දේශීය චිත්‍රපට කර්මාන්තයේ උන්නතියට කටයුතු කරනවා | දිනමිණ

දේශීය චිත්‍රපට කර්මාන්තයේ උන්නතියට කටයුතු කරනවා

උපාලි කරුණාරත්න

ජාතික චිත්‍රපට සංස්ථාවේ පිරිසිදු ප්‍රගතියක් ඇති කරමින් දේශීය චිත්‍රපට කර්මාන්තය පෙරට ගෙන යන බව නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

හිතවත්කම් පෙන්වමින් චිත්‍රපට ක්ෂේත්‍රයේ හෝ චිත්‍රපට සංස්ථාව තුළ කිසිවකුට වැරදි ලෙස කටයුතු කිරීමට ඉඩ නොදෙන බව ද ඇමැතිවරයා කීය.

චිත්‍රපට සංස්ථාව නිර්මාණය කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වත්මන් දේශපානඥයන්ට බොහෝ ආදර්ශ ලබා දී ඇති බව ද සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා පැවැසීය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලාංකේය සිනමාවට වසර 72ක් සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 47ක් සපිරීමේ සැමරුම් උළෙලට සහභාගි වෙමිනි. මෙය පෙරේදා(22) කොළඹ බෞද්ධාලෝක මාවත ජාතික චිත්‍රපට සංස්ථාවේ දී පැවැත්විණ.

මෙහි දී දේශීය සිනමාව වෙනුවෙන් අගනා මෙහෙවරක් ඉටුකළ කලාකරුවන් පහළොවක් සඳහා රුපියල් 50,000 බැගින් මූල්‍ය ආධාර ද වියපත් කලාකරුවන් සහ කාර්මික ශිල්පීන් 35 දෙනකුට විශ්‍රාම වැටුප් පිරි නැමීම ද මෙහි දී සිදුවිය. ඩොනල්ඩ් අසිරිමත් සිනමා රූපාවළිය ග්‍රන්ථය සහ චිත්‍රපට සඟරාවේ කලාපයක් ද මෙම උත්සවයේ දී එළි දක්වන ලදී.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා-

ප්‍රවීණ කලාකරුවන් රැසක් මෙම සැමරුමේ දී උපහාරයෙන් පිදුම් ලබනවා. මට සංස්කෘතික අංශයත් ලැබීමෙන් පසු සිනමා ක්ෂේත්‍රයේ වර්තමානයේ පවතින සැබෑ තත්ත්වය පිළිබඳ ප්‍රවීණයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට ද අවස්ථාවද උදාවුණා. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය ද මා මෙහෙයවන්නෙ ඉලක්ක ගත වැඩ පිළිවෙළකට. චිත්‍රපට සංස්ථාව ද යම් ඉලක්කගත වැඩ පිළිවෙළක් කරා යොමුකළ යුතුයි. කලා ක්ෂේත්‍රය සාර්ථක අන්දමින් ඉදිරියට මෙහෙයවන්න සංස්කෘතික කටයුතු ඇමැතිවරයා වශයෙන් කටයුතු කරන බව මා මේ අවස්ථාවේ දී ප්‍රකාශ කරනවා. එම කාර්යයයේ දී විවිධ පුද්ගල න්‍යාය පත්‍රවලට හසු නොවී යට නොවී කටයුතු කරන බව ද පවසනවා.

මෙම අවස්ථාව සඳහා මහා මාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා, මහාචාර්ය පැට්ට්‍රික් රත්නායක මහතා, කලාකරුවන්, ජාතික චිත්‍රපට සංස්ථාවේ නිලධාරීහූ රැසක් සහභාගි වූහ.

ඡායාරූපය - ශාන් රඹුක්වැල්ල


නව අදහස දක්වන්න