එල්ෆින්ස්ටන් ටීටර් යුගයෙන් ඩිජිටල් යුගයට | දිනමිණ

එල්ෆින්ස්ටන් ටීටර් යුගයෙන් ඩිජිටල් යුගයට

'ජාතික රංගකලාව පෝෂණය නොකරන, දිරි නොගන්වන ජාතිය මියැදෙයි' -බර්ටෝල් බ්‍රෙස්ට්

බර්ටෝල් බ්‍රෙස්ට්ගේ මෙම ප්‍රකාශය මැනවින් පසක් කරගෙන සිටි යුග පුරුෂයෙක් 1978 නිදහස් සමරු සතියේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වෙයි. හේ අන් කවරෙක්වත් නොව රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතාය. දැයේ මුල්ම රඟහල ටවර් ශාලාවත්, ඒ හා සබැඳුණු ඉපැරැණි, ජාතික මෙන් ම ඓතිහාසික වටිනාකමක් ඇති එල්ෆින්ස්ටන් රඟහලත්, දැය සතු කරලන්නට එතුමා පෙරමුණ ගන්නේ, ජාතික රංග කලාවන්ගේ අභිනන්දනය උදෙසා වූ පුළුල් සැලැස්මක් සිතින් දරාගෙනය. එම උදාර අරමුණු ප්‍රායෝගික තලයකට ගෙන ඒම පිණිස එතුමා මුලින්ම 1978 මාර්තු 15 වන දින ටවර් රඟහල රජයට පවරා ගැනීමට පියවර ගති. එම වසරේ ම ඔක්තෝබර් 19 දින සුවිශේෂී පනතක් මඟින් ටවර් හෝල් රඟහල පදනම ස්ථාපනය කළේ එහි සියලුම ප්‍රවර්ධන සහ සුරක්ෂණ කාර්යභාරය පදනම වෙත පවරා දෙමිනි. ටවර් රඟහල පදනම පනත ප්‍රකාරව එහි ප්‍රථම සභාපතිවරයා ලෙසින් සුවිසල් සේවාවක් සැලසීමට ද හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිඳුන්ට අවස්ථාව සැලසිණි.

ටවර් සහ එල්ෆින්ස්ටන් රංගශාලා, 19 වැනි සියවසේ මුල් භාගයේ බාල - තරුණ, වියපත් සියල්ලන්ගේම නොමඳ සම්භාවනාවට හා ආදරයට පාත්‍ර වූ රස නිෂ්පත්තිය කුළුගන්වන සුළු කලා කේන්ද්‍රයක් බවට පත්ව පැවතිණි. ඒ යුගයේ රූප පෙට්ටිය (රූපවාහිනිය) නිවෙස වෙත පියමං කර නොතිබූ බැවින්, ජනතාවගේ ඒකායන විනෝදාස්වාදනීය මාර්ගය වූයේ ඔවුන්ගේ බසින් ම සඳහන් කරන ලෙස 'බයිස්කෝප් මඩුවයි'. ජීවිතයේ දුක් දොම්නස් මොහොතකට හෝ අමතක කර, කිසියම් රසාස්වාදයක්, වින්දනයක් ලබන්නට කලාලෝලී ජනතාව නිබඳව ම මෙම රඟහලේ රොදබැඳගෙන සිටියහ.

ටවර් රඟහල දේශය වෙනුවෙන් සිය ජාතික මෙහෙවර අඛණ්ඩව පවත්වාගෙන ගියද එල්ෆින්ස්ටන් වෙත දුර්භාග්‍ය කාලයක් එළැඹීම නිසා වසර හතකට ආසන්න කාලයක්, එය ප්‍රේක්ෂකයන්ගෙන් තොර, කටු කොහොල් අරක් ගත් හුදකලා ශාලාවක් බවට පත්ව තිබිණි. අලුත්වැඩියා විටින් විට දියත් වුවද, එහි දිස්වූයේ මන්දගාමීත්වයකි. දේශපාලන නායකත්වයේ සෘජු මැදිහත්වීම මත, එල්ෆින්ස්ටන් රඟහල වෙත යළි වසන්තය උදාවෙමින් පැවතීම, රංග කලා රසිකයින්ගේ නොමඳ ප්‍රීතියට හේතුවක් වනු නිසැකය.

ටවර් රඟහල පදනමේ දායකත්වයෙන්, කලක් කලා ලෝලීන්ගෙන් දුරස් වී තිබූ එල්ෆින්ස්ටන් රඟහල මෑතකදී නවීකරණයට බඳුන් විය. රුපියල් මිලියන 372 ක් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වැය වී ඇත. රඟහල අති නවීන විද්‍යුත් තාක්ෂණයෙන් මුවහත් වී පෙර පැවති භාරතීය කැටයම් හා කලා ශිල්ප ඒ අයුරින්ම රැක ගනිමින්, නැවුම් මුහුණුවරකින් පුනර්ජීවනයට පත් කර ජනතා අයිතියට පැවරෙයි. ඒ අසිරිමත් දිනය 2019 ජනවාරි 24 ලෙසින් ඉතිහාසයේ ලියැවෙනු නියතය.

