මොන්ටිසෝරියට අකුරු අවශ්‍යද | දිනමිණ

මොන්ටිසෝරියට අකුරු අවශ්‍යද

ආචාර්ය සුනිල් රණසිංහ
(මානවවිද්‍යා Anthropology සහ සත්ව චර්යාවිද්‍යාව Ethology)

පෙර පාසල හෝ ළදරු අධ්‍යාපනය මානව ඉගෙනුම් ක්‍රියාවලියේ මූලික පදනමයි. දරුවා ජීවිතයේ ප්‍රථමවරට ශික්ෂණ ප්‍රවාහයකට යොමු කිරීමේ දී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුය. අධ්‍යාපනය යනු ශික්ෂණවිද්‍යාවකි. දරුවාට නිවැරදිව භාෂාව හැසිරවීමට සහ ලිවීමට ඉගැන්වීම වැඩිහිටි පරම්පරාවේ වගකීමකි. එය විද්‍යානුකූල ප්‍රවේශයකි. පෙරපාසල - මාපියන් සහ අධ්‍යාපනඥයන් මෙම යථාර්ථය අවබෝධ කර ගෙන ජීවිත කාලය පුරා ඔහුට හෝ ඇයට අවශ්‍ය කුසලතා හැඳින, විධිමත් ශික්ෂණයකින් දරුවා මෙහෙයවාගත යුතුය. අධ්‍යාපනය පිළිබඳ ප්‍රමාණවත් ඥානයක් අත්පත් කර ගත් ටැන්සානියාවේ ප්‍රථම ජනාධිපති ජුලියස් ගම්භාරගේ නියරේරේ වරක් මෙලෙස සඳහන් කළේය. “අධ්‍යාපනයට අවසානයක් නොමැත, මවගේ ගර්භාෂයේ සිට සොහොන් ගැබ දක්වා මිනිසා උගත යුතුය”

සියවසක පරතරය

කුඩා දරුවන් පාසල් අධ්‍යාපනය සඳහා ප්‍රවේශ වීමේ දී සංවර්ධනය වූ හා සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් අතර අසමානතාවක් දක්නට ලැබේ. දිගු කාලයක් පාසල් අධ්‍යාපනය ලැබීම හා දැනුම අත්පත් කර ගැනීමේ පරතරය සංවර්ධනය වෙමින් පවතින දුප්පත් (පරිවාර) රාජ්‍යයන් සංවර්ධනය වූ රාජයන්ට වඩා වසර 100 කට ආසන්න කාලයක් පසුපසින් සිටියි. දුප්පත් රාජ්‍යයන් 21 සියවසේ ළඟා වෙමින් සිටින ජයග්‍රහණවලට පොහොසත් රාජ්‍යයන් ප්‍රවේශ වූයේ 19 වන සියවසේ අවසානයේ හෝ 20 වන සියවසේ පළමු දසකයේ ය. දුප්පත් රාජ්‍ය පද්ධතිය වර්තමාන ප්‍රවේශය අඛණ්ඩ ව පවත්වාගෙන ගිය ද මෙම පරතරය අනාගතයේ දී ද දැක ගත හැකිය. ගෝලීය වශයෙන් අධ්‍යාපනයේ මෙම අසමතුලිතතාව හා පරතරය ගැඹුරින් අවබෝධ කර ගත හොත් එම අවදානම ජය ගැනීමේ ප්‍රවේශයක් සොයා ගත හැකිය.

සැමට අධ්‍යාපනය සඳහා ප්‍රවේශවීමට සම අවස්ථා ලබාදීම හා පාසල් පද්ධතිය සංවර්ධනය කරන්නේ කෙසේ ද? වසර සියයක පරතරයේ ස්වභාවය කුමක් ද?පාසල් අධ්‍යාපනය සංවර්ධනය සඳහා අන්තර්ජාතික හා ස්ථානීය අනාගත සැලසුම් මොනවා ද?පසුගිය වසර 200 ක කාලය තුළ ගෝලීය වශයෙන් ලබා ඇති ප්‍රගතියේ ඵලය නම් ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාව, නිදහස හා මානුෂිකත්වය අධ්‍යාපනය සඳහා ආයෝජනය කිරීමයි.

