ශ්‍රී ලංකා පිල අද දිවා රාත්‍රී ටෙස්ට් තරගයට | දිනමිණ

ශ්‍රී ලංකා පිල අද දිවා රාත්‍රී ටෙස්ට් තරගයට

පිතිකරුවන්ට සහ පන්දු යවන්නන්ට ඔවුන්ගේ දායකත්වය උපරිමයෙන් ලබාදීමට හැකිවන්නේ නම් බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව අද (24) ඇරැඹෙන දිවා රාත්‍රී පළමු ටෙස්ට් තරගයේදී ආශ්චර්යයක් සිදු කිරීමට ශ්‍රී ලංකා පිලට හැකිවනු ඇතැයි නායක දිනේෂ් චන්දිමාල් විශ්වාසය පළ කරයි. වෝන් - මුරලි කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මේ ටෙස්ට් තරගමාලාවේ පළමු තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස අද ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8.30ට ආරම්භ වේ.

අද ඇරැඹෙන ටෙස්ට් තරගය පිළිබඳ ඊයේ ගැබා පිටියේ පැවැති මාධ්‍ය හමුවේදී මේ අදහස් පළ කළ චන්දිමාල් කියා සිටියේ පසුගියදා පැවැති ටෙස්ට් තරගමාලාවේදී ඉන්දීය පිල ඔස්ට්‍රේලියාව පරාජය කළ ආකාරය පිළිබඳ ඉතා මැනවින් අධ්‍ය්‍යයනය කළ බවය.

‘මේක නිසැකවම අපිට අභියෝගයක්. නමුත් මේ අභියෝගය අපිට බාර ගත හැකිනම් සහ පිතිකරුවකු හෝ පන්දු යවන්නකු ලෙස අපේ ක්‍රීඩකයන්ට සියයට දෙසියයක දායකත්වයක් කණ්ඩායමට ලබාදීමට හැකිවන්නේ නම් අපිට මෙහිදී ආශ්චර්යයක් සිදු කිරීමට හැකිවේවි. කණ්ඩායමක් හැටියට අපේ අවශ්‍යතාවයත් ඉන්දියාව සිදු කළ අන්දමේ විශිෂ්ට ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් ඔස්ට්‍රේලියාව මෙල්ල කිරීමයි.’ ඔහු කියා සිටියේය.

වත්මන් ඔස්ට්‍රේලියානු පිල අත්දැකීම් රහිත පිතිකරු පෙළගැස්මකින් සමන්විත වන අතර අත්දැකීම් බහුල පිතිකරුවන් වන හිටපු නායක ස්ටීවන් ස්මිත් සහ හිටපු උපනායක ඩේවිඩ් වෝනර් තරග තහනමකට ලක්වී සිටින බැවින් මෙය ශ්‍රී ලංකා පිලට ඔස්ට්‍රේලියානු භූමියේදී ටෙස්ට් ජයග්‍රහණයක් වාර්තා කිරීමට ලැබී ඇති අනගි අවස්ථාවකි.

‘අපි කවදාවත් ඔස්ට්‍රේලියානු පිල අවතක්සේරු කරන්නෙ නෑ. නමුත් ඔවුන්ගේ පිතිහරඹ අංශය අත්දැකීම් අඩු පිතිකරුවන්ගෙන් පිරුණු එකක්. ඉතින් අපිට වේලාසනින් කඩුලු කිහිපයක් බිඳ දමන්න අවස්ථාව ලැබුණොත් දැඩි අභියෝගයක් එල්ල කරන්න හැකිවේවි.’

ඔස්ට්‍රේලියානු පිල ඔවුන්ගේ භූමියේදීම පළමුවරට ටෙස්ට් තරගමාලාවකින් පරාජයට පත් කිරීමට ඉන්දිය පිල සමත්වූ අයුරු මේ වනවිට තම කණ්ඩායමේ දැඩි නිරීක්ෂණයට ලක්වූ බව කී චන්දිමාල් ඔස්ට්‍රේලියානු ඉනිම අතරතුර ඕවර 40 සිට 80 දක්වා කාලයේදී වැඩි ලකුණු ප්‍රමාණයක් නොදී සිටීමට තරම් ඉන්දීය පන්දු යවන්නන් සමත්වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ බව කීවේය.

