ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් ශූරයාට නව නිවසක් | දිනමිණ

ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් ශූරයාට නව නිවසක්

වසර 2018 විස්සයි20 ශ්‍රව්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් ශුරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ඨ ක්‍රීඩක රජිත අසංකට අඟුලාන “සයුරුපුර” මහල් නිවාස ව්‍යාපෘතියෙන් නව නිවසක් ප්‍රදානය කිරීම ඊයේ සෙත්සිරිපාය නිවාස , ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ දී නිවාස , ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් සිදු කෙරිණි.

විස්සයි20 ශ්‍රව්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දී ශ්‍රී ලංකාවට ජයගෙන දෙමින් තරඟයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍රවූ රජිතට ඊයේ පිරිනැමුණු නව නිවසේ වටිනාකම රුපියල් ලක්ෂ 30කි.

සම්පත් හිඟ, නිවාස පහසුකම් නොමැතිව පීඩා විඳන ක්‍රීඩකයන් වෙනුවෙන් දිය හැකි උපරිම ශක්තිය තවදුරටත් ලබා දීමට කටයුතු කරන බව මෙහිදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

‘ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැවැන්ත ජයග්‍රහණ රැසක්, රටට විශාල ගෞරවයක්, අභිමානයක් ලබා දුන් සුපිරි ක්‍රීඩක තරුවක් ලෙස රජිත අසංක ක්‍රීඩකයා හඳුන්වන්න පුළුවන්. ඔහු අපේ රටේ සෑම පුරවැසියෙකුටම හොඳ ආදර්ශයක්, අනගිභවනීය පාඩමක් කියා දී තිබෙනවා. එය තමයි කොතරම් බාධා, දුෂ්කරතා, අඟහිගකම් තිබුණත් තමන්ට අධිෂ්ඨානය, කැපවීම, උනන්දුව තිබේ නම්, කාර්යක්ෂමව ක්‍රියා කර ඉලක්කය කරා ගමන් කරනවා නම් ඕනෑම ජයග්‍රහණයක් ලබා ගැනීමට පුළුවන් බව.’ අමාත්‍යවරයා කියා සිටියේය.

‘ඔහු ලබා තිබෙන ජයග්‍රහණ කොතෙක්දැයි ඔහු සතුව ඇති පදක්කම්, කුසලාන බැලූවිට පෙනෙනවා. ඔහු ක්‍රිකට් විතරක් නොවෙයි තවත් ක්‍රීඩා අංශ රැසකින් ජයපිට ජය ලබා තිබෙනවා. එහි දැවැන්තම ජයග්‍රහණය ලබා තිබෙන්නේ ලෝක ශූරතාව ලබා ගැනීමට දුන් ශක්තියත්, තරගයේ වීරයා ලෙස පත් වීමත්. අද දවසේ මෙම ලබා දෙන නිවස හරහා ඔහුගේ ක්‍රිකට් ජීවිතය තව දුරටත් සාර්ථක කර ගැනීමටත්, කොළඹ සිට ඔහුගේ අවශ්‍ය පුහුණුවීම් කටයුතු සාර්ථකව සිදු කර ගැනීමටත් හැකියාව ලැබෙනවා. පූර්ණකාලීනව ක්‍රිකට් කණ්ඩායමේ අති දක්ෂයෙක් බවට පත් වී අපේ රටට තව තවත් ජයග්‍රහණ ලබා දෙන්නට ඔහුට කරන ඇගයීමක් ලෙස මෙම නිවස පරිත්‍යාග කරනවා.’ අමාත්‍යවරයා සඳහන් කළේය.

චන්දිමා කරුණාරත්න
ඡායාරූප - රුක්මාල් ගමගේ


නව අදහස දක්වන්න