බහුජාතික සමාගම් අභියෝගයක් නොවේ | දිනමිණ

බහුජාතික සමාගම් අභියෝගයක් නොවේ

විවිධාංගීකරණය වූ දේශීය ව්‍යාපාර අතර රයිගම් සමූහයට හිමිවන්නේ මූලික ස්ථානයක්. ඉතාමත් කුඩා ව්‍යාපාරයක් ලෙස දැනට වසර 20 කට පෙර ඇරඹි එය අද මෙරට ප්‍රමුඛ පෙළේ දේශීය ව්‍යාපාර අතරට පැමිණ සිටින දැවැන්තයෙකි. ඒ දැවැන්ත බව වඩාත් ඉස්මතුවන කරුණු අතර රයිගම් ටෙලි සම්මාන උළෙලද කැපීපෙනේ.

වසර 20 ක් සපුරන රයිගම් ව්‍යාපාරය පිළිබඳව මෙන්ම මෙරට ප්‍රමුඛතම ටෙලිසම්මාන උළෙල පිළිබඳවත් විමසීමට අප හමුවූයේ “The Kingdom of RAIGAM” හි ‘රජු’ හෙවත් රයිගම් සමූහයේ සභාපති ආචාර්ය රවී ලියනගේ මහතායි.

ව්‍යාපාරිකයකු වීම පිළිබඳව සිහිනයක් ඔබට තිබුණාද?

ඕනෑම දෙයක් සාර්ථක කරගත හැක්කේ ඒ පිළිබඳ දැක්මක් තිබේනම් පමණයි. කුඩා කාලයේ සිටම මගේ වැඩි කැමැත්තක් තිබුණේ ව්‍යාපාරිකයකු වීම සඳහායි.

කෙනෙකුගේ අරමුණු ගොඩනැ‍ඟෙන්නේ මේ කියන සිහිනය මතයි. විශ්වවිද්‍යාලයේදී කළමනාකරණය උගන්වනවිට කියනවා ව්‍යාපාරයක් දියුණු කිරීමට මැනවින් කළමනාකරණය කළ හැක්කේ දැක්මකට අනුව බව. කෙනෙකුට අරමුණකින් තොරව ව්‍යාපාරයක් නොවේ කිසිවක් සාර්ථකව කරගත නොහැකියි. එහෙත් සිහින දුටු පමණින් සාර්ථකත්වයට පත්විය නොහැකියි. මුලින්ම ස්ථාවර අදහසක් තිබිය යුතුයි. ඒ අදහස අරමුණක් ලෙස ගොඩනඟාගත යුතුයි. ඉන් අනතුරුව පියවරින් පියවර ඊට ළඟාවිය හැකි මඟ සකස්කරගත යුතුයි.

කළමනාකරණ පිළිබඳ ලබාගත් උපාධිය ඔබගේ ව්‍යාපාරයට ශක්තිමත් පදනමක් වන්නට ඇති?

ලබාගත් සිද්ධාන්ත දැනුම ප්‍රායෝගිකව අත්හදාබැලීමට හොඳ අවස්ථාවක් වුණා. කළමනාකරණය ඉගෙන ගැනීමෙන් අනතුරුව බොහෝ අය රාජ්‍ය අංශයේ පෞද්ගලික අංශයේ කළමනාකරුවන් ලෙස සේවයට එක්වෙනවා. ඇතැම් අය රාජ්‍ය පරිපාලනය මෙන්ම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සඳහා සම්බන්ධ වෙනවා. මේ දේවල් සඳහා එකතුවීමේ අවස්ථාව තිබියදීත් මට වුවමනා වූයේ මගේම ව්‍යාපාරය ඇරඹීම, ඒ නිසා මුල්කාලීනව දුෂ්කර වෑයමකයි නිරත වුණේ. නමුත් ගෙවුණු වසර 20 දෙස නැවත හැරී බලනවිට ඉතිරිව තිබෙන්නේ නිර්ව්‍යාජ සතුටක්.

