තාක්ෂණ නගර ව්‍යාපෘතිය රටේ අනාගතය නවෝත්පාදනයයි | දිනමිණ

තාක්ෂණ නගර ව්‍යාපෘතිය රටේ අනාගතය නවෝත්පාදනයයි

 වර්තමාන රජය බලයට පත්වීමත් සමඟ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරන තාක්ෂණ නගර ව්‍යාපෘතිය කඩිනමින් ශ්‍රී ලංකාවේ අනාගත නවෝත්පාදන කේන්ද්‍රස්ථානය බවට පත්කරලීම සඳහා තාක්ෂණ නගර ව්‍යාපෘති කාර්යාලය පිහිටුවා ඇත.

මාහේන්වත්ත ප්‍රදේශය හෝමාගම නගරයේ සිට කිලෝ මීටර හතරක් පමණ ආසන්නයේ පිහිටා තිබේ. දැනටමත් NSBM ආයතනය, මහින්ද රාජපක්ෂ විද්‍යාලය හා නැනෝ තාක්ෂණ ආයතනය වැනි වැදගත් ආයතන මෙම භූමියේ පිහිටා තිබේ.

තාක්ෂණය පදනම් කරගත් දැනුම් ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාවලියට විශාල වශයෙන් ඒකාබද්ධවීමට අවශ්‍ය වන නව්‍ය දැනුම හා නවෝත්පාදන ආර්ථික ක්‍රියාවලීන් විධිමත්ව සැලසුම් සහගත ආකාරයෙන් හරිත, සුහුරු හා තාක්ෂණ නගරයක් ලෙස මනාව ගොඩනැංවීමට මෙම ව්‍යාපෘතියෙන් සැලසුම්කර තිබේ.

කොරියානු රජයේ විශේෂඥ දැනුමින් මෙම නගරය පුළුුල්ව හා විධිමත්ව සැලසුම් කිරීමට නොමිලේ වසරක පමණ කාලයක කළ විශේෂඥ අධ්‍යනයක් මඟින් සැලසුම වඩාත් උපායශීලිව සකස් කොට ඇත. ඒ අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී මූලික වශයෙන් ප්‍රධාන කරුණු හතරක් සැලකිල්ලට ගෙන ඇත.

1. ආර්ථික වර්ධනය (Economic Growth)

2. සමාජ අසමානතාව (Inequality)

3. පුද්ගල සංතෘෂ්ඨිය (Individual Happiness)

4. පාරිසරික තිරසාරභාවය (Environmental Sustainability)

මෙම ප්‍රධාන සංකල්ප හතර තාක්ෂණ නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී උපාය මාර්ගිකව ක්‍රියාත්මක කිරීමට ඇති නැඹුරුව වඩාත්ම උචිත හා අර්ථාන්විත ලෙස යොදා ගනු ඇත. දැනට ක්‍රියාත්මකත සංවිධිත හා සැලසුම් සහගත ක්‍රියාවලිය (Axiological Frame Work) භූමිය මත විවිධ අවශ්‍යතාවන්ට හා එකඟතාවන්ට විද්‍යානුකූලව හා සමඟාමීව පරිණාමයවීමට නිසර්ග හැකියාවකින් යුක්ත සංකීර්ණ දුප්පත් හා පොහොසත් පරතරයන් අවම කිරීමට හැකියාවකින් හෙබි තාර්කික ක්‍රියාවලියකි. එමෙන්ම තාක්ෂණ නගර ව්‍යාපෘතිය භෞතික භූමිය හා අවකාශය (Land, Sea, Space) මත ඉදිවන තාර්කික ආර්ථිකමය උත්පාදනයනට මෙන්ම විශ්මිත දැනුම් හා නවෝත්පාදන සංකීර්ණ භූමිකාවකින් යුක්ත තර්කාන්විත සමාජ ආර්ථීක වපසරියක අවශ්‍යතාවන් හා ප්‍රතිඵලයන්ට (Economic) සමාන්තරව ඉදිරිපත් කරනු සුවිශේෂ ක්‍රියාවලියකි.

