ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 144කට සීමා වෙයි | දිනමිණ

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 144කට සීමා වෙයි

ජේයි රිචඩ්සන්ගේ සහ පැට් කමින්ස්ගේ වේගපන්දු හමුවේ පිතිකරුවන් අසරණවීම හේතුවෙන් ඔස්ට්‍රේලියාව සමග ඊයේ බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ දිවා රාත්‍රී පළමු ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම ලකුණු 144කට සීමා විය. ඊයේ රාත්‍රී තේ පානයෙන් මොහොතකට පසුව ශ්‍රී ලංකා පළමු ඉනිම නිමාවට පත්වූ අතර ඔස්ට්‍රේලියානු පිල දිනය නිමාවනවිට කඩුලු 2ක් දැවී ලකුණු 72ක් රැස් කර තිබිණි. ආරම්භක පිතිකරු මාර්කස් හැරිස් නොදැවී ලකුණු 40ක් ලබා සිටි අතර ආරක්ෂක පිතිකරුවා ලෙස පිටියට පිවිසි නේදන් ලියොන් ලකුණු ලබා සිටියේ නැත. ඒ වනවිට ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිමට වඩා ඔස්ට්‍රේලියාව පසුවූයේ ලකුණු 72ක් පසුපසිනි.

ඔස්ට්‍රේලියානු පිලේ මුළු ලකුණු සංඛ්‍යාව 37දී පළමු කඩුල්ල ලෙස ජෝ බර්න්ස් පිටියෙන් ඉවත් කිරීමට සුරංග ලක්මාල් සමත්වූ අතර දෙවැනි කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව 72දී බිඳ වැටුණේ උස්මාන් කවාජා ලකුණු 11කට දවාලීමට ඩිල්රුවන් පෙරේරා සමත්වීමත් සමගය.

කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළත් ශ්‍රී ලංකා පිලට සාර්ථක ආරම්භයක් ලබාදීමට පිතිකරුවෝ අසමත්වූහ. දිවා කාලයේ ඉතා උණුසුම් කාලගුණයක් සහිත බ්‍රිස්බෙන් ක්‍රීඩාංගණය පිතිහරඹයට සුදුසුවනු ඇතැයි අනුමාන කරමින් සිය ආරම්භක පිතිකරුවන්ගෙන් දීර්ඝ ඉනිමක් බලාපොරොත්තු වූ චන්දිමාල් විවේකාගාරයේ බලා සිටියදී දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් හමුවේ දැඩි පසුබෑමක් පෙන්නුම් කරන්නට වූහ.

මින් වැඩිම තර්ජනයක් එල්ල කළ 22 හැවිරිදි නවක ක්‍රීඩක රිචඩ්සන්ගේ තණතීරුවේ වැදී ඉහළට ඉපිලෙන පන්දු හමුවේ නිරුත්තරවූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ගේ සම්බන්ධතාව බිඳ වැටුණේ ලකුණු 26දී තිරිමාන්නගේ දැවීයාමත් සමගය. ජොෂ් හේස්ල්වුඩ් ආබාධයකට ලක්වීම නිසා අවසන් මොහොතේ කණ්ඩායමට ඇතුළත්වූ රිචඩ්සන්ගේ පන්දු හමුවේ ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් දැඩි තර්ජනයකට හසුවූ අතර ඔහුගේ පන්දු පිතිකරුවන්ගේ පා ආවරණයේ වැදීමෙන් කඩුල්ල බේරා ගත්තේ ඉල්ලීම් ගණනාවක් විනිසුරුවරයා ප්‍රතික්ෂේප කිරීමේ වාසියෙනි. එහෙත් අවසානයේදී තිරිමාන්න ලකුණු 12කදී පිටියෙන් ඉවත් කරමින් ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල බිඳ දැමීමට කමින්ස් සමත්විය.