ඔබගේ ව්‍යාපාරය ‘රයිගම්’ නමිනුයි ප්‍රසිද්ධ වී ඇත්තේ. ඇයි එවැනි නමක් තෝරාගත්තේ?

අපි උපන්නේ හැදුනේ වැඩුණේ අධ්‍යාපනය ලැබුවේ රයිගම් කෝරළයේ. ‘රයිගම’ කියන්නේ දේශීය බව ගැබ් වූ නමක්. ඒ වගේම නිතර ඇසෙන ඉංග්‍රීසි ඌරුවේ නම් අතර ‘රයිගම්’ වෙනස් නමක් වේවි යැයි මම විශ්වාස කළා. සන්නාමකරණයේදී වැදගත් වන්නේ පාරිභෝගිකයාගේ මතකයේ රැ‍ඳෙන නමක් බවට පත්වීමයි. මම හිතුවා ‘රයිගම්’ කීවාම පහසුවෙන් ග්‍රහණය වේවි කියලා. ඒ අදහස සැබෑවක් බව මේ වනවිට තහවුරු වෙලා තියෙනවා.

මට මතකයි මුලින් ඇතැම් අය විමසුවා ‘රයිගම්’ කියන්නේ ගම් ජාතියක්ද බවත්, පසුව ඒ විදිහේ සන්නාම කීපයක් අපිට නිර්මාණය කිරීමට හැකිවුණා. රයිගම් ‘ඉසි’ ඉසින ඉසින පිසින ලුණු, රාවන් බ්ලැක් හෙනා මෙවැනි සන්නාම කෙටි කලකින් බොහෝ පිරිස් අතරට ගොස් තිබෙනවා.

ඔබගේ ප්‍රමුඛතම තරගකරුවන් බවට පත්වී ඇත්තේ බහු ජාතික සමාගම්. ඔබට ඒ අතර වුව හොඳ වෙළෙඳ පොළක් හිමිවී තිබෙනවා?

බහු ජාතික සමාගම් පිළිබඳව ඇතැම් ව්‍යවසායකයින් මැසිවිලි නඟන්නේ ඔවුන් සතු ආයෝජන හැකියාව මෙන්ම ප්‍රචාරණය සඳහා කරන වියදම දේශීය නිෂ්පාදකයින්ට කළ නොහැකි නිසයි.

නමුත් බහුජාතික සමාගම් සමඟ ඇතිවන තරගය නිසාම අපගේ භාණ්ඩවල තත්ත්වය ඉහළ යනවා. ඊට හේතුව ඔවුන් භාවිත කරන නවීන තාක්ෂණය හා සමාන තාක්ෂණයක් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අපිටත් භාවිත කිරීමට සිදුවීම. දෙවැනි කාරණය වන්නේ මෙම බහුජාතික සමාගම් නිෂ්පාදන වියදමටත් වඩා වැඩි වියදමක් වෙළෙඳ පොළ පර්යේෂණ සඳහා වැය කිරීම. දේශීය සමාගම් විදිහට එවැනි මුදලක් අපට වැය කළ නොහැකි වූවත් ඔවුන්ගේ නිෂ්පාදන ඇසුරින් මෙම පර්යේෂණය පිළිබඳව අපටද හඳුනාගත හැකියි. ඒ අනුව පාරිභෝගික අවශ්‍යතාවන් සලකා නිෂ්පාදන ඉදිරිපත් කිරීමේ හැකියාව අප සතු වෙනවා.

කොහොම වුණත් මෙම තරගයේ අවසන් වාසිය හිමිවන්නේ පාරිභෝගිකයාට. තරගකාරිත්වය නිසාම නිෂ්පාදනයේ තත්ත්වය ඉහළ යනවා. මිල ගණන් වුවත් තරගකාරියි. ඒ නිසා පාරිභෝගිකයාට සාධාරණ මිලකට හොඳ නිෂ්පාදනයක් ලබාගැනීමේ අවස්ථාව හිමිවෙනවා.

ප්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදකයකු ලෙස ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳවත් සිතිය යුතුයි නේද?