ගැටලුව

ශ්‍රී ලංකාවේ පෙරපාසල් පද්ධතිය තවමත් විධිමත් විද්‍යාත්මක පදනමකට පෙළ ගැසී නොමැත. විවිධ රාජ්‍ය සහ නිර්රාජ්‍ය ආයතන මෙන්ම පුද්ගලයන් තම තම දැනුම් මට්ටමට අවිධිමත් ඉගැනීමේ කාර්යයට ළදරුවන් ගොනු කරති. පෙරපාසල් දරුවාට අකුරු ලියවීම සහ කියවීම සිය ජයග්‍රහණයකැයි සිතති. එය මාපියන්ගේ මනදොළ පිරවීමේ ප්‍රයත්නයක් පමණි. පරිභෝජන වෙළඳපළ මත පදනම් වූ පෙරපාසල් අධ්‍යාපනය ලාභය උදෙසා අක්‍රමවත් ව හටගත් අහඹුවකි. එය ජෛවවිද්‍යාත්මක සහ තාක්ෂණික ඉගෙනුම් ක්‍රමයක පරිනාමයක් නොවේ. සැබවින් ම අවුරුදු 3 - 5 ළදරුවාට අකුරු ලියවීම ප්‍රායෝගික ද? මෙය වර්තමානයේ නැවත නැවතත් විචාරාත්මක ව කල්පනා කළ යුතු කාලීන ගැටලුවකි.

පිළියම සහ යෝජනා

අධ්‍යාපනය යනු තොරතුරු ඉගෙනුම නොවෙයි, මනස සිතීමට පුහුණු කිරීමයි.

(ඇල්බර්ට් අයින්ස්ටයින් 1879 – 1955)

දරුවාගේ කුසලතා වර්ධනය කරන්නේ කෙසේ ද? ලිවීමේ කුසලතා ආරම්භ කරන්නේ කෙසේද? බොහෝ දෙනෙක් මෙම අවශ්‍යතාව නිවැරදි ව අවබෝධ කර ගත් බවක් තවමත් දක්නට නො ලැබෙයි. අධ්‍යාපනය ස්ථීර වශයෙන් ම උද්‍යෝගිමත් - කාරුණික සහ ආදරණීය ක්‍රියාවලියකි. එහෙයින් ඉගැන්වීම තුළ ආදරය අභ්‍යාස කිරීම ඉතා වැදගත්ය. මනුෂ්‍යත්වය ළදරු වියේ සිට ප්‍රායෝගිකව ඉගෙන ගත යුතුය. එය උපතින් ලැබෙන දායාදයක් වුව ද සමාජ ව්‍යාකූලත්වය නිසා මානවයා තුළ මනුෂ්‍යත්වය ස්වභාවික ව වර්ධනය නො වෙයි. මනුෂ්‍යත්වය සෑම පරම්පරාවක් විසින් ම නැවත නැවත අර්ථකථනය කළ යුතු ප්‍රවාහයකි. දරුවාගේ හෝ ඉගෙනුම ලබන්නාගේ සර්වාංගය ම සමාජ ඵලදායකත්වය උදෙසා ශික්ෂණය කළ යුතුය. හැසිරීමේ රටාව ශික්ෂණය කිරීම යනු බුද්ධිමත්භාවයේ ගුණාංග වැඩි දියුණු කිරීමයි. පහසුකම් සලසන්නා හෝ මැදිහත් වන්නා (ගුරුවරයා) යනු නිර්මාණකරුවෙකි. පෙරපාසල යනු නිර්මාණකරණයේ පළමු මඟපෙන්වන්නා හෙවත් ගුරුවරයාය.

නිවැරදිව අක්ෂර උච්චාරණයට සහ ලිවීමට දරුවා වැඩිවියට පැමිණෙන තෙක් සත්‍යවශයෙන් ම අවබෝධයක් නො ලබයි. මක්නිසාදයත් අක්ෂර සංකේතයත් එමගින් අර්ථවත් වන ශබ්දයත් කුඩා දරුවාට අවබෝධ කර ගැනීම අපහසු බැවිනි. දරුවාගේ මොළයේ නියුරෝන සෛල සහ ගැටගැසෙන සබඳතා වර්ධනයට ආසන්න වශයෙන් වයස අවුරුදු 14 ක පමණ කාලයක් ගත වෙයි. එමෙන් ම දෙසවනට ශ්‍රවනය වන ශබ්දය නියෝජනය කරන අක්ෂර සංකේතය දරුවාට අවබෝධ කර ගැනීමට ද කලක් ගත වෙයි. එකී කාල රාමුව සෑම දරුවකුට ම එක සමාන නැත. දරුවන්ගේ දැනුම එක සමාන ව සමීකරණය කළ නොහැකිය. එකිනෙකාගේ ඥානය අනුව විවිධය; වෙනස්ය. දැනුම්වත් කළ නොහැක.

