සෙරීනා ගෙදර යවා කැරොලිනා අවසන් පූර්ව වටයට | දිනමිණ

සෙරීනා ගෙදර යවා කැරොලිනා අවසන් පූර්ව වටයට

ලෝක ටෙනිස් පිටියේ කිරුළු පළන් රැජන ලෙස විචාරකයන්ගේ නොමඳ පැසසුමට ලක්වූ අමෙරිකාවේ සුපිරි ක්‍රීඩිකා සෙරීනා විලියම්ස්ගේ 24 වැනි වාර්තාගත ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලානයේ සිහිනය බොඳ කර දැමූ චෙක් රාජ්‍ය යේ කැරොලිනා ප්ලිස්කෝවා ලකුණු 6-4ක්, 4-6ක් සහ 7-5ක් ලෙස ජය වාර්තා කරමින් පළමු වරට ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඊයේ සමත්වූවාය.

තරගය අතරතුරදී සිය වම් පාදයේ වළලුකරේ ඇතිවූ ආබාධයක් නිසා වරින් වර පසුබෑමකට ලක්වූ ග්‍රෑන්ඩ් ස්ලෑම් රැජන 37 හැවිරිදි සෙරීනා ඊයේ තරගය පුරාම දැඩි පීඩනයට හසුකළ කැරොලිනාට ජයග්‍රහණය අත්පත් කරගැනීමට පැය දෙකකුත්, මිනිත්තු 10ක් ගතවිය. මෙල්බර්න් නුවර රොඩ් ලේවර් ටෙනිස් පිටියේ පැවැති මේ තරගයේ ආරම්භයේ සිටම සෙරීනා විලියම්ස්ගේ ජයග්‍රහණය වෙනුවෙන් අනාවැකි පළවී තිබුණත් ඒ සියල්ල බිඳ දැමූ 26 හැවිරිදි කැරොලිනා මේ පිවිසියේ ඇගේ තුන්වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් පූර්ව වටයටය.

ඊට පෙර පළමු වතාවට 2016දී අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් මහා තරගයට එක්වූ කැරොලිනා එහිදී ජර්මනියේ ඇන්ජෙලික් කේබර් හමුවේ පරාජයට පත්වෙමින් අනුශූරතාවයෙන් පමණක් සෑහීමට පත්වූවාය. අනතුරුව 2017 වසරේ ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි ඇයට එහිදී සිමෝනා හැලේප් හමුවේ පරාජයට පත්වූවාය.

‘මගේ පාදයේ ආබාධයක් මතුවුණා තමයි. නමුත් ඇය ඉතා විශිෂ්ට අන්දමින් ක්‍රීඩා කළ බව කියන්න ඕනා. මොකද තරගය අතරතුර මගේ අතින් වැරැදි ගණනාවක්ම සිදුවුණා.’ මීට පෙර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කිරුළට 7 වතාවක්ම හිමිකම් කී සෙරීනා තරගයෙන් පසුව එසේ පැවැසුවාය.

ඊයේ සෙරීනා පරාජය කළ කැරොලිනා අද (24) ජපානයේ නයෝමි ඔසාකා සමග අවසන් පූර්ව වටයේදී තරග වැදීමට නියමිතය. පසුගිය වසරේ අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් මහා තරගයේදී සෙරීනා විලියම්ස් පරාජය කරමින් සිය පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළ දිනූ ඔසාකා ඊයේ යුක්රේනයේ එලීනා ස්විටෝලිනා ලකුණු 6-4ක් සහ 6-1ක් ලෙස පහසුවෙන් පරාජය කිරිමට සමත්වූවාය.

සිය කුළුඳුල් ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළ දිනාගැනීමට දැන් සිහින මවමින් සිටින කැරොලිනා අද තරගය ගැන දැඩි විශ්වාසයකින් යුතුව පසුවන්නීය.

‘නයෝමි ඔසාකා භයානක වුණත් සෙරීනා තරම් භයානක කිසිම ක්‍රීඩිකාවක් නෑ’ ඇය එසේ කීවාය.

මේ අතර ඊයේ පිරිමි අර්ධ අවසන් පූර්ව වටයේ තරගයට එක්වූ ජපානයේ කයි නිෂිකෝරි පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගයෙන් ඉවත්වෙද්දි ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරිම්වල අංක එකේ ක්‍රීඩක සර්බියාවේ නොවැක් ඩිජොකෝවික් ලකුණු 6-1ක් සහ 4-1ක් ලෙස ඉදිරියෙන් සිටි බැවින් තරගයේ ජයග්‍රහණය ඩිජොකෝවික්ට හිමිවිය. සිය 7 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව හඹා යන ඩිජොකෝවික් අවසන් පූර්ව වටයේදී තරග වැදීමට නියමිතව ඇත්තේ ප්‍රංශයේ ලූකාස් පවුලි සමගය. ඔහු කැනඩාවේ මිලෝස් රෝනික් ලකුණු 7-6ක්, 6-3ක්, 6-7ක්, සහ 6-4ක් ලෙස පරාජයට පත් කරමින් සිය පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් පූර්ව තරගයට එක්වී සිටී.

නව අදහස දක්වන්න