ඒ පිළිබඳව අප තරමට නිරතුරුවම සැලකිලිමත් වෙනවා. රයිගම් ‘දෙවැනි බත’ හඳුන්වා දුන්නේ පාන්පිටි නිසා බහුල වන බෝනොවන රෝග තත්ත්වය පිළිබඳ ඇති වූ සමාජ කථිකාව පිළිබඳ සැලකිලිමත්වීම නිසයි. අප විසින් කරන ලද නිෂ්පාදනය අතර එය අතිශය සාර්ථක නිෂ්පාදන වුණා.

සියයට සියයක් සහල් පිටියෙන් එවැනි නිෂ්පාදනය කළ හැකි දැයි බොහෝ අය මවිත වෙනවා. වෙළෙඳ පොළෙහි එවැනි මිලකට සහල් පිටි නූඩ්ල්ස් මිලදී ගත හැකිවීම බොහෝ අය මවිතයට කරුණක් වුණා.

ඔබ පැවසුවා ඉදිරියේදීත් එවැනි නිෂ්පාදන ඉදිරිපත් කිරීම සඳහා පර්යේෂණ පවත්වන බව?

ආහාර නිෂ්පාදනය සඳහා නවීන තාක්ෂණයෙන් යුත් විද්‍යාගාර අප සතු වෙනවා. ඔවුන් නිරන්තරයෙන් නවතම නිෂ්පාදනය කිරීම සඳහා පර්යේෂණ පවත්වනවා. මේ දිනවල කෙරෙන පර්යේෂණ අතර මඤ්ඤොක්කා පිටි ඇසුරින් නූඩ්ල්ස් නිෂ්පාදනය කිරීම සඳහා අත්හදාබලනවා. ඇත්තෙන්ම එය බොහෝදුරට සාර්ථකයි. බොහෝ ලෙස රෝග සඳහා මඤ්ඤොක්කා හොඳ ‍ඖෂධයක් බවට තහවුරු වී තිබීම නිසාම වැඩිදෙනකු මෙය කැමැත්තෙන් පරිභෝජනය කරාවි යැයි අපි විශ්වාස කරනවා.

ඔබගේ නිෂ්පාදන අපනයන වෙළෙඳ පොළවෙත ඉදිරිපත් කරනවාද?

අපගේ නිෂ්පාදන දැනටමත් රටවල් 14 ක් වෙත අපනයනය කෙරෙනවා. ඒ බොහෝමයක් රටවල් ශ්‍රී ලාංකික හෝ ඉන්දියානුවන් වෙසෙන රටවල්. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ව්‍යවසායිකයන් විදිහට පැවරෙන වගකීම කුමක්ද?

ආයෝජන වැඩිකිරීම, විරැකියාව අවම කිරීම මෙන්ම ආනයන අඩුකර අපනයන ආදායම් ඉහළ දැමීමට සහයවීම අද පවතින ආර්ථික ගැටලු සඳහා මූලිකව බලපාන තීරණ අප උපයන ඩොලර් ප්‍රමාණයට වඩා වියදම් කරන ඩොලර් ප්‍රමාණය වැඩිවීමයි. ඒ නිසා ඩොලර් ඉපයීමට මෙන්ම වියදම් කිරීම සීමා කිරීමටත් සැලසුම් සකස් කළ යුතුයි.

ඔබ ආයතනය වෙළෙඳාමේත් නිරත වනවාද?

ආනයනය කර විකුණන එකම භාණ්ඩය යීස්ට් පමණයි. අපි එය ඒන්ජල් නමිනුයි අලෙවි කරන්නේ. යීස්ට් අලෙවියේ වෙළෙඳ පොළ ප්‍රමුඛයා අපි.

ව්‍යාපාරික ජීවිතයේ ඔබ මුහුණදුන් විශාලතම අභියෝගය කුමක්ද?