‘ඔවුන් ඕවරයකට ලකුණු 3කට වඩා අඩුවෙන් ඔස්ට්‍රේලියානු පිතිකරුවන් රඳවා ගත්තා. ඔවුන්ට එම ටෙස්ට් තරගමාලාව ජයගැනීමට ප්‍රධානතම සාධකය වුණේ එය බවයි මගේ අදහස.’ චන්දිමාල් පැවැසීය.

පන්දුව ඉහළට ඉපිළෙන වේගවත් තණතීරුවක් ලෙස සැළකෙන ගැබා තණතීරුවේදී දස්කම් දැක්වීමට හැකියාව ඇති පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිල සතුව ඇතැයි ඔහු පවසයි.

‘සුරංග ලක්මාල්, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර අපේ ලොකුම වේගපන්දු තුරුම්පු. කුමාරට පැයට කිලෝමීටර් 140කට වඩා වේගයෙන් පන්දු යවන්න පුළුවන්. ඒක අපිට අතිරේක වාසියක්.’

වසර 1987දී පළමුවරට ඔස්ට්‍රේලියානු සංචාරයක නිරතවූ ශ්‍රී ලංකා පිල මේ දක්වා ගතවූ දශක 3කට අධික කාලය තුළ ටෙස්ට් තරගයක් ජයගැනීමට අසමත්වූ අතර පැවැති ටෙස්ට් තරග 13කින් තරග 11ක්ම පරාජයට පත්විය. දෙපිල අතර මෙතෙක් පැවැති ටෙස්ට් තරග සංඛ්‍යාව 29කි. ඉන් තරග 17ක් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වෙද්දී ශ්‍රී ලංකාව ජය ලැබුවේ තරග 4ක් පමණි. ඉන් තරග 3ක්ම ශ්‍රී ලංකාව ජය ලැබුවේ 2016 වසරේ දෙපිල අතර අවසන් වරට ශ්‍රී ලංකාවේ පැවැති තරග 3කින් සමන්විත ටෙස්ට් තරගමාලාවේදී 3-0කින් ලෙසටය. මේ ඉතිහාසය වෙනස් කරමින් ඔස්ට්‍රේලියානු භූමියේදී ටෙස්ට් තරගමාලාවක් ජයගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රිකට් නායකයා බවට පත්වීමට තමාට අවශ්‍ය බව චන්දිමාල් සඳහන් කළේය.

මේ අතර ඉන්දීය පිල වෙතින් ටෙස්ට් තරගමාලාවක පරාජයක් අත්විඳි තම පිතිකරුවන්ට ශ්‍රී ලංකාවට එරෙහිව අද ආරම්භ වන තරග 2කින් සමන්විත ටෙස්ට් තරගමාලාව ජයග්‍රහණය කරා රැගෙන යන ලෙස ඔස්ට්‍රේලියානු පිලේ පුහුණුකරු ජස්ටින් ලැන්ගර් සිය කණ්ඩායමෙන් ඉල්ලා සිටී.

ඔස්ට්‍රේලියානු පිල ශක්තිමත් කිරීමට ලකුණු අතරේ සිටින පිතිකරු ජෝ බර්න්ස් යළි කණ්ඩායමට කැඳවා ඇති අතර පසුගියදා ශ්‍රී ලංකා පිල සමග පැවැති තුන්දින පුහුණු තරගයේ ඉනිම් 2දීම නොදැවී ශතක වාර්තා කළ කර්ටිස් පැටර්සන් ද පළමුවරට ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් කර තිබේ.

මිට පෙර අවසන් වරට වසර 2012දී ඔස්ට්‍රේලියානු සංචාරයේ නිරතවූ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අද තරගයට එක්වන්නේ දිමුත් කරුණාරත්න, නායක චන්දිමාල්, ළහිරු තිරිමාන්න සහ සුරංග ලක්මාල් පමණි. එම තරගමාලාවට වේගපන්දු යවන නුවන් ප්‍රදීප් ඇතුළත්ව සිටියද ඔහු ආබාධයක් හේතුවෙන් මේ සංචාරයෙන් ඉවත්ව සිටී.

ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න