චාලක ශක්තිය

ළදරුවාගේ චාලක ශක්තිය සංවර්ධනය Motor development ඔහුගේ හෝ ඇයගේ කුසලතා සංවර්ධන වයසට අනුව පෙළ ගැසෙන කාල රාමුව හොඳින් අවබෝධ කර ගැනීම මාපියන්ගේ සහ පෙරපාසල් පහසුකම් සලසන්නාගේ වගකීමකි. පැන්සලක් හෝ පාට කූරක් Crayons සියුම් ඇඟිළි තුඩුවලින් අල්ලාගැනීමට දරුවාගේ මාංශපේෂීන් තවමත් වර්ධනය වී නොමැති නම් එහි අරුත ළදරුවා තවමත් වචන ලිවීමට සූදානම් නැති බවයි.

වයස අවුරුදු තුන සම්පූර්ණ කළ ළදරුවා තරමක් විශාල පාට කූරු පැන්සල් අතින් අල්ලාගැනීමට ඇතැම්විට සමත්වනු ඇත. එම කුසලතාව වර්ධනය වන්නේ මැටි ඇනීම සහ වෙනත් පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් ප්‍රයෝගික ව අත්විඳීමෙනි. විශාල චිත්‍ර සටහන් ඇඳීමෙන් දරුවා අනාගත අවශ්‍යතා සඳහා යොමු කළ හැකිය. චිත්‍ර ප්‍රහේළිකා - ක්‍රීඩා - වර්ණ ගැලපීම් දරුවාට කියාදීමෙන් එම ක්‍රියාකාරකම් හඳුනාගැනීමට දරන උනන්දුව මත දරුවාගේ කුසලතා හඳුනාගත හැකිය. සොබාදහම හඳුනාගැනීමට දරුවා නිදහස් කළ යුතුය. සොබාදහමේ වස්තූන් හඳුනාගැනීමත් ඒවායේ නාම සහ ක්‍රියාකාරිත්වයන් අවබෝධ කර ගැනීමට උනන්දුවීමත් නිසා නිදහසේ කුසලතා සංවර්ධනය වෙයි.

ඉවසීමේ අගය

මගේ මනස පුරවා දැමීමට අවශ්‍ය මැටි භාජනයක් නොවෙයි, නමුත් එය දැල්වීමට අවශ්‍ය ලී කොටයකි. ප්ලූටාච් ක්‍රි. ව. 46 - 120

බාල අවදියේ දරුවාට අක්ෂර ලිවීමට ඉගැන්වීමට පෙර දෑත් අතැඟිළි සහ දෙනෙත් සබඳතාව විධිමත්ව පවත්වා ගැනීම ඉතා වැදගත්ය. විශේෂයෙන්ම යමක් දරා ගැනීමට දරුවාගේ හුරු අතේ මාපට ඇඟිල්ල ශක්තිමත් වීම හා හැසිරවීමේ හැකියාව මොළයේ වර්ධනය සමඟ බැඳී පවතී. එමෙන්ම අකුරු ලියවීමට පෙර සොබාදහමේ විවිධත්වය සහ ද්‍රව්‍ය නාමිකව හඳුනාගැනීමට දරුවා පෙළඹවීම සහ ඒවායේ සංකේත නාම හඬ නගා ප්‍රකාශ කිරීමට, වර්ණ සහ රිද්මය පැහැදිලිව අවබෝධ කර ගැනීමට දරුවා හුරු කළ යුතුය. එහෙයින් පෙරපාසල කළ යුතු හොඳම විධික්‍රමය නම් දරුවා සමග සොබාදහම කියවීමයි.

