නම් මෙසේ යාචක ව්‍යාපාරයට ගොදුරු වි සිටින පුද්ගලයකු රෝගාතුර වුවහොත් එම පුද්ගලයා රෝහලකට ගෙන ගොස් ඇතුළු කරන නමුත් ඉන් එහාට එම පුද්ගලයා පිළිබඳව සොයා බැලීමක් නම් නොකෙරේ. මෙහිදී ඇතැම් වයෝවෘද්ධ අය කිසිවකුගේ පිළිහරණක් නොමැතිව රෝහලේම මිය ගොස් නැති නම් මහමඟ මියගොස් රජයේ වියදමින්ම ඔවුන්ගේ අවසන් කටයුතු සිදු වෙයි.

මේ ආකාරයෙන් යාචක ව්‍යාපාරය හරහා මුදල් උපයන ඇතැම් පිරිස සතුව රුපියල් කෝටි ගණන් වු මුදල් තැන්පත් සහිත බැංකු ගිණුම් වෙයි. ස්ව කැමැත්තෙන් සිඟමනේ යෙදෙමින් සිඟමන්වල යෙදී දිනකට රුපියල් පන්දහසක්ටත් වැඩි මුදල් ප්‍රමාණයක් උපයන පිරිසක්ද සිටින අතර සිඟමන් යෙදෙන අවස්ථාවට ඔවුන්ගේ දක්නට ඇති නොහැකියාව සිඟමන් වෙලාවෙන් පසුව නොමැත. මේ ආකාරයෙන් මහජනතාව රවටා ඔවුන්ගේ අනුකම්පාව ලබාගෙන මුදල් ගසා කන ඇතැම් කූඨ පුද්ගලයන් සතුවද රුපියල් කෝටි ගණන් බැංකු ගිණුම් දරුවන්ට සුපිරි වාහන සහ වෙනත් ව්‍යාපාර ආදියද තිබේ. දිනපතා රජයේ හෝ වේවා පුද්ගලික අංශයේ වේවා සේවය කරන පිරිස දවස පුරා වෙහෙස මහන්සි වි කරන රැකියාවෙන් මාසයක් තිස්සේ උපයන මුදල මේ යාචකයන් විසින් එක් දිනකින් සොයයි. නැත්තටම නැති අහිංසක උම්මන්තක යාචකයන් වැනි කාගේවත් හව්හරණක් නැති පිරිස්ද වෙති. ඒ අතර සිඟමන ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන සුපිරි ව්‍යාපාරියකයන්ද තනි පුද්ගලයන් වශයෙන් රෝද පුටුවකට වී නොහැකියාව පෙන්වා ලක්ෂ ගණන් මුදල්, උපයමින් සුපිරි ජිවිත ගෙවන පිරිසක්ද වෙති.

