සී.ආර්. පිලේ ඉරණම යුද හමුදාව අතට | දිනමිණ

සී.ආර්. පිලේ ඉරණම යුද හමුදාව අතට

ෆවුස් මොහොමඩ්

දෙවැනි වටයේ තරග නිමාවීමට පෙර කුසලාන වටයට සුදුසුකම් ලබන සුපිරි කණ්ඩායම් හතරේ රැඳී සිටීමට දැඩි උත්සාහයක නිරතව සිටින සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් හෙට (26) යුද හමුදා පිල සමග සී.ආර්.පිටියේදිම පැවැත්වෙයි. දෙවැනි වටයේ ආරම්භයේ සිටම දැඩි පසුබෑමකට ලක්වී සිටින සී.ආර්.පිල සිය පුහුණුකරු නිල්ෆර් ඉබ්‍රාහිම් වෙනුවට තාවකාලික පුහුණුකරු ලෙස මොහොමඩ් මුෂ්ටාක් පත් කරගත්ත ද පසුගිය සතියේ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය වෙතින් ලකුණු 31-24ක පරාජයක් අත්විඳිමින් තවදුරටත් දරුණු ආගාධයකට ඇද වැටීම නිසා කුසලාන වටයට පිවිසීමේ දැඩි අවදානම් තත්ත්වයක පසුවෙයි.

අනිත් අතට පසුගිය සති 2ක තුළ සාර්ථක ක්‍රීඩා විලාශයක නිරතවෙමින් එකවරම හිස ඔසවා ගත් යුද හමුදා ක්‍රීඩා සමාජය මීට සති දෙකකට පෙර එතෙක් අපරාජිතභාවය රැකගෙන පෙරමුණේ පසුවූ මහනුවර ක්‍රීඩා සමාජයට ලකුණු 23-22ක අනපේක්ෂිත පරාජයක් ඔවුන්ගේම මහනුවර බලකොටුවේදී උරුම කරදුන් අතර පසුගිය සතියේදි නාවික හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 27-25කින් පරදවා පෙරළිකාර කණ්ඩායම බවට පත්වී පස්වැනි තැන දක්වා පැමිණ සිටි.

දැන් යුද හමුදා පිලේ එකම අභිප්‍රාය වී ඇත්තේ දිගින් දිගටම පරාජයේ වේදනාව අත්විඳිමින් සිටින සී.ආර්.පිල තව තවත් පරාජයේ ආගාධයට තල්ලු කරමින් සිවුවැනි ස්ථානය අත්පත් කරගැනීමය. සී.ආර්.පිල ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි තැන සිටියත් ඔවුන්ගේ සමස්ත ලකුණු සංඛ්‍යාව 29කි. යුද හමුදා පිල පස්වැනි තැන පසුවන්නේ ප්‍රසාද ලකුණු 26ක් ලබා ගනිමිනි. එබැවින් හෙට තරගයේ වැඩිම පීඩනය කරපින්නා ගැනීමට සිදුවී ඇත්තේ සී.ආර්.පිලටය. මේ දෙපිලම දැනට තරග 10කින් තරග ජයගෙන ඇත්තේ තරග 4ක් පමණි. තරගාවලියේ මෙතෙක් ලකුණු සමවූ එකම තරගයට ද හිමිකම් කියන්නේ මේ දෙපිලමය. එය වාර්තා වූයේ පළමු වටයේ දෙපිල මුණ ගැසුණු තරගයේදීය. එහිදි සී.ආර්.පිලට කරට කර සටනක් දෙමින් ලකුණු 24-24කින් තරගය සමකර ගත් යුද හමුදා පිල හෙට තරගය ජයග්‍රහණයකින් නිමා කරගැනීමට සියළු දස්කම් මුවහත් කරමින් සිටි.

හෙට තරගයේ ජයග්‍රහණය සී.ආර්.පිලට අතිශය වැදගත් වන්නේ ඉදිරි සති 2දී ඔවුන්ට මුණ ගැසෙන ප්‍රතිවාදීන් බවට පත්වී ඇත්තේ නාවික හමුදා පිල සහ මහනුවර ක්‍රීඩා සමාජය වීම නිසාය. පෙබරවාරි 16 වැනිදා ගුවන් හමුදා පිල සමග පැවැත්වෙන දෙවැනි වටයේ අවසන් තරගයට පෙර කුසලාන වටයේ සිය ස්ථානය තහවුරු කරගැනීමට නම් හෙට තරගය සී.ආර්.පිල ජය ගත යුතුව තිබේ.

මේ අතර ලීග් තරගාවලියේ ආරම්භයේ සිටම ප්‍රතිවාදීන්ට දැඩි තර්ජනයක් එල්ල කරමින් සිටින සී.එච්.ඇන්ඩ් එෆ්.සී.ක්‍රීඩා සමාජය හෙට පොලිස් ක්‍රීඩා සමාජය සමග පොලිස් පිටියේදී තරග වදී. සී.එච්.පිල මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 39ක් රැස් කරමිනි. පොලිස් පිල ලකුණු 22ක් ලබා 7 වැනි තැන පසුවෙයි.

යුද හමුදා පිල හමුවේ සිය අපරාජිතභාවය බිඳ ගත් මහනුවර පිල හෙට පස්වරු නාවික හමුදා කණ්ඩායම සමග නිත්තවෙලදී තරග වදින්නේ තව දුරටත් පෙරමුණ රැක ගැනීමේ අරමුණ ඇතිවය. ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ ලකුණු 55ක් රැස් කරමිනි. ලකුණු 25ක් ලබා 6 වැනි තැන සිටින නාවික හමුදා පිල සමග හෙට පැවැත්වෙන තරගය මහනුවරට තීරණාත්මක වන්නේ ඔවුන් සහ දෙවැනි තැන පසුවන හැව්ලොක්ස් පිල අතර ලකුණු වෙනස 3ක් පමණක් වන බැවිනි.

ලකුණු 52ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන රැඳී සිටින හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අනිද්දා (27) හැව්ලොක්ස් පිටියේදී තරග වැදීමට නියමිතව ඇත්තේ ලකුණු සටහනේ අවසන් තැන සිටින ගුවන් හමුදා පිලට එරෙහිවය.


නව අදහස දක්වන්න