මෙහි ඇති පරිනාමීය (Evaluation Prospective) හේතුවෙන් ශ්‍රී ලාංකීය සමාජයට අපේක්ෂිතාර්ථ කරා යොමු කරවීමට බෙහෙවින් ඉඩ කඩ සැපයෙනු ඇත.

භෞතික වශයෙන් මෙම ප්‍රදේශය අර්ධ නාගරික ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇත. මෙහි ජීවත්වන පිරිස් පිළිබඳව ඔවුන්ගේ ජීවන මට්ටම් හා අනෙකුත් සාමාජීය තොරතුරු තාක්ෂණ නගර ව්‍යාපෘතිය මඟින් දැනටමත් පූර්ණ වශයෙන් ලබාගෙන ඇති අතර කිසිඳු ආකාරයකට මහජනතාවට පීඩාවක් ඇතිනොවන ආකාරයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ බලධාරීන් ක්‍රියා කරයි. එමෙන්ම මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූවත් මෙහි සම්පූර්ණ ක්‍රියාවලිය ඉදිරියේ දී ත්‍රිවිධ අවකාශ තුල Land, Sea, Space (LSS) ක්‍රියාත්මක කරවනු ලබන දීර්ඝ කාලීන තාක්ෂණ ප්‍රවේශයක් සහිත ආරම්භයකි. විවිධ පර්යේෂණ හා ක්‍රියාවලියන් ලොව දැවැන්ත නවෝත්පාදන ක්‍රියාවලීන් සමඟ සම්බන්ධ වන ප්‍රායෝගික ආර්ථික ක්‍රියාවලියක ප්‍රමුඛස්ථානය සඳහා වූ උපායමාර්ගික ස්ථානයක් බවට මාහේන්වත්ත ඉදිරි දශකයේ දී පරිවර්තනය කෙරේ.

සංකල්පීය වශයෙන් ලංකාවට දැනුම පදනම් ආර්ථික ක්‍රියාවලියක අවශ්‍යතාව ඇති රටක් බවට පසුගිය දශක හතක් තුල තල්ලූ වී ගොස් අවසානය. දැවැන්ත කර්මාන්ත හා වෙනත් කෘෂිකාර්මික හෝ ආර්ථිකමය හැකියාව ශ්‍රී ලංකාවට යා හැකි දුර අවසන් වී ඇත්තේ විසිවසරකට පෙර බව ලංකාවේ ඇති මහ බැංකු වාර්තා සහ වෙනත් ආශ්‍රිත දැනුම පරිශීලනය කරන අයට ඉතාම පැහැදිලිව විද්‍යාමානව දක්නට ඇත.

මධ්‍ය ආදයම් උඟුලේ සිරවී නොසිට ඉන් ඔබ්බට යාමට ගත හැකි පහසු මෙන්ම ශ්‍රී ලාංකීය සමාජයට ඇති ප්‍රධානම විකල්පය වන්නේ අධ්‍යාපනය කේන්ද්‍රෙකාටගත් අර්තක්‍රමයක් දෙසට වහ වහා යොමු වීමයි. මෙම යොමුවීම පිළිබඳ අධි තාක්ෂණික හා පරිණාමීය (Evolutionary Eco Systems) එක් එක් ආයතනික සේවා සමඟ ඒකාබද්ධතාවක් සහිතව සිදුකළ යුතු කාර්යයන් වේ. ආර්ථිකමය සාර්ථක මෙහෙයුමකට අධ්‍යාපනික කුසලතාව පදනම් සඳහා විවෘත මාවත පැහැදිලි ඉලක්කයක් වෙත යොමුකරවීම මෙම ව්‍යාපෘතියේ අඩංගුය.

