ලොව හොඳම ක්‍රිකට් විනිසුරු සම්මානය දෙවැනි වරටත් දිනූ කුමාර් ධර්මසේන | දිනමිණ

ලොව හොඳම ක්‍රිකට් විනිසුරු සම්මානය දෙවැනි වරටත් දිනූ කුමාර් ධර්මසේන

ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවට නව පිටුවක් එකතු කළ හිටපු විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක කුමාර් ධර්මසේන මහතා දෙවැනි වතාවටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වසරේ හොඳම විනිසුරුවරයා ලෙස අභිෂේක ලැබුවේය. මීට වසර 6කට පෙර එනම්, 2012 වසරේදී පළමු වරට හොඳම විනිසුරුවරයාට පිරිනැමෙන මේ ඩේවිඩ් ශෙපර්ඩ් සම්මානයෙන් පිදුම් ලැබූ කුමාර් ධර්මසේන මහතා මෙවර ලෝක පූජිත ක්‍රිකට් විනිසුරුවරුන් රැසක් අභිබවා දෙවැනි වරටත් සම්මානයෙන් පිදුම් ලැබීමෙන් සිය විනිසුරු දිවියට නව පන්නරයක් අත්කර ගත්තේය.

වසර 1993 සිට 2004 දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දස්කම් පෑ මේ විශිෂ්ට නාලන්දීය ක්‍රීඩකයා වසර 1989දී ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනාගනිමින් ජාතික පිලට සේන්දුවූ තවත් සුපිරි ක්‍රිකට් තරුවකි.

වසර 2006දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසුව 2009දී ලෝක ක්‍රිකට් විනිසුරුවරයකු ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දඹුල්ලේ පැවැති එක්දින තරගයෙන් සිය දෙවැනි ගමන ආරම්භ කළ ධර්මසේන මහතා එදා වාර්තාපොතට එක්වූයේ ඕනෑම මුහුණුවරක ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක විනිසුරුවරයකු ලෙස කටයුතු කළ ලාබාලතම ශ්‍රී ලාංකිකයා ලෙසිනි.

‘පසුගිය වසර මා ඉතාමත් තෘප්තියට පත්වූ වසරක්. අයි.සී.සී.යෙන් මේ සම්මානය ලබාගැනීමට හැකිවීම මට විශාල ගෞරවයක්. පළමුවරට මේ සම්මානයෙන් පිදුම් ලැබීමෙන් පසුව වසර 6ක කාලයක් පුරා මා විනිසුරුවරයකු ලෙස පැමිණි ගමන් මග තව දුරටත් මා වඩාත්ම ප්‍රිය කරන මේ රාජකාරිය ඉහළින්ම ඉටු කිරීමට මා දිරිගැන්වූවා.’ මීට වසර 30කට පෙර ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් ලැබූ දිරියත් සමග ජාතික කණ්ඩායමට එක්ව පන්දුවෙන් හා පිත්තෙන් විශිෂ්ට කාර්යභාරයක් ඉටු කළ ධර්මසේන මහතා එසේ කීවේය. එමෙන්ම මේ සම්මානය මෙරට සෙසු ක්‍රිකට් විනිසුරුවරුන්ට ද ලැබුණු කදිම උත්තේජනයක් බව ඔහුගේ අදහස වී තිබේ.

‘මම නිතරම ක්‍රිකට් ක්‍රීඩාවට ඇලී ගැලී සිටින ක්‍රීඩාලෝලියෙක්. එකළ ක්‍රීඩකයකු හැටියට මෙන්ම අද විනිසුරුවරයකු හැටියටත් මා මේ විශිෂ්ට ක්‍රීඩාවේ නාමයෙන් මටම අභියෝග කරගනිමින් කැපවීමෙන් යුතුව කටයුතු කළා. මගේ මේ සාර්ථකත්වය පසුපස මට ශක්තියක් වූ මගේ බිරිඳටත්, මගේ රාජකාරිය අවබෝධ කරගනිමින් සහයෝගය ලබාදෙන මගේ දරුවන්ටත් ස්තූති කළ යුතුයි.’ 47 හැවිරිදි කුමාර් ධර්මසේන මහතා වැඩි දුරටත් කියා සිටියේය.

