කොල්ලුපිටියේ කෝටි 100 මත්කුඩු සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර | දිනමිණ

කොල්ලුපිටියේ කෝටි 100 මත්කුඩු සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

රුපියල් කෝටි සීයකට අධික වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ ඊයේ කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත් විදේශීය ජාතිකයන් ඇතුලු පස් දෙනා ලබන29 වනදා දක්වා රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (23) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබා දුන්නේය.

මහේස්ත්‍රාත් වරයා එලෙස අවසර ලබා දුන්නේ සැකකරුවන් පස් දෙනා ඉදිරිපත් කරමින් අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවය

උඩුගහපත්තුවගේ දොන් ඉන්දාජිත් පත්මකුමාර, හලෝලුව කංකානම්ගේ චමික දිමුතු අමරසිංහ යන ශ්‍රී ලාංකිකයන් දෙදෙනා සහ චම්ස් ඉෂාන් කවුඩා, ෆර්හාඩ් ෂකීර්, ෂවුන් ඇන්තනී මාර්ෂල් යනඅමරිකානුු, ඇෆ්ගනිස්ථානු ජාතිකයන් තිදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරමින් මේ වැටලීම සිදු කළ බව අධිකරණයට දැනුම් දුන්නේය.

ඩයිසැටමෝල් මෝෆීන් නොහොත් හෙරොයින් කිලෝ 95 ග්රූම් 88 ක් අත්අඩංගුවට ගනු ලැබූ බවත් පුද්ගලික ලද තොරතුරක් මත මේ වැටලීම සිදු කළ බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය ට ලැබුණු තොරතුරක් මත කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ල විදුලි සෝපානය අසලදී මොවුන් අත්අඩංගුවට ගත් බවත් කරුණු ඉදිරිපත් කරමින් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීම සඳහා අවසර අවසර ලබා දෙන ලෙස සිදු කළ ඉල්ලීමට මහේස්ත්‍රාත් වරයා අවසර ලබා දුන්නේය.

විමර්ශන සිදු කර ඉදිරි දින අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස පොලිස් විශේෂ කාර්ය බලකාය ට සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට මහේස්ත්‍රාත් වරයා නියෝග කෙළේය.

නව අදහස දක්වන්න