එමෙන්ම සමාජ අසමානතාව ක්‍රමයෙන් වර්ධනය වන ස්වභාවය පාලනය කිරීමට හෝ අවම කිරීමටත් තාක්ෂණ නගර සංවර්ධන සංකල්පය ඉවහල් කර ගෙන ඇත. මෙයින් සමාජයේ පවතින විවිධ දුර්වලතාවන් හා අසමාන තත්ත්වයන් හඳුනා ගැනීමටත් ඒවාට පිළියම් ලෙස අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් උපදෙස් පැහැදිලිවම ලැබී තිබේ. මෙම ක්‍රියාවලියේ නියුතු වන නිලධාරීන් මෙම මූලික සිද්ධාන්ත ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම අනිවාර්ය වේ.

අර්ධ නාගරික පරිසරයක් පවතින හෝමාගම, මාහේන්වත්ත, දාම්පේ, ප්‍රදේශයන් වල පවතින අසමාන සංවර්ධන හා අවස්ථාවන් තව දුරටත් තීව්‍ර නොකොට රජයක් ලෙස බලාපොරොත්තු වන තිරසාර සංවර්ධන ඉලක්කය වෙත මෙම ව්‍යාපෘතිය වඩ වඩාත් යොමු කරලීම නිලධාරීන් කැපවීමෙන් අනිවාර්යෙන්ම සිදු කරලීමට වගබලා ගතයුතු වේ.

කිසියම් දේපළක් හෝ වෙනත් දෑ අහිමි වුවහොත් ඒවා මනාව ගණනය කිරීමටත් එමඟින් අවශ්‍ය වන ප්‍රතිපූරණයක් නොමඳව අදාළ තැනැත්තන් වෙත ලබා දීමටත් ක්‍රියාත්මකවීම අනිවාර්ය වේ. මේ සම්බන්ධව ඉතා විශාල පරාසයක් අමාත්‍ය පාඨලී චම්පික රණවක අමාත්‍යතුමා සඳහන් කර ඇති අතර ඉන් නිසි ප්‍රයෝජන ගැනීමට සෘජුවම පළාතේ ජීවත් වන කාන්තාවන්, ළමයින්, රැකියා විරහිත තරුණ තරුණියන් උනන්දු කරවීමත් ඒ සඳහා යොමු වීමටත් අත්‍යවශ්‍ය වේ.

අඩු අදායම් හා ඉතා කුඩා ඉඩම්හිමි ජීවිත කාලයටම අඩු අදායම්

සහිත කෘෂිකාර්මික කටයුතුවල නියැලී සිටින දුප්පත් හා අගහිඟකම් වලින් පිරිහී අපේක්ෂාභංගත්වයට පත්ව සිටින පිරිසක් මෙහි ජීවත් වන හෙයින් මේ පිරිස ආර්ථිකව ශක්තිමත් කෘෂිකාර්මික නවීන ඵලදායී පිරිසක් සහ ප්‍රදේශයට පැමිණෙන විශාල පිරිසට අවශ්‍ය වන ආහාර සඳහා සැපයුම්කරුවන් බවට ක්‍රමානුකූලව යොමු කරලීම ද මෙහි අඩංගු වේ.

තවදුරටත් තනි තනි පුද්ගලයන් ඉදිරි සමාජ ආර්ථිකයට මුහුණ දීමේ දී ඇතිවන පෞද්ගලික පෞරුශයට අවශ්‍ය වන අත්පත් කර ගත යුතු ගුණාත්මක වර්ධනයක් කෙරෙහි අවස්ථා යොමු කිරීමටත් ඒ සඳහා අවශ්‍ය දත්තයන් ලබා ගැනීමත් සිදු කළ යුතුය. ඉදිරි දශකවල අප කැමති වුවත් අකමැති වුවත් යැපුම් කෘෂිකර්මාන්තය විශාල පරිවර්ථනයකට යොමු වන හෙයින් එහිදී තනි තනි පුද්ගලයන් බලගැන්වීමත්, සමාජ වශයෙන් තනිව හුදකලා වූ අසරණ තත්ත්වයට පත්වන සමාජමය කරුණු සොයා ඒවාට පිළියම් ක්‍රමෝපායිකව සකස් කිරීමත් සිදු කරයි. ඒ හරහා පෞද්ගලිකව ඒ ඒ ප්‍රදේශවල ජීවත් වන අසරණ නොහැකියවෙන් යුතු සමාජ කොටස් සඳහා උපරිම සහයෝගයක් සෘජුවම හා වක්‍රව සැපයෙනු ඇත. ඉතාම අඩු ආදයම් මට්ටම්වල ජීවත් වන එදිනෙදා යැපුම් මට්ටම්වල ජීවත්වෙන කොටස් සඳහා මෙම පුද්ගල අභිවෘද්ධි ක්‍රියාදාමය මඟින් විශාල සහනයක් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු. එහිදී කිසිඳු පුද්ගලයකුට අතපාමින් ජීවත් වනවාට වෙනුවට ස්වහැකියාව මත උපරිම ප්‍රතිලාභ ළඟා කර ගැනීමට අවස්ථාව උදා වේ.