යටත් විජිත සිනමාව තුළ නම් රැඳවූ ඉංග්‍රීසි ජාතික වෝර්වික් මජෝර්ස් විසින් 1913 දී සිය සිනමා කර්මාන්තය ඇරැඹීමෙන් අනතුරුව ඉන්දියාව, ලංකාව ප්‍රමුඛ ආසියාතික රටවල සුවිශේෂී අවධානය ද සිනමා කර්මාන්තය කෙරෙහි යොමු වෙමින් පැවතිණි. ටවර් රඟහල් නිර්මාතෘ හෙන්ද්‍රික් සෙනෙවිරත්න මහතාගේ සොහොයුරෙකු වූ තෙපානිස් අප්පුහාමි මහතා විසින් වර්තමානයේ එල්ෆින්ස්ටන් රඟහල පිහිටා ඇති භූමියේ 'ෆැවිලියන්' නමින් රංග ශාලාවක් ඉදිකිරීම සඳහා රු. 75,000 ක මුදලක් වැය කළ බව වාර්තා වේ. මෙම භූමි භාගය එවකට පැවති රජයෙන් 99 බද්දකට ගෙන ඇති බවත් සඳහන්ය. ලන්ඩනයේ ෆැවිලියන් හෝල් එකට සමාන රඟහලක් ඉදිකිරීම මොහුගේ අභිප්‍රාය වී තිබේ. මරදානේ වත්මන් එල්ෆින්ස්ටන් රඟහල ගොඩනඟන ලද්දේ එම භූමි භාගයේය. එම නම තබන ලද්දේ කවරෙකු විසින් ද යන්න හා එල්ෆිනිස්ටන් යනු කවරෙක් ද යන්න පිළිබඳවත් විවිධ මතිමතාන්තර පවතී.

1925 ඔක්තෝබර් 19 වැනි දින ඉංග්‍රීසි ජාතික එච්. ඊ. නිව්න්හැම් මහතා, එල්ෆින්ස්ටන් සිනමාහල සඳහා මුල්ගල තබා ඇති බැව් පැරැණි වාර්තාවන්හි සඳහන්ය. නිව්න්හැම් මහතා එවක (1924 - 1931) කොළඹ නගරාධිපති නිලය දරමින් සිටි බැව් පැවසේ. ආසන 800 කින් යුත් මෙම සිනමා ශාලාවේ ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කර ඇත්තේ එච්. එෆ්. බිල්ටෝරියා මහතාය. වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු මෙන් ම පර්සියානු සම්භවයක් සහිත සිනමා ව්‍යාපාරිකයෙකු වූ ජේ. එෆ්. මාදන් එල්ෆින්ස්ටන් සිනමා ශාලාවේ නිර්මාතෘ ලෙසින් ඇගයීමට බඳුන් වේ. මදුරාසියේ එල්ෆින්ස්ටන් නම් ආණ්ඩුකාරයා විසින් සිනමා වෙනුවෙන් කළ සේවය ඇගයීම වස් ඉන්දියාවේ තම සිනමා ශාලා ජාලයට මෙන්ම, මෙම සිනමා ශාලාවට ද 'එල්ෆින්ස්ටන්' යන නාමය ලබාදීමට මාදන් මහතා‍ පෙළඹී ඇති බවට තොරතුරු අනාවරණය වේ. මාදන්ගේ සිනමා දර්ශන ජාලය උතුරු ඉන්දියාවේ ඇතුළු අනෙකුත් බ්‍රිතාන්‍ය යටත් විජිතයන් තුළ ද ප්‍රචලිතව පැවතිණි. 1920 වන විට මාදන් විසින් මෙරට සිනමා කර්මාන්තය සියතට පත්කර ගනිමින් කොළඹ නගරයේ එල්ෆින්ස්ටන් ඇතුළු අංගසම්පූර්ණ සිනමාශාලා කිහිපයක් ඉදිකිරීමට පුරෝගාමී විය. මාදන් විසින් ඉන්දියාවේ පැට්නා හි ඉදිකළ එල්ෆින්ස්ටන් ශාලාවට සැම අතින්ම සමාන ලෙසින් මරදානේ එල්ෆින්ස්ටන් ශාලාව නිර්මාණය කර ඇති බව මෙහි පළවන පැට්නා හි එල්ෆින්ස්ටන් සිනමා ශාලාවේ ඡායාරූපය නිරීක්ෂණය කිරීමේදී ඔබට මැනවින් පැහැදිලි වනු නිසැකය.