ඉතාමත් ප්‍රාථමික මට්ටමෙන් අරඹා ජාතික මට්ටමේ ව්‍යාපාරයක් ගොඩනැඟීමට හැකිවීම මා මුහුණදුන් විශාලතම අභියෝගයයි. ගෙවුණු වසර 25 ක කාලය පුරා අප පසුකළ අභියෝගාත්මක අවස්ථා රාශියක්ම පවතිනවා.

ලංකාව වටා මුහුද තිබියදීත් සියයට 40 ප්‍රමාණය ගෙන්වූයේ පිටරටින්. අපි අක්කර 300 ක ලේවාය හදලා ලුණු නිෂ්පාදනය වාඩිකළා. ඒ අනුව ලංකාව ලුණුවලින් ස්වයංපෝෂිත කිරීමට හැකියාව ලැබුණා. ඉන් අනතුරුව අපි දුටුවා කැට ලුණුවලින් පාරිභෝගිකයා මේස ලුණුවලට මාරුවෙන බව. ලුණු කුඩු කර අලෙවි කිරීමට අවශ්‍ය යන්ත්‍ර මිලදී ගැනීම සඳහා අපි බැංකු ණය අයදුම් කළා. බැංකුවලින් කීවේ මුහුදු වතුරට යන්ත්‍ර දිරාපත්විය හැකි බවයි. අවසානයේ අපි ජයගත්තා. මේ වනවිට යන්ත්‍ර 3 ක් යොදා අපි මේස ලුණු නිෂ්පාදනය කරනවා.

‘රයිගම්’ නමින් ටෙලි සම්මාන උළෙලක් පැවැත්වීමට තීරණය කළේ කුමන හේතුවක් නිසාද?

ඒ අරමුණ මුළුමනින්ම ව්‍යාපාරික අදහසින් තොරවයි කීවොතින් ‍ෙබාරුවක්. මුලින්ම අපට වුවමනා වුණේ සන්නාමයේ වටිනාකම ඉහළට එසවීම. ඒ අරමුණ සාර්ථක වී තිබෙනවා.

අනෙක් කාරණය සෑම මාධ්‍යයකටම වඩා ප්‍රබලතම සන්නිවේදන ගුණයන් ඇති ජනමාධ්‍ය රූපවාහිනියයි. එහි ඇති ශ්‍රව්‍ය දෘශ්‍ය ගුණය ඊට හේතුවයි. එම මාධ්‍ය ඇගයීමට ලැබෙන මෙම අවස්ථාව පිළිබඳව අපි කටයුතු කරන්නේ ඉතාමත්ම වගකීමෙන් යුතුවයි. ඒ නිසාම නිරන්තරයේ උත්සාහ කරන්නේ. අප ලබාදෙන සම්මාන 54 එය ලැබිය යුතු නිවැරැදිම කෙනා වෙත ලබාදීමටයි.

ඔබ පවසන්නේ විනිශ්චය මණ්ඩලයට ස්වාධීනව කටයුතු කිරීමේ නිදහස පවතින බව ද?

මට ඒ පිළිබඳව සියයට සියයකට වඩා විශ්වාසයි. ඒ පසුබිම අපි ගොඩනඟා තිබෙනවා. ඒ පිළිබඳව මේ රටේ හොඳ පිළිගැනීමක් ඇතිවී තිබෙනවා. අපි කලාකරුවන්ගේ උන්නතිය වෙනුවෙන් උපරිම සේවයක් කිරීමට මෙම අවස්ථාව යොදාගන්නවා. මේ සඳහා ලක්ෂ 400 ක මුදලක් වියදම් කරන්නේ අතිඋත්කර්ෂවත් අන්දමින් මෙන්ම වඩාත් හරවත් ඵලදායි අන්දමේ සම්මාන උළෙලක් පැවැත්වීම වෙනුවෙන්මයි. අප වැනි දැවැන්තයකුට මිස මෙවැන්නක් වෙනත් ආයතනයකට කළ නොහැකි බව මගේ විශ්වාසයයි.

 

බුද්ධිකා බ්‍රාහ්මණගේ


නව අදහස දක්වන්න