අවසාන වශයෙන් මෙම ව්‍යාපෘතිය මඟින් බලාත්මක කරන අංගයක් වනුයේ පාරිසරික තිරසාර (Environmental Sustainability) පැවැත්ම තවදුරටත් සහතික වන ලෙස ක්‍රියා කිරීමයි. කිසිඳු පාරිසරික බලපෑමක් ඇතිවන ආකාරයට ක්‍රියා කිරීමට මෙම ව්‍යාපෘතියේ ඉඩකඩක් නොමැත. පවතින බොහෝ ගස්වැල් තුරුලතා එසේම තිබිය දී ඒවාට අවම බලපෑමක් වන අකාරයට අවශ්‍ය ගොඩනැංවීම් ක්‍රියාවලිය යොමු කරවන අතර දැඩි නීතිරීති මඟින් රාජ්‍ය අංශය මේවා විමර්ශනය කෙරේ. වර්තමනයේ ජයවර්ධනපුර හා කොළඹ විශ්වවිද්‍යාලවල තාක්ෂණ පීඨවලට අවශ්‍ය වන ගොඩනැගිලි ශීඝ්‍රයෙන් ගොඩනැ‍ෙඟෙමින් පවතී. මාහේන්වත්ත සඳහා පහසුවෙන් හා ඉක්මණින් ප්‍රවේශ මාර්ග සංවර්ධනය කළ යුතුව ඇති බැවින් පවතින ප්‍රවේශ මාර්ග පුළුුල් කර මංතීරු වැඩිකර පහසුවෙන් එහාමෙහා ගමන් කළ හැකි මහාමාර්ග බවට පරිවර්තනය කරමින් සිටී.

අනෙකුත් අවශ්‍ය ජලය හා විදුලිය වැනි මූලික අවශ්‍යතා සඳහා සැලකිල්ල යොමු කර ඇති අතර පූර්ණ වශයෙන් මෙම අවශ්‍යතාවන් අදාල ප්‍රදේශයට ලබා දීමට තාක්ෂණ නගර ව්‍යාපෘති කාර්යාලය කඩිනම් අවශ්‍ය පියවර ගනිමින් සිටී. ප්‍රදේශයේ මාර්ග පුළුුල්වීම හේතුවෙන් උද්ගත වන සමාජ අසහනතා පිළිබඳ අවධානය යොමු කරමින් ඔවුන්ට කඩිනමින් රජයේ ප්‍රතිපත්තිවලට අනුව වන්දි ලබා දීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගනිමින් සිටී.

කලාපීය වශයෙන් ශ්‍රී ලංකාව නවෝද්පාදන ක්‍රියාවලියේ කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කරමින් පැහැදිලි අනාගතයක් සහිත පරපුරක් බිහිකිරීමට මෙම ව්‍යාපෘතිය අනිවාර්යෙන්ම ප්‍රමුඛ කාර්යක් ඉදිරි දශකවල ඉටු කරන බව අපගේ දැක්මයි.

රාහුල සේනානායක
නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ
තාක්ෂණ නගර සංවර්ධන ව්‍යාපෘතිය 

නව අදහස දක්වන්න