මේ සියලු කුඨ ව්‍යාපාරවලින් මොවුන් මෙසේ මුදල් හම්බ කර ගන්නේ මහජනතාවගේ අනුකම්පාව හරහා ලැබෙන මුදල්ය. සිඟමන්වල යෙදෙමින් මහජනතාවට හිරිහැර වන පරිදි පොදු ප්‍රවාහන සේවාවල ගැවසෙන පිරිසටද නගරවල වාහන තදබදය ඇතිව රැඳී තිබෙන ස්ථාන සහ ට්‍රැෆික් ලයිට් සාංඥා කුලුනු අසල සිඟමනේ යෙදෙන පිරිසද එම කර්තව්‍ය සිදු කරනු ලබන්නේ ඉහත ව්‍යාපාරිකයන් විසින් සිඟමනේ යොදනු ලැබු වැඩිපිරිසක්ය. මොවුන්ගේ මේ හිරිහැරකාරී තත්ත්වය බොහෝ විට රජයෙන් නවතාලීමට පියවර ගනු ලැබුවද කෙසේවත් මොවුන්ගේ මේ ව්‍යාපාරය නවත්වන්නේ නොමැති බව පොලිසිය පවසයි.මේ සිඟමන් ව්‍යාපාරය හරහා දරුවන්ද දැඩි හිංසනයකට යොදන අවස්ථා බොහෝය. තම දරුවන් බව පෙන්වා වෙනත් පුද්ගලයන්ගේ කිරි බොන වයසේ දරුවන් පවා කර පින්නාගෙන සහ මහමඟ පයින් අැවිද්දවමින් බසයෙන් බසයට ගොඩ වද්දවමින් සෙනඟ අස්සේ පීඩාවට පත් කරවමින් දරුවන්ට දැඩි පිඩනයක් ඇති කරවයි. ඇතැම් පුද්ගලයන් කර පින්නාගෙන සිටින දරුවන් දවස පුරාම නින්දේ පසුවෙයි. මේ ආකාරයෙන් දවස පුරා නිදා සිටිමට නිදි පෙති හෝ කොලොන් වර්ග දරුවන්ට පොවන බවටද තොරතුරු හෙළි වෙයි. කිරි පොදක් වතුර පොදක් නොමැතිව දවස පුරා බඩ ගින්නේ මේ අහිංසක දරුවන් ගෙවන පීඩාව සම්බන්ධයෙන් හෝ දරුවන් සිඟමනේ යෙදවීම සම්පුර්ණයෙන්ම නීතියෙන් තහනම් දෙයක් වුවත් මේ පිරිස කිසිදු බාධාවකින් තොරව දරුවන් ඒ ආකාරයෙන් පීඩාවට පත් කරන අතර ඇතැම් විට එම දරුවන්ගේ මවුවරු ලෙස හෝ පියවරු ලෙස පෙනි සිටින පිරිස ඔවුන්ට පහර දෙමින් හිරිහැර කරන අවස්ථාද සුලබව දැකිය හැකිය.

මේ සිඟමන් ව්‍යාපාරයට අමතරව කොළඹ නගරයේ මෙන්ම තවත් නගරවලද ක්‍රියාත්මක වන ගණිකා ව්‍යාපාරය සමාජයේ අහිතකර තත්ත්වයකට පත්ව ඇත. විශේෂයෙන් කොළඹ නගරය සහ ඒ අවට ප්‍ර දේශවල සුපිරි නොවන තැන් තැන්වල ගැවසෙන ගණිකා ව්‍යාපාරයද විශාල වශයෙන් මුදල් හම්බ කරන ව්‍යාපාර බවට පත්ව තිබේ. තරුණ කාන්තාවන් යොදා තැරැව්කරුවන් සහ ත්‍රිරෝද රථ රියැදුරන් හරහා මේ ගණිකා ව්‍යාපාරය සිදු වෙයි. මේ යටතේ සවස් කාලය වන විට වාහනවලින් කාන්තාවන් රැගෙන ගොස් නගර ආසන්නයේ තැන් තැන්වල බස්සවනු ලබන්නේ සිඟමන් ව්‍යාපාරයේ යෙදෙන පිරිස බස්සවන ආකාරයටමය. මේ කාන්තාවන්ගේ මුදල් උපයා ගනු ලබන්නේ ව්‍යාපාරික කණ්ඩායමක් විසිනි. එය සමාජයට රහසක් නොවේ. එහෙත් මේ තත්ත්වය සමාජයට දැඩි ලෙස අහිතකර තත්ත්වයක් වනඅතර මේ පිරිස නිසා සමාජයේ ඇතැම් පිරිස අපහසුතාවට පත් කරවන අවස්ථාද බොහෝය. විශේෂයෙන් දිනපතා සේවයට යන තරුණ පිරිස මේ සඳහා ගොදුරු කර ගැනීම මේ ව්‍යාපාරයේ යෙදෙන කොන්ත්‍රාත්කරුවන්ගේ අරමුණ වෙයි.නගරයේ මේ පිරිසට කුලියට දෙන කාමරවලට අමතරව ඇතැම් ත්‍රිරෝද රථ හිමියන්ද, වෑන් රථ හිමියන් විසින්ද ඔවුන්ගේ වාහන ගණිකා ව්‍යාපාරය වෙත කුලියට දෙති. සවස් කාලයේත් රාත්‍රි කාලයේත් මේ රථ පාළු ස්ථානවල නවත්වා ඇත. මෙවැනි කුඨ ව්‍යාපාර නිසා සමාජයේ පැවැත්මට විශාල වශයෙන් හානිදායක දේ සිදු වන බවද කිවයුතු වෙයි.

නව අදහස දක්වන්න