නිවෙස අපේ බස් රියයි | දිනමිණ

නිවෙස අපේ බස් රියයි

 හෂේන් ගයනෙත් වයස 9ක් වු පුංචි දරුවෙකි. ඔහු මහියංගණ මැදයාය කනිෂ්ඨ විද්‍යාලයේ 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ඔහු පාසල් යන්නේ පාරේ නවතා තිබෙන බස් රථයක සිට ය. ඉඩමක් නොමැතිකමින් ඔහුගේ පවුලේ සියලු දෙනාම කලක සිට පීඩා විඳින අතර කුලී නිවෙස් වල කුලී ගෙවා ගැනිමට නොහැකිව අවසානයේ ඔවුන් බස් රථය නිවෙසක් ලෙස සකසා ගෙන මහ මඟ දිවි ගෙවන්නට පුරුදු වී ඇත.

බොහෝ දරුවන් නිවසේ සිට පාසැල් යන විට හෂේන් නිවසක් කරගත්තු බස් රථයක සිට පාසැල් යයි.ඔහුට අනිත් දරුවන් සේ පාඩම් කරන්න පහසුකම් නොමැත. රාත්‍රියට විදුලි ආලෝකය නොමැත. පොත් පත් තියාගන්නට විශේෂ තැනක් නොමැත. ඒ වගේම ඔහුට ම කියා කාමරයක් නොමැත. නිදාගන්න ඇඳකුත් නොමැත. ඔහු ඇතුළු පවුලේ සියල්ලන් නිදාගන්නේ බස් රථය තුළ මෙට්ටයක් බිම දමා සකසා ගත් තැනකය.

හෂේන්ගේ මව ගයානි කාංචනමාලා අනුරාධපුර තිරප්පනේ පදිංචිව සිට ඇති අතර පියා විමල් විජේරත්න වේ. ඔහු දෙහිඅත්තකණ්ඩිය ලිහිනියාගම ප්‍රදේශයේ උපන්නෙකි. ඔහු අවුරුදු 9ක් රියැදුරෙකු ලෙස රැකියාව කළ තැනැත්තෙකි.

ඔවුන්ට ගෙයක් හදාගන්න ඉඩමක් නොමැත. විමල් සහ ගයානි විවාහවී දීර්ඝ කාලයක් කුලී නිවාස වල ජීවත් වෙමින් සිට ඇත.

ඔවුන් ෆිනෑස් සමාගමකින් ණයට රුපියල් 365000කට පරණ බස් රථයක් අරගත්තේ ඉන් පසුවය. ඔවුන් අතේ තිබුණු රුපියල් 10000ක් අරගෙන ලොකු ණයක් දෙන්න බැංකු නිලධාරින් ඔවුන් ට කාරුණික වූ නිසා ඔවුන් ගේ සිහිනය සැබෑ විය.

පසුව බස් රථය ධාවනය කරන්න මාර්ග බලපත්‍ර සකස් කර ගැනීමට රුපියල් ලක්ෂ 6-7ක් වියදම් වන බැවින් ඒ සිහිනයත් අතහැරලා දමන්නට ඔවුන්ට සිදු විය.

බස් රථය සඳහා වාරිකය ගෙවන අතර තුර නිවෙසේ කුලිය ගෙවාගන්න නොහැකිව අපහසුතාවට පත් වන විට ඔවුන්ට යන්න වෙන තැනක් නොමැති නිසා ණයට ගත්ත බස් රථයේ අාසන ගලවා නිවෙසක් මෙන් සකස් කරගෙන බස් රථයේ ම ඊට පහසුකම් ඇති කුස්සියකුත් සාදාගෙන කෑම පැකට් හදන රස්සාව සිදු කරයි.

ඔවුන්ගේ බස් නිවෙස නතර කර ඇත්තේ මහියංගණ-බදුල්ල ප්‍රධාන මාර්ගයේ මහියංගණ රජ මහා විහාරස්ථානය ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අයිනේ ය. බස් රථයේ ජීවිතය පටන් ගත්ත කාලයේ සිට මේ දක්වා සිය පුතුගේ අධ්‍යාපන කුසලතාව න් සහ දක්ෂතා අඩුවෙමින් යන බව ඔහුගේ අම්මා පැවසුවා ය.

ඔවුන්ට වැසිකිළි පහසුකම් නැත. වැසිකිළි යන්නේ මහියංගණ රජමහා විහාරස්ථානයේ පොදු වැසිකිළි වලටය. බස් රථය එක තැන නතර කරලා තිබූ නිසා දැන් ස්ටාට් වෙන්නෙත් නැත. රෙදි සේදීමට වතුර ගේන්න ලොකු දුරක් පයින් යන්න සිදුවී ඇත.

බස් රථයේ ණය ගෙවාගන්නත් නොහැකිව වාරික 5-6ක් මඟහැරී ඇති අතර නොබෝ දිනකින් ඔවුන් ජීවත්වන බස් රථය ද අහිමි වන තත්ත්වයකට පත් වී ඇති බව ඔවුහු පවසති.

දරුවන් වෙනුවෙන් පින්වත් කෙනෙක් ඉදිරිපත් වෙලා කටු මැටි ගෙයක් හරි හදාගන්න පුංචි ඉඩම් කෑල්ලක් දෙනවානම් පිනක් බව බැගෑපත්ව ඔවුහු ඉල්ලා සිටිති.

ඔවුන් වෙනුවෙන් මුදලින් උපකාර කිරිමට කැමැති අයකු වේ නම් නොච්චියාගම ලංකා බැංකු ශාඛාවේ (Branch Code 656) ජී. ඩබ්ලිව්. ජී. කාංචනමාලාගේ 6475532 දරණ ගිණුමට මුදල් තැන්පත් කර පිහිටක් විය හැකිය. වැඩි දුර තොරතුරු දැනගැනිම සදහා දුරකථන 0774279253 / 0773036313ට කතා කර විස්තර විමසිය හැකිය.

සටහන හා ඡායාරූප -
මාපාකඩවැව සමූහ එච්. එම්. රංජිත් කරුණාවීර 

නව අදහස දක්වන්න