ක්‍රීඩා අමාත්‍යාංශය ඇණවුම් කළ රු. ලක්ෂ 90ක උපකරණ තොගය නියම ප්‍රමිතියෙන් තොරයි | දිනමිණ

ක්‍රීඩා අමාත්‍යාංශය ඇණවුම් කළ රු. ලක්ෂ 90ක උපකරණ තොගය නියම ප්‍රමිතියෙන් තොරයි

ප්‍රින්ස් ගුණසේකර

ක්‍රීඩා අමාත්‍යාංශ විසින් ඇණවුම් කළ රුපියල් ලක්ෂ 90ක පමණ ක්‍රීඩා උපකරණ තොගයක් නියම ප්‍රමිතියෙන් තොර බවට හඳුනා ගැනෙයි. එබැවින් එම බාල වර්ගයේ උපකරණ තොගය ක්‍රීඩා භාණ්ඩ අලෙවිකළ සමාගම රැගෙන ගොස් නියම ප්‍රමිතියෙන් යුතු ක්‍රීඩා භාණ්ඩ ලබාදිය යුතුව ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් ‘දිනමිණ’ට පැවැසීය.

කබඩි මෙට්ට තොගයක් ක්‍රීඩා අමාත්‍යාංශය මිළදී ගෙන රටපුරා පළාත් 9ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුව උදෙසා ලබාදීමට සැලසුම් කොට තිබූ අතර එම මෙට්ට තොගය මෙයට දින කිහිපයට පෙර ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රීඩා උපකරණ අලෙවි සමාගමකින් ලබාගෙන තිබිණි. එහෙත් සාම්පලයේ පෙන්වූ මෙට්ටවලට වඩා හාත්පසින්ම වෙනස් නියම ප්‍රමිතියෙන් තොර බාල මෙට්ට තොගයක් ලැබී ඇතැයි කබඩි සම්මේලනය හා කබඩි ක්‍රිඩාවට අදාළ නිලධාරියෙක් කළ පැමිණිල්ලක් අනුව මේ උපකරණ තොගය හරවා යැවීමට කටයුතු යෙදී ඇත.

ශ්‍රී ලංකා කබඩි කණ්ඩායමේ නායකයාද උපකරණ තොගය බාල වර්ගයේ ඒවා බව තහවුරු කොට ඇති හෙයින් මේ වරද නිවැරදි වන්නේ කෙසේදැයි බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවේ. බාල වර්ගයේ උපකරණ ගැන තොරතුරු හෙළිවීමෙන් පසු ක්‍රීඩා අමාත්‍යාංශයේ මූල්‍ය අංශ ප්‍රධානියෙකු විසින් අදාළ ක්‍රීඩා භාණ්ඩ අලෙවි ආයතනය අසාධූ ලේඛනයට ඇතුළත් කරන බව දන්වා ලිපියක් යොමු කරන බවත්, මුදල් ගෙවීම අත්හිටුවන බවත් පවසා ඇතැයි වාර්තා වේ.

මෙයට කලින් රුපියල් මිලියන 70ක පමණ මුදලක් වැයකොට පාසල්වලට හා ක්‍රීඩා සමාජවලට බෙදාදීමට මිලදී ගත් ක්‍රීඩා භාණ්ඩ තොගයක් කන්ටේනර් 3ක් තුළ හා කිසිදු ගබඩා පහසුකමක් නොමැතිව වසර දෙකක් තිස්සේ දිරාපත්වෙමින් තිබූ පුවතක් ද ‘දිනමිණ’ මගින් වාර්තා කළේය. ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් ටොරින්ටන් ක්‍රීඩා පිටිය ආසන්නයේ ගසක් යට නවතා තිබූ කන්ටේනර් තුළ, එයට යාබදව පිහිටි පැරණි ගොඩනැගිල්ලක් තුල හා කෘත්‍රීම හොකී පිටිය අසල ක්‍රීඩාගාරය තුළ මේ ක්‍රීඩා භාණ්ඩ තොගය අනාරක්ෂිතව තබා තිබුණි.

මේ කන්ටේනර් තුළ හා පැරණි ගොඩනැගිලි තුළ ඇති ක්‍රීඩා භාණ්ඩ පුස් බැදී විනාශ වෙමින් පැවැති අතර , ඒවා මීයන්, කැරපොත්තන් වැනි සතුන්ගේ ක්‍රීඩා පිටියක් බවට පත්ව තිබෙන අයුරු ද දිස්විය. මේ උපකරණ අතර ක්‍රිකට් පිති 1300ක්, ක්‍රිකට් කඩුලු 2500ක්, ටෙනිස් බෝල් 2800ක්, වොලිබෝල් 3800ක්, නෙට්බෝල් 2000ක්, බැඩ්මින්ටන් ෂටල් කොක් 1800ක්, හොකී බෝල 750ක්, කැරම් බෝඩ් 402ක්, ටේබල් ටෙනිස් පන්දු 480ක්, පාපන්දු හා හෑන්ඩ්බෝල් තොගයක් විනාශ වෙමින් පවතී.

මෙයට අමතරව ටයිකොන්ඩෝ, ජිම්නාස්ටික්, මලල ක්‍රීඩා හා බර ඉසිලීම වෙනුවෙන් මිළට ගත් මෙට්ට 500ක් පමණ, ක්‍රීඩා තරග විනිශ්චය සදහා ගත් විසිල් 514ක්, විනිසුරු ස්ටොප් වොච් 514ක්, මීටර් 30 ටේප් 2000ක්, ක්‍රීඩක ව්‍යායෑම් වෙනුවෙන් උපයෝගී කරගන්නා අභ්‍යාස කෝන් 3000ක්, වෛද්‍ය පන්දු කිලෝග්‍රෑම් 5න් 725ක්, වෛද්‍ය පන්දු කිලෝග්‍රෑම් 2න් 3250ක් ගබඩා විනාශ වෙමින් තිබුණි.

ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක ක්‍රීඩා ශක්ති වැඩසටහන වෙනුවෙන් මේ ක්‍රීඩා භාණ්ඩ මිළදී ගෙන තිබූ අතර එම භාණ්ඩ විනාශවීම පිළිබඳ කිසිදු අයෙකු වගකීමකට යටත්ව නොතිබුණි.

නව අදහස දක්වන්න