සිය මංගල ටෙස්ට් කඩුල්ල හඹා ගිය රිචඩ්සන් අවසානයේදී ශ්‍රී ලංකා පිලේ නායක චන්දිමාල් දවාලමින් ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල බිඳ දමද්දී මුළු ලකුණු සංඛ්‍යාව 31කි. චන්දිමාල් වෙනුවට පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සමග එක්ව ඉනිම ගොඩනැගීමට කරුණාරත්න දැඩි උත්සාහයක නිරතවූ අතර එම සම්බන්ධතාව මුළු ලකුණු 54දී බිඳ දමමින් ශ්‍රී ලංකා පිලේ විශාලතම බලාපොරොත්තුව වූ කරුණාරත්න පිටියෙන් ඉවත් කළේ ලකුණු 24කටය.

සාර්ථක ඉනිමක් ක්‍රීඩා කිරීමේ පෙරනිමිති පහළ කරමින් සිටි කුසල් මෙන්ඩිස් අන්දමන්ද කළ රිචඩ්සන් ඔහුගේ කඩුල්ල බිඳ දමමින් ශ්‍රී ලංකා ඉනිම අඩපණ කරද්දී මුළු ලකුණු සංඛ්‍යාව 58ක්විය. එම දැවීයාමට පෙර ඔහු රිචඩ්සන්ගේ දැඩි ග්‍රහණයට හසුවී සිටි අතර පිට පිට පන්දු දෙකකදී ඔහුගේ ඉවසීම පරික්ෂා කළ රිචඩ්සන් ඊළඟ පන්දුවෙන් මෙන්ඩිස් ක්‍රීඩාගාරයට හරවා යැව්වේය.

ධනංජය ද සිල්වා ලකුණු 5කට පිටියෙන් ඉවත් කිරීමට රිචඩ්සන් සමත්වීමෙන් පසුව රොෂේන් සිල්වා සමග එක්වූ ඩිල්රුවන් පෙරේරා මුළු ලකුණු සංඛ්‍යාව 91ක දක්වා ඉහළ දමමින් 6 වැනි කඩුල්ලට ගොඩනගමින් සිටි ලකුණු 25ක සම්බන්ධතාවට විරාමයක් තැබූ කමින්ස් ඔහුගේ වේගවත් කෙටි පන්දුවකින් ඩිල්රුවන්ගේ මාපටැඟිල්ල තුවාල කර ඔහු ආබාධයට ලක්වූ පිතිකරුවකු ලෙසින් පිටියෙන් ඉවත් කළේය.

එහෙත් නැවත පිතිහරඹයට පැමිණි ඩිල්රුවන්ට මිචෙල් ස්ටාක්ගෙන් බුරුලක් ලැබුණේ නැත. ඔහු සිය 200 වැනි ටෙස්ට් කඩුල්ල ලෙස සුරංග ලක්මාල් පිටියෙන් ඉවත් කළ අතර පසුව ඩිල්රුවන් 201වැනි ගොදුර බවට පත් කරගත්තේය. එක් අන්තයකින් කඩුලු බිඳ වැටෙද්දී අනික් අන්තයෙන් කඩුල්ල රැකගත් නිරෝෂන් දික්වැල්ල සටන්කාමී පිතිහරඹයක නිරතවෙමින් ලකුණු 64ක් රැස් කළේ පන්දු 78කිනි. ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් හඹා ගිය මේ ප්‍රහාරාත්මක පිතිකරුවා සිය ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහරක් ඇතුළත් කරගත්තේය.

නවක ක්‍රීඩක රිචඩ්සන් කඩුලු 4ක් දවාගැනීමට සමත්වෙද්දී ශ්‍රී ලංකා පිලේ අගපෙළ පිතිකරුවන් මෙල්ල කළ පැට් කමින්ස් කඩුලු 3ක් බිඳ දැමුවේය.

අද තරගයේ දෙවැනි දිනයයි.


නව අදහස දක්වන්න