1925 වන විටත් යටත් විජිතයක්ව පැවති ලංකාව තුළ දේශීය චිත්‍රපට නිෂ්පාදනය නොවුණි. 1930 වකවානුවේදී ක්‍රම ක්‍රමයෙන් මාදන්ගේ සිනමා ශාලා සියල්ල ශබ්ද පරිපථවලින් සමන්විත වූ අතර, මෙරට සිනමා ප්‍රේක්ෂකයන් වෙත අමෙරිකානු සිනමාපට ආනයනය කර ප්‍රදර්ශනය කරන්නට විය. 1934 අප්‍රේල් වන විට කොළඹ නගරයේ සාඩම්බරයෙන් වැජඹුණු සිනමාශාලා 04 ක් විය. රීගල්, මැජෙස්ටික්, එම්පයර් හා එල්ෆින්ස්ටන් ඒ අතර විය. 1936 දී ඉන්දියානු සිනමාව ද ඉහළ ජනප්‍රියත්වයක් අත්පත් කරගෙන තිබුණු අතර, එකල එල්ෆින්ස්ටන් සිනමා ශාලාවේ ඉන්දියානු චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙනු නිසා වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවක් එල්ෆින්ස්ටන් වෙත ඇදී ආහ. 1931 ජනවාරි 11 වැනිදා චාලි චැප්ලියන්ගේ නිහඬ චිත්‍රපටයක් වූ Good Night Charlie කොළඹ එල්ෆින්ස්ටන් හිදී ප්‍රදර්ශනය කර ඇත.

එල්ෆින්ස්ටන් රඟහල, 1979 ජනවාරි 04 වන දින ටවර්හෝල් රඟහල පදනම වෙත පවරාගෙන ඇත. එවකට ජෝර්ජ් ලෙස්ලි රණසිංහ මහතා එල්ෆින්ස්ටන් රඟහල හා සරසවිපාය සංකීර්ණය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසින් සැලකිය යුතු මෙහෙවරක් ඉටුකිරීමට සමත් විය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 'රේඛාව' 1956 වසරේදී ප්‍රථමවරට ප්‍රදර්ශනය කර ඇත්තේ ද එල්ෆින්ස්ටන් රඟහලේ වීම ද විශේෂත්වයකි.

නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මාර්ගෝපදේශකත්වයෙන්, මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් නැවුම් මුහුණුවරකින් ඉදිකෙරුණු එල්ෆින්ස්ටන් රංගශාලාව 2019 ජනවාරි 24 වන දින පස්වරු 1.30 ට ජනතා අයිතියට පැවරේ. මෙම අනුස්මරණීය අවස්ථාව වර්ණවත් කිරීම පිණිස, සංක්ෂිප්ත එහෙත් ආකර්ෂණීය විශේෂාංග කිහිපයක් වේදිකාගත කිරීමට සැලසුම් කර ඇත. පොලිස් තූර්ය වාදක කණ්ඩායම ඉදිරිපත් කරන, පිළිගැනීමේ නර්තනය, ටවර්හෝල් රඟහල පදනම නෘත්‍ය කණ්ඩායමක් ඉදිරිපත් කරන 'සිරිසඟබෝ' නාට්‍යයේ 'දන්නෝ බුදුන්ගේ ගීතය' සහ රංගනය, ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මිය ඉදිරිපත් කරන 'නමෝ මරියනී' ගීතය ද, ප්‍රවීණ ගායන ශිල්පී සූරියකුමාර් මුත්තලගේ මහතා විසින් කතරගම සුරිඳුන් නමදිමින් ඉදිරිපත් කරන 'මුරුගා... මුරුගා...' දමිළ භක්ති ගීතය ද, මෙහිදී ආගමික සහජීවනය පිළිබඳව ජනතා සිත් සතන් තුළ නැවුම් පිබිදීමක් ඇති කරවීමට සමත්වනු නිසැකය. මෙහිදී ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා 'ජාතික හා සංස්කෘතික ප්‍රබෝධයෙහිලා ටවර් රඟහල සහ එල්ෆින්ස්ටන් නෘත්‍ය ශාලාවේ දායකත්වය' මැයෙන් පවත්වන්නා වූ ශාස්ත්‍රීය දේශනය මෙම රංග ශාලාවේ ජාතික වැදගත්කම වත්මන් පරපුර සිත් සතන්හි මැනවින් චිත්‍රණය කරනු නියති.

ආචාර්ය ගාමිණී කාරියවසම් 


නව අදහස දක්වන්න