ප්‍රථමයෙන් දරුවාට කියා දිය යුතු අතර, දෙවනුව දරුවාට එය නැවත කියවීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුය. ගුරුවරයා දරුවාගේ ස්වයං හැදෑරීමට පහසුකම් සලසන්නකු මිස දැනුම් වත්කරන්නකු නොවේ, එමගින් දරුවාගේ සන්නිවේදන කුසලතා වර්ධනය වෙයි. එමෙන්ම කියවීම විනෝදය සමඟ සමාන්තර සතුටු ක්‍රියාකාරකමකි, එය දරුවාගේ ඉගෙනුම් විභවතා මෙන්ම අභියෝග හඳුනාගැනීමට අගනා පියවරකි, ආරම්භයේ දරුවා සටහන් කරන බොහෝ දෑ අකුරු නොවේ, ඒවා තරමක් විශාල ඔහු හෝ ඇය හඳුනාගත් ලෝකයට අනුව කුතුහලය නිසා නිර්මාණය කරන චිත්‍ර සටහන්ය, තරමක් වැඩුණු පසු දරුවා අකුරු සහ චිත්‍ර අතර සමානතා මෙන්ම වෙනස වටහා ගනියි, එතෙක් පෙරපාසල ඉවසිලිවන්තව කල්බැලිය යුතුය, මෙහි දී හැඩතල - වර්ණ සහ රිද්මය ඉතා වැදගත් වෙයි, සෑම දරුවෙක් ම තමා දුටු සොබාදහම සිය දෑසින් හඳුනාගත් පරිදි චිත්‍රයට නැගීමට මහත් ආශාවක් සහ වුවමනාවක් දක්වයි, වැඩිහිටියා මෙය දැඩි ශික්ෂණයකින් අවබෝධ කර ගත යුතුය.

සෑම දරුවකුම එක සමාන නැත. ඔවුන් වෙනස් ව සිතයි. පරිකල්පනය කරයි. චිත්‍ර සහ අකුරු අතර වෙනස වටහාගැනීමට දරුවා උත්සාහ දරන තුරු පෙර පාසල ඒ සඳහා උනන්දු විය නො යුතුය. වයස අවුරුදු තුනේ සිට පහ දක්වා කාල රාමුව දරුවා වචන නිවැරදි ව කියවීමට නොදත් කාලයයි. එහෙයින් එම වදන් ලිවීමට පෙළඹවීම නොමනා කාර්යයකි. එමෙන් ම චිත්‍රය විශාල පරාසයක් පුරා නිදහසේ පැතිරුණ දෙයක් යැයි ද අකුරු කිසියම් සුවිශේෂි යමක් හඳුනාගැනීමට යොදන වදනක් යැයි අවබෝධකර ගැනීමට දරුවාට කෙටි කලක් ගත වෙයි.

කතාන්තර කියවීම පෙරපාසලේ සාමාන්‍ය ක්‍රියාකාරකමකි. චිත්‍ර ඇඳීම දරුවා පෙර පාසලට යාමට පෙර සිට ම නිවසේ දී සිදු කරන ක්‍රියාකාරකමකි. එහෙත් ඔහු හෝ ඇය එහි අරුත් නො දනියි. එය සොබාදහමේ විස්මය විසින් ළමා මනසේ ඇතිකරන පරිකල්පන ශක්තියයි. කුසලතාවයි. පෙරපාසල සහ මාපියන් දරුවාගේ දැනුම සෑමවිට ම අධ්‍යයනය කළ යුතුය. එමගින් දරුවා පියවරින් පියවර අනාගතය සඳහා යොමු කළ හැක.