‘මගේ පුහුණුකරු පීටර් මැනුවෙල් මහතාට ස්තූති කළ යුතුයි. මගේ විනිසුරු දිවියේ ආරම්භයට ඔහුගේ මගපෙන්වීම ලබාදීම ගැන. ඒ වගේම අයි.සී.සී.යේ සියළුම විනිසුරුවරුන්ටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් මේ අවස්ථාවේදී මම ස්තූතිය පුද කරනවා. වසර ගණනාවක් පුරා මට ලබාදුන් ධෛර්යය හා සහයෝගය වෙනුවෙන් මගේ සමකාලීන සගයන්ටත්, ස්තුති කළ යුතුමයි. එවැනි සහයෝගයක් නොලැබුණානම් මට මෙවැනි සාර්ථකත්වයක් නොලැබෙන්න තිබුණා.’ ධර්මසේන මහතා සිය ජයග්‍රහණය වෙනුවෙන් සියළු පාර්ශ්වයන්ට එසේ ස්තූතිය පුද කරයි.

කුමාර් ධර්මසේන මහතා අයි.සී.සී.යේ සුපිරි විනිසුරු මණ්ඩලයේ සාමාජිකයකු බවට පත්වූයේ 2011 වසරේ ලෝක කුසලාන තරගමාලාවේදී විනිසුරුවරයකු ලෙස විශිෂ්ට කාර්යභාරයක් ඉටු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. එහෙත් ඔහුගේ විනිසුරු දිවියේ විශිෂ්ටතම ජයග්‍රහණය වූයේ 2012දී වසරේ හොඳම විනිසුරු ලෙස පළමුවරට සම්මානයෙන් පිදුම් ලැබීමය. දැන් මෙවර නැවතත් එම සම්මානය දිනාගැනීමෙන් ඔහුගේ ජයග්‍රහණය දෙගුණයක් බවට පත්වී තිබේ.

වසර 1971 අප්‍රේල් මස 24 වැනිදා හඳුන්නෙත්තිගේ දීප්ති ප්‍රියන්ත කුමාර් ධර්මසේන නමින් කොළඹ දී උපත ලැබූ කුමාර් ධර්මසේන මහතා නාලන්දා විදුහලෙන් බිහිවූ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩකයාය. හෙතෙම 1989දී ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ගෞරවනීය සම්මානයෙන් පිදුම් ලැබීමට පෙර අවස්ථා තුනකදීම එම සම්මානයේ දෙවැනි ස්ථානයට පත්විය. මුලින්ම 1988 සම්මාන උළෙලේදී ආනන්ද විදුහලේ සංජීව රණතුංග එම සම්මානය දිනාගනිද්දී අනුශූරයා බවට පත්වූ ධර්මසේන මහතා 1990 වසරේදී එම විදුහලේම මාවන් අතපත්තු සම්මානයට පාත්‍ර වෙද්දී සහ 1991 වසරේදී කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහලේ මුත්තයියා මුරලිදරන් සම්මානය දිනාගනිද්දී පිට පිට දෙවතාවේදීම දෙවැනි ස්ථානය ලැබුවේය.

කුමාර් ධර්මසේන මහතා ක්‍රිකට් පිටියෙන් සමුගනිද්දී ටෙස්ට් තරග 31කදී ලකුණු 868ක් සහ කඩුලු 69ක් ද, එක්දින තරග 141කදී ලකුණු 1222ක් සහ කඩුලු 138ක් ද ලබාගැනීමට සමත්ව තිබිණි. කඩිසර ක්‍රීඩකයකු ලෙස ජාතික පිලේ කැපී පෙණුනු මේ විශිෂ්ට ක්‍රීඩකයා ‘උනන්දුවා’ එකළ කණ්ඩායමේ සෙසු සගයන් අතර ආදරයට පාත්‍රව සිටියේය.

වසර 1996 දී ශ්‍රී ලංකාව එක්දින ලෝක ශූරයන් ලෙස අභිෂේක ලැබූ අවස්ථාවේදී කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩකයකු බවට පත්වූ ධර්මසේන මහතා පසුකළෙක එනම්, 2015 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාවේදිත් විනිසුරුවරයකු ලෙස කටයුතු කළ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාවකදි ක්‍රීඩකයකු ලෙසත්, විනිසුරුවරයකු ලෙසත් කටයුතු කළ ලොව පළමු පුද්ගලයා ලෙස අසමසම වාර්තාවකට ද හිමිකම් කියයි.

කුමාර් ධර්මසේන මහතා ක්‍රීඩකයකු ලෙස මෙන්ම වර්තමානයේ දී ක්‍රිකට් විනිසුරුවරයකු ලෙසත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ජයගැනීමට සමත්වීම මේ වසරේදී ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙලේදී ගෞරවයට පාත්‍රවන සියළු පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට කදිම උත්තේජනයකි.

ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න