දරුවා අකුරු ලිවීම ආරම්භ කළ යුතු වන්නේ එමගින් සංකේතවන් වන විශේෂ ශබ්ද නියෝජනය කුමක්දැයි අවබෝධකර ගැනීමෙනි. ළදරු මොළයට මෙම තත්වය ක්‍රමානුකූල ව පියවරින් පියවර අවබෝධ කරගැනීමට පහසුකම් සැලසිය යුතුය. ප්‍රථමයෙන් ම පොත් කියවාදීමේ දී අකුරු මෙන් ම වචන දරුවාගේ මනසේ සටහන් වෙයි. එම නාද - හැඩතල - වර්ණ - රිද්මය කෙටි කාලීන මතකයේ සිට දිගු කාලීන මතකය දක්වා නිදහසේ වර්ධනය වෙයි. පසුව එහි අරුත දරුවා හෙමින් උගනියි. ප්‍රථමයෙන් අකුරු හැඩතල සහ වර්ණ වටහා ගන්නා දරුවා ක්‍රමයෙන් ඒවා සටහන් කිරීමට පෙළඹෙයි. එහෙත් ඉන් කුමන අරුතක් නියෝජනය කරන්නේ දැයි නොදනියි. දරුවාට එය චිත්‍රයක් පමණි. බාහිර ලෝකයේ දරුවාට නෙත ගැටෙන මෙවලම් සහ භාණ්ඩ මෙන්ම ක්‍රියාකාරකම් සහ භාවිතය දරුවාගේ මනස උත්තේජනය කර ලෝකය පිළිබඳ අවබෝධය වර්ධනය කරයි. දියුණු රටවල දරුවන් අත්විඳින අත්දැකීම් සහ භාවිතය දුප්පත් රාජ්‍යවල දරුවන්ගේ දැනුම අවබෝධයට සමාන්තර නොවේ. යුරෝපයේ හෝ උතුරු අමෙරිකාවේ දරුවන් අකුරුකරණයට පෙළඹෙන්නේ ඔවුන්ගේ තාක්ෂණික මෙවලම් භාවිතයෙන් දුප්පත් රාජ්‍යයන්ගේ අත්දැකීම් අභිභවනය කර ඇති හෙයිනි. වර්තමානයේ ලාංකික දරුවා රැඳී සිටින යථාර්ථය අවබෝධ කර ගැනීම වැඩිහිටියාගේ වගකීමකි.

පරිභෝජන මතවාදය

“දරුවා තරුණ අවදියේම අල්ලාගන්න” Catch them Young මංකොල්ලකාරී වෙ‍ෙළඳපළ යාන්ත්‍රණයේ උධෘත පාඨය එයයි. ව්‍යාජ වෙ‍ෙළඳ ප්‍රචාරණයේ පූර්ණ අවධානය කුඩා දරුවන් සහ තරුණ පරපුර වෙත යොමු ව ඇත. එහෙයින් මාධ්‍ය සමාගම් ගෝලීය ක්‍රීඩකයන් සහ නළුවන් ලෙස ඉස්මතුවෙමින් දරුවා තම මතවාදය තුළට ආකර්ශනීය ව ඇද ගැනීම සඳහා දඟකාර සහ හැඩකාර තරඟ ඉසවු නිර්මාණය කර නව අවස්ථා හා අපේක්ෂා ජනනය කරයි. ලොව පුරා මාධ්‍ය සමාගම් එහි අනුකාරකයන් ලෙස පරිභෝජන මතවාදය ප්‍රවර්ධනය කොට දරුවා තරඟකාරිත්වයට කැඳවයි. පෙරපාසල් දරුවා පරිභෝජන භාණ්ඩයක් ලෙස හැඩ ගැසෙයි. දරුවාගේ ළමා කාලය තරඟකාරි අධ්‍යාපන වෙ‍ෙළඳපොළ විසින් සොරකම් කරයි. වත්මන් දරුවා වයසට වඩා මේරූ සොබාදහමට එරෙහි ප්‍රචණ්ඩ ජීවියෙකි.

සුන්දරත්වය විඳින්න පුළුවන් අපි සොබාදහමෙ කොටසක් වුණොත් පමණි. මහ පොළව අපේ පරවේණී උරුමයක් හෝ පෞද්ගලික දේපලවල කොටසක් නොවේ. අපි මහපොළවේ ම කොටසකි. සමනලයා බිහි වෙන්නෙ අවස්ථා හතරක දී බව නො දන්න දරුවා - සැඳෑ අහසේ පාට පාට වළාකුළු පෙළගැස්ම නො දකින දරුවා - වායු ගෝලයේ ජල වාෂ්ප මත හිරු එළිය ඇඳි දේදුන්න නො දකින දරුවා - හිමිදිරියේ විහඟ ගී හා වස්සානයේ ගෙම්බන්ගේ තර්ක විතර්ක නො ඇසෙන දරුවා - සැඳෑ අහසේ වුවුලු කුරුලු රටා නො දකින දරුවා - පූර්ණිමා හඳ නො දකින දරුවා - සමනලයෙක්, බත්කූරෙක් පසු පස හඹා නො ගිය දරුවා - මඩවළක දඟලන්නේ නැති දරුවා සොබාදහමේ දරුවෙක් වන‍්නේ නැත. වෙ‍ෙළඳපොළ මිලක් සහිත පරිභෝජන භාණ්ඩයකි.


නව අදහස දක්වන්න